බොහෝ දෙනෙක්ට තිබෙන ආසාවක් තමයි නායකත්වය අරගෙන කටයුතු කරන එක. ඒත් නායකයන් ඉන්නේ බොහොම අල්ප ප්‍රමාණයක් විතරයි වගේම ඒ අයගෙනුත් බහුතර මිනිස්සුන්ගේ හිත් දිනාගෙන තියෙන්නේ අරික් කාලක් විතරයි. මේ අය පසුපස සැඟවී තිබෙන රහස මොකක්ද? අපි ඒ ගැන සොයා බලමු.
1. බය නැති කරගන්න
නායකත්වය ගැනීමේදී “මම මූලිකත්වය ගන්න ඕන” කියලා ඇඟට හයිය එන්න තරම් ඔබේ එඩිතර බවක් ඇති වෙන්න අවශ්‍යයි. මෙය ඇති වෙන්නේ නැත්නම් ඔබ, ඔබ ගැනම හීනමානයෙන් ඉන්නා බව තමයි ඔප්පු වෙන්නේ. එහෙමත් නැත්නම් “ඕවා කරාට, හඬ නැගුවට, නැහුණාට වැඩක් නෑ” කියලා ඍණාත්මක සිතිවිලි දහරාවක් හිතේ තියෙනවා. නමුත් හිතේ තවත් කොණකින් නායකත්වය හොයනවා. මේ දෙකෙන් එක පැත්තක් මුලින්ම තෝරගන්න ඕන. ඔබ නායකත්වය කියන පාර්ශවය තෝරගත් නිසා තමයි මේ ලිපිය කියවන්නේ. ඒ නිසා ඔබ දැන් ඊට සූදානම්. ඔබ හිතේ හයිය තියෙන කෙනෙක්. ඉදිරියට යන්න.
2. අනිත් අයගේ අවශ්‍යතාවන් හඳුනාගන්න
නායකයෙක්ගේ තිබෙන හොඳම ගුණාංගයක් තමයි අනිත් අය හිතන විධිය, ඒ අයට අවශ්‍ය දේ කුමක්ද කියන එක දැනගන්න එක. මේක නොදැන තමන්ගේ අභිලාෂයන් විතරක්ම හිතන අයට මිනිස්සු කැමති නැහැ. සල්ලි වලින් උඩට ගියත් බොහොම ඉක්මණට කඩාගෙන වැටෙනවා. මේ නිසාම තමයි පරාක්‍රමබාහු රජතුමා, අනගාරික ධර්මපාලතුමා වගේ උතුම් පුද්ගලයන් අපේ හිතේ රැඳෙද්දී අනිත් මෑත කාලීන අය අමතක වෙලා යන්නේ. බහුතර කැමැත්ත නියෝජනය කිරීම තමයි නායකයෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ. අන්න ඒ දේ ඔබ තුළ ගොඩනගා ගත යුතු වෙනවා. ඔබේ අරමුණ වගේම අනිත් අය ඒ හරහා බලාපොරොත්තු වන පොදු දේවල්නුත් ඔබේ ඉලක්කයට එකතු කරගන්න වෙනවා. මොකද ඔබ හැමෝම නියෝජනය කරන කෙනෙක්.
3. තමන්ගේ අරමුණ ගැන කතා කරන්න
අවශ්‍යතාවය හඳුනාගත්තාට පස්සේ ඔබ ක්‍රම ක්‍රමයෙන් ඔබේ අදහස් ගැන අනිත් අය එක්ක කතා කරන්න පටන් ගන්න. ඔබේ හිතේ තිබෙන අධිෂ්ඨානය ඒ වචන හරහා ඒ අයට දැනෙන්න හරින්න. එකම දේ විවිධ අය එක්ක කතා කරන්න. ඒ කතා කරද්දී ඒ අයව නියෝජනය වෙන විධියට කතා කරන්න. උදාහරණයක් විධියට වෙනස් මත දෙකක් තිබෙන නමුත් පොදු අරමුණක් තියෙන දෙන්නෙක් එක්ක ඔබ කතා කරන්දී ඔබ නියෝජනය කරන ඒ පොදු අරමුණ ගැන විතරක් කතා කරන්න. ඒකට සහායක් විධියට එයාලා අකමැති දේවල් වලට ඔබ කැමති වුණත් එයත් එක්ක චුට්ටක් බැණලා හිත දිනාගන්නත් වෙනවා. මේක කාලයක් කරද්දී ඔබ ගැන විශ්වාසයක් ඔබ වටා ඉන්න අය අතර ගොඩ නැගෙනවා. ඔබ ඉදිරියට යද්දී ඊට පස්සේ මේ පියවර ඔබට කරදෙන්නේ ඒ වටේ ඉන්න අය තමයි. ඒ නිසා දැන්මම වැඩේ හරියට කරලා තියන්න.
