අපි හැමෝම කාර්යබහුල වෙලා අඩු ගාණේ හුස්ම ගන්නවත් වෙලාව නැති වෙලා තියෙනවා. වෙලාවට ඒක ඉබේට සිදුවෙන නිසා ජීවත් වෙලා ඉන්නවා මිසක්, හුස්ම ගන්නයි කෑම දිරවන්නයි මේ තියෙන වැඩ අස්සේ අපිටම කරන්න වුණා නම් පිස්සු හැදිලා තමයි නවතින්නේ. අපේ තියෙන වැඩ කොච්චර වැඩිද කියනවා නම් අපි සඳුදා දවසට කැමතිම නැහැ. සති අන්තයේ වැඩ කරන කෙනෙක් වුණත් සති අන්තයට දවස් තුනක්වත් තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ඒත් ඉතින් අපි එහෙම හිතුවාට කවදාවත් වෙන්නේ නෑනේ. මේ ලිපියෙන් බලමු ඒ වෙනුවට වෙලාව වැඩි කරගන්නේ කොහොමද කියලා.
1. ඔබට ගැලපෙන වෙලාව හොයාගන්න

Source – pexels.com
එක එක අයට වැඩ කරන්න හිතෙන වෙලාවක් තියෙනවා. (හැබැයි ඉතින් කිසිම වෙලාවක වැඩක් කරන්න හිතෙන්නේ නැතිව කම්මැලිකම රජයනවා නම් අපේ කලින් ලිපිය කියෙව්වාම හරි.) සමහරුන්ට උදේ පාන්දර නැගිට්ටාම ඔක්කොම වැඩ ටික ගැම්මට කරලා දාන්න පුළුවන්. තවත් අයට රෑ නිදා මරාගෙන වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තමන්ට වැඩිම කාර්යක්ෂමතාවක් තියෙන වෙලාව හොයාගන්න ඕන. ඒ වෙලාවට ඔබට ඒ වෙලාවෙදි කරන්න පුළුවන් වැඩ ටික කොහොමහරි කරනවා කියලා හිතාගන්න. පාඩම් කරන කෙනෙක් නම් මේ ක්‍රමය ගොඩක්ම ගැලපෙනවා. තමන්ට නොගැලපෙන වෙලාවක නිදි කිර කිර පාඩම් කරන්නේ නැතුව විවිධ වෙලාවන්වලදි වැඩ කරලා තමන්ට ගැලපෙන වෙලාව හොයාගත්තාට පස්සේ ලේසියෙන්ම කරන්න තියෙන වැඩ ටික කරලා දාන්න පුළුවන්.
2. එකින් එක ඉවර කරන්න

Source – porchlightrental.com
වැඩ කරන්න පටන් ගත්තාට පස්සේ කොච්චර වැඩ ගොඩක් තිබුණත්, ඒවා හදිස්සි වුණත් දොඩම් ගොඩ බදාගත්තා වගේ, එහෙමත් නැත්නම් දුටුගැමුණු රජතුමා (මුලදි) යුද්ධ කළා වගේ එහෙන් මෙහෙන් ගහන්න යන්න එපා. කරන්න පහසුම වැඩේ මුලින්ම කරන්න. එතකොට ඒක ඉක්මණට ඉවර කරලා දාන්න පුළුවන්. ඒක ඉවර වෙනවා කියන්නේ ඔබට කරන්න තියෙන වැඩ ගොන්නෙන් එකක් ඉවරයි. එතකොට හිතට නිදහසකුත්, උද්‍යෝගයකුත් ලැබේවි. අමාරුම වැඩෙන් පටන් ගත්තොත් වෙන්නේ ඒකෙම එරි එරී ඉඳලා අන්තිමට කිසිම වැඩක් කරපු නැති දවසක් බවට පත් කරගන්නටයි. විද්‍යාත්මකව බැලුවත්, එකින් එක අවසන් කරද්දී අපේ මොළය ඩෝපමීන් කියලා සතුට දනවන තෑග්ගක් නිදහස් කරනවා. එතකොට අපිට ඇතිවන සතුට, උද්‍යෝගය නිසා තව තවත් වැඩ කරන්න උනන්දුව ලැබෙනවා.
3. ලැයිස්තුවක් ඕනමයි

