ඩොලර් මිලියන 48ක ඇමරිකානු එන්ජින් කඳුකර දුම්රියට වාසනාව කැන්දාවිද?

Do new locomotive engines worth

ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමෙන් ඩොලර් මිලියන 48ක් වැයකර නව දුම්රිය එන්ජින් 12ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මීට පෙර ඇමරිකාවෙන් ආනයනය කළ M2 දුම්රිය එන්ජින් වසර 50කට අධික කාලයක් භාවිතා කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එම්. අබේවික්‍රම මහතාද ප්‍රකාශ කොට තිබුණි. මිටර 5000කටත් වඩා උස් මුදුන් හරහා ගමන් කරන ලොව උසම දුම්රිය මග වන චීනයේ ක්වින්හායි ටිබෙට් දුම්රිය මාර්ගයේ ධාවනය වන්නේද ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් හි තැනූ අශ්ව බල 3800ක බලයෙන් යුතු ප්‍රබල එන්ජිමකි.  මුහුදු මට්ටමේ සිට මිටර හාරදහසට වැඩි සීමාවේදි ඇතිවන අඩු ඔක්සිජන් තත්වයනට සරිලන ආකාරයට චීනය වෙනුවෙන් දුම්රිය එන්ජින් නිපදවා දීමට ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමත්විය.  

 

1. චීන S-12 බලවේග කට්ටලය

Do new locomotive engines worth

Source – slrailinfo.wordpress.com

අපගේ කඳුකර දුම්රිය මගෙහි තත්වය ගැන තවමත් හරිහැටි පරීක්ෂා කොට බලා නැත. එනම් වැසි කලට කඳු දාර දිගේ ඇදෙන මෙම දුම්රිය මගේ තත්වය කෙසේ වේදැයි කිව හැක්කේ දෙවියන්ටම පමණි. එනිසා වඩාත් බර අඩු සැහැල්ලු දුම්රිය එන්ජින් දෙකකින් යුක්තව දුම්රිය පෙට්ටියක දිගද අඩුවන පරිදි කැළණිවැලි සහ උඩරට මාර්ගයට උචිත වන පරිදි දුම්රිය බලවේග කට්ටල විශේෂයෙන් සකස් කර තිබුණි. ඒ අනුව එම දුම්රිය ධාවනයට එක් වූ අතර ඒ දුම්රිය දැනුදු උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය වල ලෙස උඩරට මාර්ගයේ ධාවනය වේ. සාමාන්‍ය දුම්රිය වලට වඩා සුවපහසු එම දුම්රියේ ගමන් පහසුව වැඩිය. ලොව උසම දුම්රිය මාර්ගය පිහිටියේ චීනයේය. එහි දුම්රිය මැදිරි තැනූ සමාගමේම නිශ්පාදනය කරන ලද මෙම චීන මැදිරි වල අභ්‍යන්තර නිමාව නම් සතුටුදායකය. චීනය යනු ලෝකයේ තාක්ෂණය අතින් පසුගාමී රටක් නොවේ. ලොව ඇති අධිවේගී දුම්රිය මාර්ග පද්ධති වලින් වැඩිම දිගක් හිමි වන්නේ චීනයටය. තවමත් ඇමරිකාවට එකදු සැලකිය යුතු අධිවේගී දුම්රිය මගක් හදාගැනීමට හැකිව නැත.

 

2. නව එන්ජිම සහ උඩරට මාර්ගයට අනුව ගැලපීම

Do new locomotive engines worth

Source – Amila Chathuranga

බර අඩුවන සේද දිග අඩුවන සේද තැනූ S-12 උඩරට මාර්ගයේ සාර්ථකව ධාවනය වේ. එහෙත් අලුත්ම ඇමරිකානු එන්ජිම කෙසේ වේදැයි දන්නේ නැත. ඇතැම්විට ලංකාවෙන් සපයන තාක්ෂණික දත්ත අනුව එන්ජිම සකසා ලංකාවට උචිත පරිදි එවනු ඇත. එහෙත් අධිතාක්ෂණික එන්ජින් ගැන කියද්දී මීට වසර ගණනාවකට පෙර ලංකාවට ගෙන ආ ප්‍රංශයේ අල්ස්ට්‍රොම් සමාගමේ දුම්රිය එන්ජින් වලට ගිය කලදසාව අමතක කළ නොහේ. එවකට දියුණු තාක්ෂණයකින් සමන්විත වූ එම් -9 එන්ජිම සිතුසේ ගලවා වඳුරන්ට දැලිපිහිය අසුවූවා සේ හැසිරවූ ලංකාවේ බාස්ලාට එය නිවැරදිව යළි පිහිටුවාලිය නොහැකි විය. ඉන් අනතුරුව ප්‍රංශයේ එම් 9 එන්ජින් වලටද දිගින් දිගටම දෝෂාරෝපණය කිරීම්ද අපිට අසන්නට දකින්නට ලැබුනි. එක් පසකින් සෑම නව ඉන්ජිනේරු නිශ්පාදනයක්ම සියයට සියයක් ම අදාල තත්වයන්ට නොගැලපේ. ඒවා පසුව යාවත්කාලින කරගත යුතුය. අනෙක් පසින් නව එන්ජින් සමගම ඒ හා සම්බන්ධ තාක්ෂණය හා අලුත්වැඩියාව ගැනද දැනුමක් ඒ අදාල පාර්ශව වල යා යුතුය. නැතහොත් සිදුවන්නේ පෙර අලුත් තාක්ෂණ හඳුන්වාදිමේදී සිදුවූ සන්තෑසියමය.

 

3. අලුත් එන්ජින් දැම්මාම උඩරට පාර ලාබ ලබයිද?

Do new locomotive engines worth

Source – Amila Chathuranga

2016 වර්ෂයේ දුම්රියේ අලාබය රු මිලියන 6800කි. එයින් මුහුදුබඩ මාර්ගය හැරුණු කොට අනෙක් මාර්ග සියල්ලම පාහේ පාඩු පිට දුවන බවක්ද දුම්රිය දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග වලින් දැක්වුණි. ඒ අනුව පවතින ක්‍රමයේ අලාබ ලබන තැන් සොයා වඩාත් නවීකරණය කිරීමකින් තොරව දුම්රිය එන්ජින් පෙට්ටි ගෙනත් දැමුවාට දුම්රිය මගෙන් ලාබ ලැබිය හැකිදැයි ගැටලුවකි. බදුල්ලට යන බසයට වඩා දුම්රිය ගමන කාල වේලා ගත වේ. දුම්රිය දැනට යන වේගය ඇතැම් තැන්වලදි පැයට කිලෝමීටර 30-40ක් තරම් අඩු අගයකි. බදුල්ලට කොටුවෙන් යන උඩරට මැණිකේ බදුල්ලට යන්නට පැය 10-12ක් ගනී. එහෙත් බස්රිය පෑ 7-8කින් බදුල්ලට ලඟා වේ. එනම් දුම්රිය ගමනේ වේගය තව පැයට කිලෝමීටර 20කින් වැඩිකරගත හැකිනම් උඩරට මාර්ගයේ හමුවන ඇල්ල. බණ්ඩාරවෙල, බදුල්ල, හැටන්, තලවකැලේ, නානුඔය, ආදී පලාත්වල ජනයා වඩාත් වේගවත් ප්‍රවාහන මාධ්‍යය ලෙස අනෙක් මාධ්‍යවලින් බැහැරව දුම්රිය කරා ඇදෙනු ඇත.

 

4. අලුත් ව්‍යාපෘති, අලුත් එන්ජින් කෝ අලුත් මුදල් ?

Do new locomotive engines worth

Source – Amila Chathuranga

දුප්පත් රටක් වශයෙන් අප ආයෝජනය කරන සෑම මුදලක්ම වඩාත් ඵලදායි ලෙස නොයෙදුවහොත් ඒවා ණය ලෙස ගොනු පසුපස බැඳි කරත්තයක් විලසින් අප පසුපසින් ඒ. දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාගේ කියන පරිදි  සිමෙන්ති සමාගම සඳහා ගෙන එන ගැල් සදහා යන වියදමත් ඛනිජතෙල් ප්‍රවාහනය සදහා ගෙන එන දුම්රිය ගැල් වල වියදමත් වඩාත් ලාබදායී  ප්‍රවේශයන් බව සත්‍යයකි. එහෙත් භාණ්ඩ ප්‍රවාහනය සදහා විධිමත් ක්‍රමවේදයක් දුම්රිය සේවාව සතුව තිබේද? 2016 වර්ෂයේදී තැපැල්, පාර්සල්, සතුන් ආදී සියලුම භාණ්ඩ ප්‍රවාහනයෙන් දුම්රිය ලැබූ සමස්ත ආදායම මුලු ආදායමෙන් 11%ක් පමණි. මෙම අගය වෙනත් ලාබ ලබන දුම්රිය සේවා ඇති රටවල 50%කට වඩා වැඩි අගයක් ගනී. ගොඩබිම දී භාණ්ඩ ප්‍රවාහනයේදී දුම්රිය යනු ව්‍යවසායකයින්ට ඇති ලාබදායිම ප්‍රවේශයකි. ඒ සදහා පහසුකම් සලසා ඔවුන් ආකර්ෂණය කරගැනිමේ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් අප දුම්රිය සේවාවට ඇති බවක් නොපෙනේ.