4. ඔබ මූර්තියක් වෙන්න
කතාව තිබුණාටම මදි. මිනිස්සු ඔබ ඒ කියන දේවල් කරනවාද කියලත් බොහොම අවධානයෙන් තමයි ඉන්නේ. හචිමක් ගියත් ඒකේ වැරදි හොයන එකේ කොච්චර ලොකු ටෝක් ඉෂූ කළත් ඒවා ඔබ කරනවාද කියලා තමයි ඔවුන් මුලින්ම බලන්නේ. ඔබ කියනවා නම් මට කටු තියෙන ගහක නගින්න පුළුවන් කියලා, ඒක කරලා පෙන්වන්න වෙනවා. ඒ කිව්වේ ක්‍රියාව තුළිනුත් ඔබේ අධිෂ්ඨානය පෙන්න ඕන. එතකොට තමයි අනිත් අය “මිනිහා වැඩකාරයා” කියලා තවත් අයත් ඔබ වටා එකතු කරදෙන්නේ. එදිනෙදා ජීවිතය ගෙවද්දිත් බොහොම කල්පනාකාරී වෙන්න වෙනවා. පොඩි වැරැද්දක් වුණත් අද එළියට නොආවත් ඒවායේ ෆයිල් ළඟ තියාගෙන ඉන්න අය ඔබ ඉදිරියට යද්දී පහර ගහන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔබ හොඳ කෙනෙක් වන තරමටම ඔබට යන්නට හොඳ මාවතක් එළි පෙහෙළි වෙනවා.
5. බලය පවරා දෙන්න
කට්ටියක් එකතු වෙලා මොනවාහරි වැඩක් කරන්න ගියාම හැම තිස්සේම එක එක අයගේ හැකියාවන්ට අදාලව වැඩ ටික බෙදලා දෙන්න. සේරම ඔබම පටවගෙන කරන්න ගියොත් අනිත් අයට අවස්ථාවක් නොලැබෙන නිසා එයාලා සිත් තැවුලට පත් වෙනවා වගේම ඔබේ ඔළුවේ වැඩ වැඩි වෙලා අන්තිමට කරන්න යන දේත් අවුල් යන්න පුළුවන්. දැන් ඔබට තවත් කාරණයක් තේරෙනවා ඇති. ඒ තමයි, ඔබ වටා ඉන්න හැම කෙනෙක්ගේම හැකියාවන් හඳුනාගත යුතුයි කියන එක. උඩින් වැඩ කරනවා වගේ අයිස් ගහන අය, බොක්කෙන් කරන අය, ඔබ මතින් තමන් ගොඩයන්නට මාන බලන අය හඳුනාගෙන ඔබේ අරමුණට අදාලව එයාලාව කොන්ට්‍රෝල් කරන්න වෙනවා. හැබැයි කිසිම ලෙසකින් කිසිම කෙනෙක්ව කපන්න එපා. මේ හැම කෙනෙක්ම ඔබේ ගමන යන්න ඕන. ඒ නිසා හැම කෙනෙක්ටම ඔවුන්ට අදාල වන විධියට වැඩ පවරන්න. කට්ටියක් නැහෙද්දී තවත් පිරිසකට කකුල් උඩ තියාගෙන ඉන්න දෙන්න එපා. නිකං ඉන්න මාන බලන අයට පොඩි නෝන්ඩියකින් වැඩට පොළඹවා ගන්න ඔබ සමත් වෙන්න ඕන.
6. ඉදිරි සැලසුම් ගැන හිතන්න
බලය බෙදුවාම ඔබට වැඩ කරන්න වැය කරන කාලය ඉතුරු වෙනවා. ඒ ටික පහළින් ඉන්න අය බලනවානේ. සමිතියක වුණත් සභාපති ඉඳිද්දී ලේකම්, භාණ්ඩාගාරික වගේ තනතුරු තියෙන්නේ ඒකයි. දැන් මේ අය තමන්ගේ කොටස කරනවාද කියලා බලන්න විතරයි ඔබට තිබෙන්නේ. ඒක හරියටම කරන්න වෙනවා. මේ කෙනෙක් පොඩි අවුලක් කළත් ඔබේ වැටීමකට එය හේතු සාධක වෙන්න පුළුවන්. ඒවගේ අවස්ථාවකදීත් ඔවුන්ට බැණ වදින්නේ නැතිව ඔවුන්වත් බේරගෙන ඔබේ ජාමෙ බේරගන්නත් චුට්ටක් කපටි වෙන්න ඕන. මේ අතරේ අනාගත සැලසුම් හදන්න පටන් ගන්න. කණ්ඩායම් හැඟීම ඇති වෙන විධියට, හැම කෙනෙක්ම වටින බව හැඟෙන්න කතා කරන ගමන් හැමෝම දිරිමත් කරමින් ඔවුන්ගේ අදහස්නුත් අරගෙන ඉදිරි පියවර ගැන ඉලක්ක ඇති කරගන්න. ඔබෙන් පසුව එතන පුරවන්න පුළුවන් කෙනෙකුත් ඒ කෙනාට නොදැනීම හදලා, ඔබ යන්න කිට්ටුවෙන වෙලාවෙදි විතරක් එයා ඊළඟට ඉන්න බව පෙන්වා දෙන්න. ඒ වෙද්දී ඔබේ නික්ම යාම හැමෝටම කඳුළක් වෙනවා සිකුරුයි. මොකද, ඔබ සාර්ථක නායකයෙක්.
Cover Image Source – hbs.org / twitter.com / youtube.com
Leave a Reply