සුද්දෙක් විදියට ලංකාවේ ආවොත් නොකා නොයා යුතු කෑම 9ක්

Foods foreigners must try in SriLanka

ලංකාව විදේශිකයින් දකින්නේ සුන්දර මිනිසුන් සිටින ලස්සන දිවයිනක් විදියට. ඉන්දියාවට පැමිණ ලංකාවට පැමිණෙන විදේශිකයෙක් නම් ලංකාව කියන්නේ ඉන්දියාවට වඩා හොඳ රටක් ලෙස නොඅනුමානයෙන්ම සලකනවා ඇති. දේශයකින් දේශයකට යෑමේදී එහි ඇති ආහාරපාන රසවිඳීමත් එක්තරා කලාවක්. ලංකාවට පැමිණෙනවා නම් මෙන්න මේ ආහාර වර්ග වලින් රස නහර පිනවා ගැනීම සුදුසුය කියලා බී බී සී අඩවියේ ෆුඩ්ස් හි සඳහන් වී තිබෙනවා. අපි ඒ ආහාර මොනවාදැයි සලකා බලමු.

 

1. කොත්තු

Foods foreigners must try in SriLanka

Source – yamu.lk

බඩ රිදෙන අයුරු නොදැන කොත්තු මම කන්න ගියේ පෙරදා..

කකුල් මස් බැදපු සමග ලූනු කලවම් කලා අපෙ නානා..

ආදී ලෙස ජනප්‍රිය ගීතයක තාලයකට සැදුනු ආදරෙයි වස්තු කොත්තු ගීතය ජනප්‍රිය වූ ගීතයක්. එහි සඳහන් වන ලෙස තැටියට තෙල් දමා ලූනු බිත්තර දමා පැරණි රොටී එකතු කර තනන රොටිය ඇතැම්විට ඊලග දිනයේ ඉක්මණින් වැසිකිලි යැවීමට හෝ වැසිකිලි උවමනාව නැවතීමට සමත් මහත් වූ ආහාරයක්. රටේ ඕනෑම කඩමන්ඩියක දැකගත හැකි කොත්තු චීස් කොත්තු, බිත්තර මස් කොත්තු, ඩොල්ෆින් කොත්තු ආදි ලෙස කොත්තු වර්ග රැසක් තිබෙනවා. ආහාරයක් ලෙස සැලකූ කල ඕනෑම පලාතක ලෙහෙසියෙන් සොයාගත හැකි කොත්තු අපේ රටේ අනන්‍යතාවයක් සහිත කෑමක් ලෙසද විදේශිකයින් සලකනු ලබනවා.

 

2. ගොටු කොල මැල්ලුම්

Foods foreigners must try in SriLanka

Source – instagram.com

ගොටුකොල කියන්නේ සාමාන්‍යයෙන් කෙලින්ම ආහාරයට ගතහොත් තරමක තිත්තකින් යුතු කොළයක්. මේ තිත්ත කැපී යන්නට ගොටුකොල හීනියට ලියලා, පොල් ටිකක් ගාලා දාලා, ළූණු රතු ළූණු එහෙම දාලා, දෙහි දමා කලවම් කරලා ගත්තාම ගොටුකොල  කියන්නේ කදිම සැලඩ් එකක්. ගොටුකොල සලාදය තනන්නට අපිට අලුත්ම ගොටුකොල යොදාගන්න හැකිනම් රසය තවත් වැඩියි. පඳුර ලෙස වැවෙන විශාල ගොටුකොල වලට වඩා පැරණි මාදිලියේ වැල් ගොටුකොල සුද්දකරලා හීනියට ලියලා ගතහොත් වැඩිමනක් ගුණයෙන් යුතු වෙන බවක් තමයි අපේ ගමේ ගොඩේ අයනම් කියන්නේ.

 

3. වම්බටු මෝජු

Foods foreigners must try in SriLanka

Source – youtube.com

වම්බටු මෝජු එක් එක් පලාත්වල එක් එක් ක්‍රමයට හදන ඒ මොන විදියට හැදුවත් ගෑවුන තැන කතහැකි හොඳ කෑමක්. එක් ක්‍රමයෙකදි බටු ගෙඩිය සෝදා කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්නවා. ඉන් පසු විනාකිරි , සීනි ලුනු මිරිස් ආදී දේ දමා දිනක් පමණ තිබෙන්නට හැර ආහාරයට ගන්නවා. මීට අමතරව විවිධ ක්‍රමවලට වම්බටු මෝජු හදනවා.

 

4. බිත්තර ආප්ප

Foods foreigners must try in SriLanka

Source – lavenderandlovage.com

බිත්තර ආප්පු කියන්නේ ලංකාවේ රජයන් පෙරලිමට පවා දායක වූ ආහාරයක් ලෙස දේශපාලන ලෝකයේ සැලකෙනවා. 2015 ජනාධිපතිවරණය පෙර විරුද්ධ පාර්ශවයට එකතු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් වරට එවකට ජනපති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ එකතුව බිත්තර ආප්පයක්ද කා පැනගිය බවට පසුකාලයේ කතා ඇතිවුණා. බිත්තර ආප්පද ලංකාවේ සෑම තැනකම ජනප්‍රිය ආහාරයක්. ඒ අතර ජැකොලයින්ගේ බිත්තර දෙකක් දා තැනූ ඩබල් බිත්තර ආප්පය එකල රු 200/=ක් තරම් ඉහල අගයක් ගැනීමත් කාලයක් සමාජ ජාලා අතර පුවත් මවන සිද්ධියක් බවට පත් වුනා. සහල් පිටි මිශ්‍රනයකට පොල් එකතු කොට තනන ආප්ප මිශ්‍රණයකට උඩින් බිත්තර දමා තනන ආප්පයක් බිත්තර ආප්ප වේ. එය කන්නට ඇතැම් කඩවල කටට රසට ඇති ලුනුමිරිසක් ද ලබා දෙනවා. එසේ නැතිනම් බිත්තර ආප්පයට උඩින් ඉසිනු ලබන ලුනු ගම්ම්රිස් කුඩු ටිකෙන්ද බිත්තර ආප්පය කන්නට හැකි කික් එකක් අපේ දිවට එනවා.

 

5. දිවුල් බීම

Foods foreigners must try in SriLanka

Source – vegrecipesofindia.com

වියලි කලාපයේ ගස් යට වැටෙන දිවුල් ඇහිඳීම කලකදී වියලි කලාපයේ දරුවන් අතරද ජනප්‍රිය වූ ආදායම් මාර්ගයක් වුණා. එසේ අහුලාගත් දිවුල් වල මදය බ්ලෙන්ඩර් කර සීනි කිරි යොදා තනන දිවුල් යුෂ පානය ඇතැම් පලාත්වලදී දිවුල් කිරි ලෙසද හදුන්වනවා. දිවුල් වලටම ආවේණික ප්‍රනීත රසයකින් යුතු දිවුල් බීම ලංකාවේ පළතුරු යුෂ විකුණන බොහෝ කඩවලින් මිලදී ගන්නටද හැකියාව තිබෙනවා.

 

6. කිරිකොස් මාලුව

Foods foreigners must try in SriLanka

Source – blogger.com

විසාල කොස් ගෙඩිය හැදෙන්නට කලින් ගසේ කුඩාවට එල්ලීගෙන පලදරන කිරි කොස් ගෙඩියක් කුදලාගෙන කුස්සියට යන ගැමි ගෙදර අම්මා එය මුලින්ම කපා මෘදුවනතුරු මඳ ගින්නේ තම්බා ගන්නවා. පසුව ලුනු ගොරක සුදුලූණු ආදිය දමා දුඹුරු පැහැ වනතෙක් පිසගත් කිරි කොස් ව්‍යාංජනය මස් මාලු වෙනුවට ආදේශකයක් ලෙසත් මේසවලදී භාවිතා වෙනවා.

 

7. මාළු ඇඹුල්තියල්

Foods foreigners must try in SriLanka

Source – youtube.com

මාලු කල්තබාගැනීමේ කදිම ක්‍රමවේදයක් ලෙස එදා පටන්ම මාළු ඇඹුල්තියල් තබාගැනිම ජනප්‍රිය වුනා. මාළු වලිනුත් බල මාලු වැනි ටූනා වර්ගයේ ඇඹුල් තියල් වඩාත් සාර්ථකයි. ලුනු සහ ගොරකා වලින් පදම් උනු මාලු ඇඹුල්තියල් කෑල්ලක රහ වචන වලින් පමණක් විස්තර කරන්නට අමාරුයි.

 

8. පරිප්පු කරිය

Foods foreigners must try in SriLanka

Source – girlandthekitchen.com

පරිප්පු කියන්නේ ඉන්දියාවෙත් බහුල වශයෙන් භාවිතා වන ආහාරයක්. එහෙත් ඉන්දියාවේ පොල් වලට ජනප්‍රිය කේරළය වැනි පලාත් හැරුනු කොට පරිප්පු ආහාරයට ගන්නේ වතුරෙන් පිස ගැනීමෙන්. හොඳ හැටි පදමට සුදුලූනු, ළූණු, රම්ප, කරපිංචා අමුමිරිස් වැටිලා මිටි කිරි එක්ක ගානට හැදුනු පරිප්පු කරියක් බත් කන්න විතරක් නෙමෙයි රෝස්පාන්, රොටී, ඉදිආප්ප වගේ ආහාරයක් එක්කත් හරියට ගැලපිලා යනවා.

 

9. වටලප්පන්

Foods foreigners must try in SriLanka

Source – theflavorbender.com

මුස්ලිම් ජනයාගෙන් අපේ අතුරුපස මේසයට එකතු වූ වටලප්පන් සෑදීමට මැලේ මුස්ලිම් ජනයා විශේෂ හැකියාවක් දක්වනවා. වටලප්පන් සෑදීමට පොල් කිරි එසහ කිතුල් හකුරු හොදාගන්නවා. හොඳ කිතුල් හකුරු යෙදූ වටලප්පමක් වර්තමානයේදී සොයාගන්නට මදක් අපහසුයි. එනසාල්, කරාබුනැටි,කුරුඳුපොතු, ආදියත් වටලප්පම හදන විට දැම්මොත් ප්‍රණීත රසයක් වගේම සුවඳකුත් වටලප්පමෙන් ඒවි.

ආහාර කියන්නේ හුදෙක් බඩට දමාගන්නා යමක් නෙමෙයි. එතනින් එහාට ගිය ඒ ඒ සංස්කෘතියට රටවලට ආවේණික වූ ආහාර කලාවක්ද තිබෙනවා. අපිට නිතර මුණගැසෙන නිසා අපේ ආහාර ඇතැම්විට අපිට එතරම් අගයක් නැහැ. එහෙත් පිටරට සිට මෙරට ආහාර වට්ටෝරු සොය සොයා එන විදේශිකයින්ට අපේ ආහාර තුලින් කදිම අත්දැකීමක් ලැබෙනවා ඇති.

Cover Image Source – yamu.lk/ youtube.com / blogger.com/ vegrecipesofindia.com/ instagram.cm/ lavenderandlovege.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *