ආකර්ෂණය කියන්නේ අනිකාව ලං කරගන්න එක. ඉතින් අනිකාව ලං කරගන්න නම් ඔබ සැලකිලිමත් වියයුතු දේවල් කිහිපයක් තමයි අපි අද මේ කියන්න යන්නේ. ස්වාමි භාර්යා, පෙම්වතා පෙම්වති, ස්වාමි සේවක, මිතුරු විතරක් නෙමෙයි එකී මෙකී නොකී සබඳතා වර්ධනයටත් මේ කියන කරුණු හේතු වෙනවා නිසැකයි. කතාවට මේවට කියන්නේ ආකර්ෂණ රීති කියලයි. ඉතින් අපිත් මේවා දැනගමු. දැනගෙන අනිත් අයව අපට ලං කරගමු.
1. හිනාව

Source – personalcaredentistry.com
හිනාව කියන්නේ ඉනාවක් ය කියනවනේ. ඉනාව කියන්නේ ඖෂධයක් වගේ දෙයක් නේ. ඉතින් හිනාවත් ඖෂධයක් කියලයි මේකෙන් කියන්නේ. ඇත්තටම හිනාව තමයි අපි ළඟ තියෙන හොඳම සන්නිවේදන මෙවලම. ඔබම හිතල බලන්න ඔබ එක එක විදිහට හිනාව පාවිච්චි කරලා දවසට කොච්චර දේවල් ප්‍රමාණයක් සන්නිවේදනය කරනවද කියලා. හැබැයි ඒ ඔක්කොම හිනාවල් පාවිච්චි වෙන්නේ ආකර්ෂණයට නෙමෙයි. අපි මේ කියන්නේ ඔබ ළඟ තියෙන ආකර්ශනීය හිනාව ගැන. හැම වෙලේම හිනාවක් මුණ මත්තේ තියාගෙන ඉන්න අමතක කරන්න එපා එහෙනම්.
2. ඇඳුම් පැළඳුම්

Source – logan.com.pl
ඇඳුම් පැළඳුම් කියන්නේ ඔබේ ආකල්ප ගැන කියන්න පුළුවන් හොඳ මිම්මක්. සාමාන්‍යයෙන් ලා පාට අඳින අය මෘදු මිනිස්සු විදිහටත්, තද පාටවල් අඳින අය රළු මිනිස්සු විදිහටත් හැඳින්වෙනවා. ඔබ ඇඳුමක් ගනිද්දී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ඇඳුම් පිළිවෙලට පිරිසිදුවට පාවිච්චි කරන එකත් ඔබ ගැන අනිත් අයට දෙයක් කියල දෙනවා. ඒ තමයි ඔබ පිළිවෙලක් තියෙන, පිරිසිදු කම අගයන කෙනෙක් කියලා. ඉතින් අනිත් අය ඔබට නිකම්ම ලං වේවි.
ඒ වගේම තමයි පැළඳුම්. ගැහැණු අය වගේම පිරිමි අයත් සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි සුදුසු තැනට සුදුසු පැළඳුම් පාවිච්චි කරන්න. රාජකාරියට යද්දී හැම තැනම රත්තරන් කෑලි ලොකුවට එල්ලං ගියොත් අනිත් අය ඔබ දිහා බලන්නේ හොඳ විදිහටනම් නෙමෙයි. අන්න ඒ වගේ වැරදි තැන වැරදි පැළඳුම් භාවිත කරන්නේ නැතුව නිසි තැන නිසි පැළඳුම භාවිතා කරන්න.
3. ලං වෙන්න

Source – wordfromthewell.wordpress.com
ඔබට කෙනෙක් ලං වෙන්නනම් ඔබත් ඔවුන්ට ලං විය යුතුමයි. ඔබේ මිත්‍රත්වයේ නිවස විවෘත බව ඔවුන්ට පෙන්නුවම තමයි ඔවුන් ඔබේ මිතුරු සෙවණ යටට එන්නේ. ඔබ බුම්මගෙන වැඩි කතාබහක් නැතුව ගුප්ත විදිහට ඉන්න ගියොත්නම් කවුරුවත් ඔබ දිහා හැරිලාවත් බලන එකක් නෑ. ඒ හන්ද මිතුරු කම් ගොඩනගාගන්න ඔබේ දෑතත් දික් කරන්න. අනිත් අය එක්ක සුහදශීලි වෙන්න. කතා කරන්න. නොදන්න දේවල් අනිත් අයගෙන් විමසන්න. ඔබත් ඔවුන්ගෙන්ම එකෙක් බව අනිත් අයට ඒත්තු ගන්වන්න.
4. අනිත් අය ගැන දැනගන්න

