කූඹියෝ හදපු අලුත්ම සංස්කෘතිය

The Kumbiyo hype

කූඹියෝ කියන්නේ ලංකාවේ දැඩි කතා බහට ලක්වුණු නාට්‍යයක්. ඉංග්‍රීසි ටී වී සීරිස් බල බල හිටපු බහුතරයක් තරුණ ප්‍රේක්ෂකයන්ගේ ඔලුවට සිංහල ටෙලියක රස දැනෙන්න ගත්තේ කූඹියෝ විකාශය වීමත් එක්ක. වෙනස් විදිහේ තේමාවක් සහ සංකීර්ණ කතා සන්දර්භයක් එක්ක ආලින්දයට වැඩිය කූඹියෝටෙලි නාට්‍යය ඉක්මණින්ම විචක්ෂණශීලි ප්‍රේක්ෂක ප්‍රජාව ආකර්ෂණය කර ගන්න සමත් වුණා. ඉතින් ඒත් එක්කම ලංකාවේ ටෙලිනාට්‍යයක් වෙනුවෙන් අපි වෙනදා නොදැකපු අමුතුම විදිහේ සංස්කෘතියක් කූඹියොත් එක්ක බිහි වුණා. මේ අපි කතා කරන්න යන්නේ අන්න ඒ “කූඹියෝ” සංස්කෘතිය තුල තියෙන සංස්කෘතිකමය අංගයන් ගැන.

 

1. ෆේස්බුක් ගිණුම්, පිටු සහ සමූහ

The Kumbiyo hype

Source – facebook.com

මේවා ගැනනම් ගොඩක් දෙනා දන්නවා. ලංකාවේ දැනට සක්‍රියම ලෙස ක්‍රියාත්මක වෙන ෆේස්බුක් සමූහයක් එහෙමත් නැත්නම් Group එකක් තමයි “කූඹි ගුල” කියලා කියන්නේ. ඇත්තටම මෙයින් ගුල් දෙකක් තියෙනවා. මදි නොකියන්න සාමාජිකයන් මේ දෙකේම පිරිලා ඉන්නවා. කතාව ගැන, එහි වෙන්න නියමිත දේ ගැන, වුණු දේවල් ගැන, චරිත ගැන,  ඒ චරිත වලට පණ පොවන නළු නිලියෝ ගැන ඔවුන් කරන සාකච්ඡා බලන් ඉන්න ආසයි. ඒ විතරක් නෙමෙයි කූඹියෝ ඇසුරු කරගෙන ෆේස්බුක් පිටු (Page) ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒවා බහුතරයක් සක්‍රීයයි. ඒ විතරක්නම් කමක් නෑ. කූඹියෝ ටෙලිනාට්‍යයේ ඉන්න ජෙහාන් ප්‍රනාන්දු ලා, ප්‍රියන්ත මහඋල්පතගම ලා, හිරුණි ජයවර්ධන ලා ෆේස්බුක් එකේ ගිණුම් හදන් ඇවිත් මේ සමූහ වල, පිටු වල පලකරන අදහස් ගැනත් අපි කතා කළ යුතුමයි.

 

2. පෙරැයීම් හෙවත් වෙන්න තියෙන දේවල් අනුමාන කිරීම්

The Kumbiyo hype

Source – facebook.com

මේ අරෙහෙ මෙහේ කූඹි ගුල් වල, ෆේස්බුක් පිටු වල ඉන්නවා සෙට් එකක්. කූඹියෝ එකේ ඉස්සරහට වෙන දේ ගැන අනාවැකි පල කරන අය තමයි ඒ. කතාව සංකීර්ණ නිසා අනාවැකි එකිනෙකට වෙනස්. සමහර අය කියනවා “ප්‍රියන්ත ජෙහාන් කියලා දෙන්නෙක් නෑ. එක්කෙනෙක්ගේ මනස ඇතුලෙයි අනිත් කෙනා ඉන්නේ” කියලා. තව අය ඊට පස්සේ ඒක නෑ කියන්න හේතු ගේනවා. තවත් සමහර අය කියනවා හිරුණි සී අයි ඩී කියලා. තවත් සමහර අය කියනවා ජෙහාන් සී අයි ඩී කියලා. ඔන්න ඔය වගේ පෙර නිමිති පල කරන්නන් සිය ගාණක් කූඹියෝ හි ආගමනයත් එක්ක ඇවිල්ල තියෙනවා කරලියට. අලුතින් කතා සීයක් ලියන්න පුළුවන් තරමටම ඒ අයගේ අනාවැකිත් රසවත්. ඒ විතරක් නෙමෙයි මේ සෙට් එකේ ඉවසීම ගැනත් කියන්න ඕන. අනාවැකි 99 ක් වැරදිලා සිය වෙනි එක හරි හරියාවි කියලා හිතාගෙන අනාවැකි පලකරන මේ අයගේ ඉවසීම තියෙන්නේ හරි ඉහල තැනක.