බදුල්ල දක්වා දුම්රිය මග තැනූ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ අරමුණ වුයේ තේ වගාවට අවශ්‍ය ප්‍රවාහන පහසුව ලෙහෙසියෙන් සලසා ගැනීමය. තේ වගා කරන ප්‍රදේශ කිහිපයක් ම සම්බන්ධ වන පරිදි දුම්රිය මාර්ගය නුවර හැටන් තලවකැලේ ආදී කඳුකරය සිසාරා ඇදෙන්නේද ඒ නිසාම විය හැකිය.  අද වනවිට අප ආර්ථිකය තේ වලින් ඉදිරියට යා යුතුව ඇත. එහෙත් අද වනවිට පැරණි තේ ප්‍රවාහනය වැනි දේවත් දුම්රිය හරහා සිදු නොවේ. දුම්රිය මෙහෙයුම් කළමණාකාර තුමා පවසා ඇති පරිදි සියළුම නව  දුම්රිය මැදිරි,ගැල්, බලවේග කට්ටල, එන්ජින් සදහා වියදම් කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 276කි (රු මිලියන 42,906) . සැබැවින්ම එවැනි සුවිශාල මුදලක් වසර 10-15 කින්වත් නැවත රජයට උපයාගැනිටම අප දුම්රියට වැඩපිළිවෙලක් තිබේද? දුම්රියට කරනවාය කියන වෙනස්කම් මිස කෙරෙන වෙනස්කමක් නම් තවමත් දුම්රිය මගින්ට හෝ අපේ දුම්රිය සේවය තුල නොපෙනේ.

 

5. වෙනස්කම් සහ ලාභය

Do new locomotive engines worth

Source – iComplaints.in

ඉන්දියානු දුම්රිය සේවය ඊ ටිකට් හෙවත් ඉලෙක්ට්‍රොනික ටිකට් පතකට යොමු වූයේ 1986 වර්ෂයේ සිටය. ඔවුන් දැන් සම්පූර්ණයෙන්ම කඩදාසි භාවිතයෙන් තොර මොබයිල් ෆෝන් හරහා ටිකට් වෙන්කරගැනිම දක්වා සිය ටිකට් සේවාව වැඩිදියුණු කිරීමට අදහස් කරගෙන සිටී. ටිකට්පත් මොබයිල් ඇප් එකකින් වුව කරගත හැකි ඉන්දියානු දුම්රියන්හි තමුන්ගේ වෙන්කරගත් ආසන නොම්බරය එස් එම් එස් මාර්ගයෙන් බලාගැනීමටද හැකියාව සහිත පද්ධතියක් තිබේ. ඒ වඩාත් නොදියුණු සාක්ෂරතාවයෙන් අපටද පහල ඉන්දියාවේය. ලංකාවේ අගනුවර සහ අනෙකුත් නගර වල පවතින අධිකතර වාහන තදබදයට දුම්රිය හොඳ විකල්පයකි. දුම්රිය එන්ජින් ගැල් මැදිරි මෙන්ම මගින්ගේ සුවපහසුව සැලසෙන පරිදි දුම්රිය සේවාව යාවත්කාලීන වීමද සිදුවිය යුතුය. දැනට ඇති දුර්වල සංඥා පද්ධති අබලන් මාර්ග ආදිය නිසා තිබෙන දුම්රිය වලින්වත් කාර්යක්ෂමව ඵල ප්‍රයෝජනයක් ගත හැකි බවක් නොපෙනේ.

Do new locomotive engines worth

Source – railway-technology.com

නව දුම්රිය එකතුවීම සිදුවිය යුත්තකි. එහෙත් සමස්ත දුම්රිය සේවයේම තත්වය සහ ආකෘතිය නවීකරණය නොවී එන්ජින් සහ පෙට්ටි වලින් පමණක් දුම්රිය සේවය කාර්යක්ෂම කළ නොහැක. තිබෙන සම්පත් ටිකවත් හරිහැටි කළමණාකරණය කොටගෙන කාර්යක්ෂම සේවාවක් ලබාදීමට සමත් දුම්රියට එහි කළමනාකාර හැකියාව වර්ධනය කිරීමකින් තොරව සම්පත් පොම්ප කිරීමෙන් සේවාව දියුණු වීමක් බලාපොරොත්තු විය නොහැක.  දුම්රිය ගැල්, මැදිරි, එන්ජින්, බලවේග මිලදී ගැනීමේදී මගියාට  කෙසේ වෙතත් ඩොලර් මිලියන ගණන් වල විශාල ගනුදෙනු හරහා ඉහළම නිළධාරින්ට නම් සිරිත් පරිදි වාසනාව පෑල දොරෙන් හෝ ළඟා වෙනු ඇත.

 
Cover Image Source – Amila Chathuranga / toursrilanka.info
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *