රටේ හැමෝට ම කාර්බාර් නැති නිසා පොදු ප්‍රවාහන සේවය මත්තේ රටෙන් භාගයක් දෙනා යැපෙනවා. ඔෆිස් යන සෙට් එකයි ඉස්කෝලේ යන පොඩ්ඩොයි සතියේ දවස් පහේ ම එල්ලිලා යන්නේ බස් එකෙයි කෝච්චියේයි. ඒ අතරින් බස්වල යන ඔබ ගැන ඔබත් නොදන්නා කරුණු තියනවා. මේවා ඔබත් දැනගෙන හිටියා ද?
1. ඔබ ලාදුරු රෝගියෙක් බව
බය වෙන්න දෙයක් නෑ. මේක එච්චර භයානක දෙයක් නම් නෙවෙයි. බස්වල යන ඔබට ම විතරක් විශේෂ වෙච්චි බස් එකෙන් බැස්සට පස්සේ අතුරුදහන් වෙන ලෙඩක්. දැන් හිතන්නකෝ කුඩ මිටක් තරම් වෙන හීල් එකක් දාගෙන නෝනා කෙනෙක් බස් එකට නැග්ගා කියලා. හිතා නොහිතා මේ හීල් එකට කකුල පෑගෙනවා. කටට ලේ රහක් එන තරම් වේදනාවක් දැනුනත් නොදැනුනා වගේ ඉන්න තරම් දක්ෂතාවක් තියෙන්නේ ඔබට ලාදුරු නිසයි. තව එතකොට බ්‍රේක් පාරක් වැදෙනකොට හිටගෙන ඉන්න පේළියම ඩොමිනොස් පැක් එකක් වගේ ඔබේ ඇඟට කඩාගෙන වැටෙනවා. ඒත් ඉතින් ගානක් නෑ වගේ ඉන්නේ ලාදුරු නිසයි.
2. ඔබ ඉවසීම ප්‍රගුණ කළ අයෙක් බව
ඉවසීම ඇති කරගන්න නම් 154 (කිරිබත්ගොඩ-අඟුලාන), 255 (ගල්කිස්ස-කොට්ටාව), 164 (සල්මල් උයන-පුරහල) වගේ බස්වලට නැග්ගහම හරි. උදේ හවා මේ බස්වල එක ගමන් වාරයක් ගියත් මේ ඉවසීම ඇඟට එනවා. 154 යනකොට නුවර පාරෙන් පටන් අරන් බේස්ලයින් එක දිගේ සරුසාරේට ට්‍රැෆික්. ඔය වෙලාවට බස් එකේ හිටගෙන ඉන්නවා නම් තවත් හොඳයි. බොරැල්ලේ විනාඩි පහළොවක් විතර වෙනකන් නවත්තගෙන ඉන්න නිසා හදිස්සියකට එහෙම නගින්න කියාපු බස් එක. වායු අංශුවකටවත් රිංගන්න ඉඩක් නැති තැනට තවත් මනුස්ස ශරීර ටිකක් ඔබාගෙන යන ගමනකදී දාඩිය සුවඳත් ඉවසීම ප්‍රගුණ කරන අස්සේ එන හඳුන්කූරු සුවඳක් වගේ. තව ඉතින් බස්වල කර්ණ පටලෙත් පලන්න තරම් හැකියාවක් ඇති සින්දු තමයි යන්නේ. ඕවා ඔක්කොම මැඩ පවත්වාගෙන හෙටත් බස් එකට නගින්නේ ඉවසීම ප්‍රගුණ කරපු මනුස්සයෙක් නිසා.
3. ඔබ සර්කස් ශුරයෙක් බව
බස් එකේ අම්බානෙට සෙනඟ. ඒ අස්සේ කොන්දොස්තරගෙන් විධානයක් එනවා මැද පොල්ලක් අල්ලන් ඉස්සරහට යන්න කියලා. නොදැනුවත්වම මිනිස්සු ගොඩේ තෙරපීගෙන අපි ඉස්සරහට ඇදෙනවා. නැත්තම් මැදින් යන අයට ඉඩ දීලා පුළුවන් තරම් ඇඟ ස්ටිකර් කරගෙන පැත්තකට වෙනවා.එක කකුලක් විතර ෆුට්බෝඩ් එකේ තියාගෙන ලල් එකේ යනවා. ඔය ඔක්කොම කරන අස්සේ සමබරතාව තියාගෙන බෑග් එක නැත්තම් පොකැට් එක අරගෙන ඒකෙන් සල්ලිත් දෙනවා.
4. ඔබ දානපතියෙක් බව
ඉතුරු සල්ලි දෙන්න ගොඩක් වෙලාවට කොන්දොස්තර අයියට අමතක වෙනවා. නැත්තම් එයා ම නොදී ඉන්නවා. මේ වෙලාවට රුපියලක් දෙකක් වගේ ඉතුරු වෙනවා නම් අපි ඒක ඔන්න ඔහේ කමක් නෑ කියලා දීලා දානවා. එතකොට බස් එකට නානා ප්‍රකාර මිනිස්සු නගිනවා නේ. විරිඳු කියන අයයි, ලොතරැයි පීපල්ස්ලයි, පිනට යමක් ඉල්ලන් එන අයයි කිසිම වෙලාවක බස් එකකින් හිස් අතින් බහින්නේ නැහැ. එහෙම වෙන්නේ ලංකාවේ බස්වල යන අපි මසුරු මිනිස්සු නොවෙන නිසා.
5. ඔබ හිතනවාට වඩා නාකි බව
ලංකාවේ කල්චර් එකක් තියනවා. ඒක බස්වලට අදාළ දෙයක් නම් නෙවෙයි. අපිට මග තොටේ හම්බවෙන ඕනිම මනුස්සයෙක් එක ක්ෂණයෙන් අපේ සහෝදරයෙක්, නැන්දා කෙනෙක් නැත්තම් මාමා කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි බස් එකේ දී නිතරම අපිට කතා කරන්න වෙන්නේ අයියලා එක්ක. ඩ්‍රයිවර් අයියයි කොන්දොස්තර අයියයි. ඔබේ තාත්තාගේ වයසේ කෙනෙක් කොන්දොස්තර තනතුරේ හිටියත් අපි එයාට කතා කරන්නේ අයියා කියලා. නැත්තම් අපි කියන්නත් කලින් එයා අපිට නංගි / මල්ලි කියලා කතා කරලා අහවරයි. එතකොට ඔබ හිතනවාටත් වඩා ඔබ නාකියි.
දැන් එතකොට උදේ හවා බස්වල එල්ලිලා ගියාට ඔබත් එසේ මෙසේ චරිතයක් නෙවෙයි. මීට අමතරව බස්වල ගමන් යන එකෙන් ඔබ ගැන ඔබ දන්නා කරුණුත් තියනවා. නැගිටලා සීට් එකක් දෙන තරමට ආචාරශීලි ද නැත්තම් බස් එකේ යන අනික් අයටත් වදයක් වෙන තරමේ අසහනකාරයෙක් ද කියන කාරණය ගැන නම් ඔබ දැනුවත්.
Cover Image Source – facebook.com
Leave a Reply