 

3. වැරදි වැරදි වැරදි

The Kumbiyo hype

Source – facebook.com

මේ කට්ටිය ඉතින් කොහෙත් ඉන්නවා. වැරදි හොයන අය ඉන්නවා ඉතින් අපේ මේ කූඹියෝ සංස්කෘතියේත්. හැබැයි කියන්න ඕන දේ තමයි සමහරු පෙන්නන වැරදි අතිශය තාර්කිකයි. සමහරු සංස්කරණයේදී සිදු වුණ වැරදි පෙන්නන අතරේ, සමහරු සීන් එකක් ඉවර වෙලා ඊළඟ සීන් එකට යද්දී නළු නිළියන්ගේ වුණු වෙනස් කම් පෙන්නලා ඒක ගැලපෙන්නැති බව කියනවා. ඒ අතරේ සමහරු කතාවේ පිටපතේ වැරදි කියනවා. සමහරු Shoot කරපු දින හොයනවා. අන්තිම ඒවා ආයිත් Shoot කරලා කියනවා. තාර්කිකව යමක් ඉදිරිපත් කරන බහුතරයක් අතරේ “මේක පක්ෂෙකට ඕන විදිහකට හදපු එකක්” “මේකෙන් හොරකම් කරන්න මිනිස්සු  පුරුදු වෙනවා” වගේ අදාලම නැති දේවල් කියන අයත් ඉන්නවා. ඒත් ඉතින් ඒ අයගේ කතා අහන්නැතුව කූඹියෝ ඉස්සරහට යනවා.

 

4. කලාකාරයෝ

The Kumbiyo hype

Source – facebook.com

කලාව කියන්නේ සංස්කෘතියේ ප්‍රමුඛම අංගයක් නේ. ඉතින් කූඹියෝ සංස්කෘතියේත් ඒකට අනන්‍ය වෙච්ච කළා නිර්මාණ බිහි කරන්න ස්වෙච්ඡා කලා කරුවන් ටිකක් ඉදිරිපත් වෙලා ඉන්නවා. සමහරෙක් චිත්‍ර අඳිනවා. තවත් කෙනෙක් ග්‍රැෆික් ඩිසයින් කරනවා. තව කෙනෙක් ලස්සන කාටුන් හදනවා. සමහරු කතාවේ වෙන සිද්ධි අල්ලලා කවි ලියනවා. නිසඳැස් ලියනවා. තවත් සමහරු මේ මම වගේ කූඹියෝ ගැන ලිපි ලියනවා. තව අය මියුසික් කවර්ස් කරනවා. ඇයි අපේ අනාවැකි පල කරන අය අලුත් කතා ලියනවා. (ඒකටනම් මට බනීද දන්නෙත් නෑ) අලුතින් විඩියෝස් හැදෙනවා. ඇයි අලුත්ම කතාව තමයි කූඹියෝ පරිගණක ක්‍රීඩාවකුත් එළිදකින්න නියමිතයි. මේ විදිහට හැමදෙනාම තමන්ගේ විවේකය වෙනුවෙන් තියෙන කලාත්මක හැකියාවන් ස්වේච්චාවෙන්ම කූඹියෝ නමට ලියලා තියෙනවා.

 

5. එකතුව

The Kumbiyo hype

Source – facebook.com

ඒ විතරක් නෙමෙයි මේ කුඹි කාපු අය සෙට් පිටින් යනවා ජෙහානුයි ප්‍රියන්තයි නැවතිලා හිටපු අර ඔක්කොම හොර වැඩ ප්ලෑන් කරපු අන්තිමට ප්‍රියන්ත ගිනි තිබ්බ ශාලාව බලන්න. ඒ ගිහිල්ල ගත්තු පින්තූරයක් මුහුණු පොතට, කූඹි ගුලට දාන්න ඒ අය අමතක කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මේ අය විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. අන්තිම කොටස යන්න නියමිත දිනයේ මෙල්බර්න් නගරයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා ඒ කොටස බලන්න වැඩසටහනක් දාගෙන කිවුවොත් ඔබ පුදුම වේවි. ඒත් ඒක තමයි කූඹියෝ සංස්කෘතිය පැතිරිලා තියෙන තරම. මෙල්බර්න් වල විතරක් නෙමෙයි ලංකාවෙත් උත්සවයක් සංවිධානය වෙනවා. ඉතින් මේ තමයි කූඹියෝ බලන ප්‍රේක්ෂක සමුහයාගේ එකමුතුව.

ඉතින් මේ ඔක්කොගෙන්ම පේන්නේ මේ නාට්‍යය කොච්චර ජනප්‍රිය වෙලාද කියන එක. ජනප්‍රිය වෙලා තියෙන්නේ රෑට බත් කන වෙලාවට ටී වී එක බලන මිනිස්සුන්ටත් වඩා විචක්ෂණශීලීව නිර්මාණයක් රස විඳින උදවිය අතරේ කියලත් මේවයින් පේනවා. හැබැයි ඉතිං අපි කියන්නේ කූඹියෝ ඉවර උනාට පස්සේ තව තවත් මෙවැනි නිර්මාණ බිහි විය යුතුයි කියලයි. ඒ බව  Lifie අපි ලංකාවේ අධ්‍යක්‍ෂකවරුන්ට මේ මොහොතේ සිහිපත් කරන්නේ ඉතාම ආදරයෙන්.

 
Cover Image Source – facebook.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *