අපිටම ආවේණික මේ කෑම කාලා තියෙනවා ද?

Lankan foods in Extinction

රතු දත්ත වාර්තාවේ වඳවීගෙන යන සත්තු ගැන තොරතුරු තියෙනවා. සත්තුන්ට වගේ ම ඔය සෙතේ කෑමවලටත් වෙන්න පුළුවන් කියලා කවදාහරි හිතිලා තියෙනවද? ලංකාව කියන්නේ රහ කෑමවලින් ලෝකය ම හොල්ලපු රටක්. අපට ආවේණික කෑම වගේ ම වෙනත් රටවලින් අපට ලැබුණු ඒත් අපේ විදියට ම හදාගත්තු කෑම බොහොමයක් තියනවා. අද කාලේ තුන් වේල සම්පුර්ණ කරගන්න බත්, පාන්, ඉඳිආප්ප, නූඩ්ල්ස්, රොටී, කඩල, තෝසේ, පරාටා වගේ කෑම හැරුණම අමුතුවෙන් දෙයක් හදාගන්නේ නැති තරම්. දැන් එතරම් සුලබව දකින්න නැති ඒත් සුලබව හදාගන්න ඕනි රහ ම රහ කෑම වට්ටෝරු ටිකක් තමයි මේ.

 

1. කී රොටී

Lankan foods in Extinction

Source – RASA UYANA youtube channel

කී රොටී වැඩියෙන් ම හදන්නේ වයඹ පළාතේ ඈයෝ තමයි. ඒ පැත්තේ දානේ ගෙවල්වලට කී රොටී අනිවාර්යයි. ඔය තරම් ඉස්තරම් කී රොටිය හදාගන්නේ මෙහෙමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

ආප්ප මිශ්‍රණය සඳහා:

  • හාල්පිටි කෝප්ප 2 1/2
  • සීනි තේ හැඳි 2
  • ලුණු තේ හැඳි 3/4
  • මිටි කිරි කෝප්ප 1/2
  • බේකින් සෝඩා තේ හැඳි 1/4
  • පොල් වතුර 1/2
  • කිරිපිටි මේසහැඳි 1

 

සිරප් එක සඳහා:

  • හකුරු 250g
  • දිය කිරි කෝප්ප 2
  • මිටිකිරි කෝප්ප 1
  • තලාගත් සුදුළූණු බිකි 3
  • ගම්මිරිස් කුඩු මේසහැඳි 1/2
  • බැදපු හාල්පිටි මේසහැඳි 2

 

සාදාගන්නා ආකාරය:

ඉස්සෙල්ලම හාල්පිටි ටික භාජනයකට දාලා ඒකට පොල් වතුර ටිකින් ටික හිමීට දාලා අතින් අනන්න ඕනි. ඊට පස්සේ සීනි තේ හැන්දක් දාන්න. මේකත් තලපයක් එන විදියට අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය 6ක් පිපෙන්න තියන්න. ඊට පස්සේ මේකට මිටිකිරි කෝප්ප 1/2 එකතු කරන්න. එක පාරට ම නැතුව ටික ටිකයි දාන්න ඕනි. මේක අනාගත්තාට පස්සේ ලුණු ප්‍රමාණය දාගන්න. ඒ වගේම සීනි තේ හැන්දකුත් බේකින් සෝඩා තේ හැඳි 1/4ත් දාලා කලවම් කරන්න. කිරිපිටි මේසහැන්ද ඊළඟට එකතු කරගන්න. මේ මිශ්‍රණය පැය භාගයක් තියෙන්න අරින්න. දැන් මිශ්‍රණය හදලා ඉවරයි.

ඒ අතරතුර පොල්පැණි සිරප් එක හදාගන්න. භාජනයක් ලිප තියලා ඒකට දියකිරි කෝප්ප 1 1/2ක් දාන්න. මේකට හකුරු 150g එකතු කරගන්න. අඩු ගින්දරේ දියකරගන්න. දියවුණාට පස්සේ ඉතුරු හකුරු ටික එකතු කරන්න. ඒකත් දිය වුණාට පස්සේ මේ ද්‍රාවණය පෙරාගන්න ඕනි. පෙරාගත්තු මිශ්‍රණය භාජනයකට දාලා ලිපේ තබන්න. එයට ගම්මිරිස්, සුදුළූණු දාලා කලවම් කරලා ටික වෙලාවක් ලිප තියාගන්න. මිටිකිරි කෝප්පයෙන් ටිකක් එක් කරගන්න. බැදපු හාල්පිටි මේසහැඳි 2 මෙයට එක් කරන්න. හොඳින් හැඳි ගාලා විනාඩි කීපයක් ලිප මත මද ගින්නේ තබන්න. ලුණු ඩිංගක් එකතු කරගන්න.

අඩු ගින්දරේ තාච්චියක් ලිප තියලා කී රොටී ටික හදාගන්නේ මෙහෙමයි. අඩු ගින්දරේ තෙල් ගාපු තාච්චියට මිශ්‍රණයෙන් ඩිංග ඩිංග එකතු කරලා රොටිය හදාගන්න. මේකට සාමාන්‍ය ආප්පයක් හදනවාට වඩා කාලයක් යනවා. ටික වෙලාවකින් තාච්චියේ පියන ඇරලා ඇඟිලි තුඩුවලට වතුර ටිකක් අරගෙන ඉහින්න. ආයෙත් පියනෙන් වහලා තම්බගන්න. එක පැත්තක් විතරයි තම්බගන්නේ. කී රොටිය හොඳට තැම්බුණාට පස්සේ කලින් හදාගත්තු සිරප් එක ඇතුළට රොටිය දාන්න.