Source – crushmarketinggroup.com
උඩින් කියපු විදිහට අනිත් අයට ලං වුණාම ඒ අයත් ටික ටික අපට ලං වෙනවා. ඒ අය අපි ගැන දේවල් අහනවා. අන්න ඒ විදිහට ඒ අය කැමති දේවල්, ඒ අයට තියෙන ප්‍රශ්න ගැටළු දැනගත්තොත් ඒක ඔබ සහ ඔහු හෝ ඇය අතරේ තියෙන සම්බන්ධතාවයට රුකුලක් වෙනවා නොඅනුමානයි. එහෙම දැනගත්තම ඔබට පුළුවන් වෙනවා ඒ අයට තවත් ලංවෙන්න. හිතල බලන්න ඔබ කාගෙ හරි උපන්දිනයක් දන්නවනම් ඒ උපන්දිනේ දවසට ඔබ ඒ පුද්ගලයට සුභ පැතුවම ඔහුගේ හිතේ ඔබ ගැන කොච්චර ආදරයක් උපදිනවද.? මේ විදිහට දන්නා අඳුනන පක්ෂ විපක්ෂ හැම මන්ත්‍රී වරයෙක්ටම සුභ පතන රාජ්‍ය නායකයොත් ලංකාවේ හිටිය බව අමතක කරන්න එපා.
5. වචන නෙමෙයි වැඩ

Source – whitworth.edu
කවුරුවත් කැමති නෑ තමන්ගේ යාළුවා, යෙහෙළිය එහෙමත් නැත්නම් පෙම්වතා හෝ පෙම්වතිය, එහෙමත් නැත්නම් තමන්ගේ බොස් තමන්ට උදවු වෙන්නේ වචන වලින් විතරක්නම්. කොච්චර ලං වුනත්, කොච්චර තමන් එක්ක කතා කලත් වැඩක් නෑ තමන්ට කරදරයක් වුන වෙලාවේ තමන් වෙනුවෙන් එයයා හිටියේ නෑ කියන එක අනිත් කෙනාගේ ඔලුවට යන එක යනවමයි. ඒ හන්ද කටින් බතල හිටවන මනුස්සයෙක් නොවී ප්‍රයෝගිකත්වය අගයන මනුස්සයෙක් වෙන එක ඔබට වටිනවා. දේශපාලකයන් කෙරෙහි ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය බිඳිලා තියෙන්නේ ගොඩක් මැති ඇමතිවරු ළඟ තියෙන්නේ “වචන විතරක්” හන්ද නෙමෙයිද..? ඉතින් ඒක අදාල වෙන්නේ දේශපාලකයන්ට විතරක් නෙමෙයි. හැම කෙනාටම අදාලයි.
6. ආකර්ෂණය පවත්වා ගැනීම

Source – oprah.com
අනිත් අය ආකර්ෂණය කරගත්තට වැඩක් නෑ ඒ ආකර්ෂණය නිසියාකාරයෙන් නඩත්තු කරන්න දන්නැත්නම්. සම්බන්ධතාවයක් පටන් ගන්න ගොඩක් අමාරු උනාට ඒ සම්බන්ධතාවේම බිඳෙන්න යන්නේ පොඩි වෙලාවක් විතරයි. ඉතින් ඕනෑම දෙයක් පරිස්සම් කරගන්නනම් නිරන්තර අවධානය සහ නඩත්තුව හරි වටිනවා. ඉතින් සම්බන්ධතාවය ආදර සම්බන්ධයක් වේවා ස්වාමි භාර්යා සම්බන්ධයක් වේවා ස්වාමි සේවක සම්බන්ධයක් වේවා ඒක පරිස්සම් කිරීම ඔබට භාරයි. උඩින් කියල තියෙන ක්‍රම පහ කොයිම වෙලාවකවත් අත නොහැර මිනිස්සු තව තවත් තමන්ට ලං කරගන්න එක ඔබේ අතෙයි තියෙන්නේ.
ඉතින් ඔන්න ඔය විදිහට අනිත් අය තමන්ට ලං කරගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් දක්වන්න පුළුවන්. ඉතින් ඔබත් පොතේ හැටියට නැතුව හිතේ හැටියට මනුෂ්‍යයෙක් වෙන්න. නිකම්ම අනිත් අය ඔබට ලං වේවි.
Cover Image Source – sarv.com / communityforthesoul.com
Leave a Reply