Source – androidguys.com
දැන් වැඩ එකින් එක කරන්නට නම් ඒකට අපිට ඒවා පිළිවෙළකට ලියාගන්නට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. සේරම මතකයෙන් කරන්න පුළුවන් කියලා අපි පොර ටෝක් එකක් අපිටම ඉෂූ කරගත්තාට දවසෙ බාගයක් යද්දි කරන්න තියෙන වැඩ තියා එකයි එකයි දෙකයි කියලාවත් අපිට සිහියක් නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි ලිස්ට් එකක් හදාගන්න එක. කොළයක හෝ Google Keep වගේ ඇප් එකක මේ වගේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. මේක ලියද්දිත් පහසු ඒවා උඩින්, ටික ටික අමාරු ඒවා යටින් ලියන්න. වැඩක් කරලා ඉවර වුණාම ඒ එකින් එක කපලා දාන්න. එතකොට මේ වැඩ ටික මම කළා, මේ මේ වැඩ කරන්න තියෙනවා සහ ඒකට මෙච්චර වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා කියලා අපිට ප්ලෑන් එකක් එනවා.
4. අද ලිස්ට් එක අදම ඉවර කරන්න

Source – darrenhunter-knowledgelibrary.com
අපි හරි කැමතියි වැඩ කල්දාන්න. අනේ දැන් කම්මැලියි, දැන් නිදිමතයි, රස්නෙයි, සීතලයි, බඩගිනියි කියලා හේතු ගොඩාක් අපිට තියෙනවා වැඩ නොකර ඉන්න. අන්තිමට වෙන්නේ වැඩ ගොඩ ගැහිලා අපිවම අමාරුවෙ වැටෙන එක විතරයි. ඒ නිසා ලියාගත්තු ටික අනිවාර්යයෙන්ම කරනවා, ඊට පස්සේ නිදහසේ ඉන්නවා කියලා අධිෂ්ඨානයක් සහ තමන්ටම තෑග්ගක් දෙනවා කියලා හිතාගන්න. වැඩ වැඩි දවස්වලදි අද වැඩ ටික ඔක්කොම ඉවර කළොත් ගිහින් පරාටා පාරක් දානවා, අච්චාරු ටිකක් කාලා එනවා කියලා හිතාගන්න. හැබැයි ඉතින් මොනවත් නොකර තෑගි දීගන්න ගිහින් තමන්වම රවට්ට ගත්තොත් වැඩ කරගන්න බැරිවෙන්නේ ඔයාටම තමයි.
5. දවස අවසානයේ කොච්චර වැඩ කෙරුණාද බලන්න

Source – careermarshal.com
දවස අවසන් වෙලා ඔෆිස් එකෙන් යන්න පිටත් වෙන්න කලින් හෝ ගෙදර ගිහින් නිදහසේ ඉන්න වෙලාවක අද මම උදේ ලියපු ලිස්ට් එකේ කොච්චර කොටසක් ඉවර කළාද කියලා කල්පනා කරන්න. මේක කල්පනා කරන්න නිදාගන්න ඇඳට ගියාට පස්සේ නම් එපා. ඒකෙන් වෙන්නේ නින්ද යන්න තියෙන විනාඩියත් අපතේ ගිහින් හෙට තවත් අමාරු වෙන එක විතරයි. තමන්ගේ කාර්යක්ෂමතාව කොච්චරද කියලා තමන්ම විශ්ලේෂණය කරන්නට පුරුදු වුණාම ඉබේම කරන්න තියෙන වැඩ කොටස අවධානයෙන්, උනන්දුවෙන් කරන්න ඔබටම අවශ්‍යතාවයක් ඇති වෙනවා. අපි ගෙවන්නේ බොහොම කෙටි ජීවිත කාලයක්නේ. ඉතින් ඒ කෙටි කාලය තුළ උපරිම වැඩ කොටසක් අපිට, අපේ ආදරණීයයන්ට සහ සමාජයට කරන්න ඕන. එතකොටයි ලස්සන ලෝකයක් බිහිවෙන්නේ.
Cover Image Source – lynda.com / rd.com / beautheme.com
Leave a Reply