ආහාරයට ගන්න

 

2. පුස්නාම්බු

Lankan foods in Extinction

Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල් පිටි 100g
  • ඉරිඟු පිටි 250g
  • කිතුල් පැණි / පොල් පැණි කෝප්ප 1
  • පොල් ගෙඩියක වතුර (දවසක් පැරණි නම් වඩාත් හොඳයි)
  • ලුණු

 

සාදාගන්නා ආකාරය:

අඹරාගත්ත හාල්පිටි සහ ඉරිඟු පිටි මිශ්‍රණයට පැණි කෝප්පය දාලා හොඳට මිශ්‍ර කරගන්න. (සමහර ප්‍රදේශවල ඉරිඟු පිටි දාන්නේ නැතුව හාල් පිටි 200gකට උඳු මේස හැඳි 2ක් දාලා මිශ්‍රණය හදාගන්නවා). මේ මිශ්‍රණයට ලුණුයි පොල් වතුරයි දාලා රොටී පදමට හදාගෙන පැය 10ක් පමණ වසා තබන්න. කැන්ද කොළයක් අරගෙන මිශ්‍රණයෙන් කෝප්ප භාගයක් බැගින් වණ්ඩුවේ දාලා තම්බා ගන්න. හොඳින් තැම්බෙනකොට පුස්නාම්බුවේ මුදුන පුපුරනවා. එතකොට ඉක්මනට ම බාගන්න.

 

3. කොස්ඇට අග්ගලා

Lankan foods in Extinction

Source – hadakari.lk

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බැදගත් කොස් ඇට 30
  • ගා ගත් පොල් කෝප්ප 1
  • සීනි 100g
  • ලුණු
  • ගම්මිරිස්
  • වතුර
  • කොස් ඇට 30කට වඩා ඕනි නම් සීනි ප්‍රමාණ වෙනස් කරගන්න වෙනවා

 

සාදාගන්නා ආකාරය:

ඉස්සෙල්ලා ම කොස්ඇට ටික  වංගෙඩියකට දාලා කොටාගන්නවා. ඊට පස්සේ පොල් කෝප්පය දාලා ආයෙත් කොටාගන්නවා. මේ මිශ්‍රණය භාජනයකට දාලා ඒකට අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් කුඩු සහ වතුර එකතු කර හොඳට අනාගෙන අග්ගලා ගුලි හදාගන්නවා.

 

4. බෙරලිය පිට්ටු

Lankan foods in Extinction

Source – blogger.com

බෙරලිය පිට්ටු හදාගන්න අමාරුයි. මොකද කියනවා නම් බෙරලිය ගෙඩි හටගන්නේ අවුරුදු හතරකට වතාවයි. අනික තෙත් කලාපයේ විතරයි දකින්න ලැබෙන්නෙත්. ලංකාවට ආවේණිකයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බෙරලිය 200g
  • හාල්පිටි  200g
  • පොල් අවශ්‍ය පමණ
  • ලුණු අවශ්‍ය පමණ

 

සාදාගන්නා ආකාරය :

ඉස්සෙල්ලා ම බෙරලිය ගෙඩි හොඳින් සෝදලා අරගෙන වේලුනාට පස්සේ කොටාගන්න ඕනි. ඒකට හාල්පිටි, පොල් සහ ලුණු එකතු කරලා සාමාන්‍ය විදියට පිට්ටු හදනවා වගේ ම හුමාලයෙන් තම්බා ගන්න ඕනි.

 

5. සීලවඩිච්චි

Lankan foods in Extinction

Source – blogger.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුරුම්බා ගෙඩියක්
  • බටර් විස්කෝතු
  • සීනි
  • හබල පෙති

 

සාදාගන්නා ආකාරය:

කුරුම්බා ගෙඩිය පළලා වතුර ටික වෙන් කරගන්න. ඊට පස්සේ කුරුම්බා ගෙඩියේ ලොඳ ටිකත් හොඳට හූරලා අරගෙන බෑවේ ම තියෙන්න අරින්න. ඊට පස්සේ මේ එක එක බෑයට කුඩු කරගත්තු බටර් විස්කෝතුයි සීනියි හබල පෙතියි එකතු කරලා ඒකට කුරුම්බා වතුර ටිකත් දාලා කන්නයි බොන්නයි තියෙන්නේ. හබල පෙති ටික එකතු කරන්න කලින් හබල පෙති ගරලා පොඟවලා වතුර මිරිකලා ගන්න ඕනි.

මේ කෑම එක් එක් ප්‍රදේශවලට ආවේණික බවක් තිබ්බට ඒ ප්‍රදේශවල අයත් දැන් මේ කෑම හදන්නේ බොහොම කලාතුරකින්. වැඩ රාජකාරිත් එක්ක ප්‍රධාන වේල් තුන උයාගන්නත් බුදු කට්ටක් කන්න ඕනි. ඒත් අපිට අනන්‍ය ආහාර සංස්කෘතිය නැති වෙන්න දෙන්න එපා. දරුවොත් එක්ක වෙලාවක් හදාගෙන මේ වගේ සරල කෑම හදලා රස විඳින්න.

 
Cover Image Source – youtube.com / fb.com / blogger.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *