සතුට ළඟා කරගන්න මේ දේවල් කරන්න

How to stay happy

ජීවිතය කියන්නේ හැල හැප්පීම් එක්ක ගෙවෙන දෙයක්. සතුටක් විඳලා මොහොතක් යන්නත් කලින් ඒක දුකක් බවට පත්වෙලා වැඩක් කරන්නත් එපා වෙලා ජීවත් වෙන එකත් එපා වෙන තත්වෙට පත්වෙන එක ඕනම කෙනෙක්ට නිතර සිද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට දුකක් කරදරයක් වුණාම හිතෙන්නේම මේක අපිටම වෙච්ච දෙයක්, අපේ ප්‍රශ්නෙ අමාරුව දන්නේ අපි විතරයි කියලා. හැබැයි ලෝකෙ හැම කෙනෙක්ටම තියෙන්නේ එකම ප්‍රශ්න ටික තමයි. මේවා අතරෙන් ගෙවෙන ජීවිතය සතුටෙන් ගෙවන්න අපි චුට්ටක් tricky වුණොත් ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් වේවි.

 

1. ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වෙන්න

How to stay happy

Source – milknheels.com

අවුල් ගැහුවාම ගොඩක්ම කල්පනාකාරී විය යුතු දෙයක් තමයි ශරීර සෞඛ්‍යය. හිත අවුල් වුණාම කන්න හිතෙන්නේ නෑ, කල්පනා කරමින් ඉන්න නිසා පපුව දැවිල්ල එනවා, නිතර නිදිමත එනවා, ඔළුව රිදෙනවා වගේ තව අවුල් ගොඩායි. ඊට පස්සේ ගැස්ට්‍රයිටීස් වගේ ලෙඩ වලට බේත් ගන්න දුවන්නත් වෙන්නේ තව ගාණක් කුඩු කරගන්න ගමන්. ඒත් ඉතින් එක ප්‍රශ්නයක් නිසා ඇඟත් ලෙඩ කරගෙන තව වැඩේ වැඩි කරගන්නේ නැතුව කරන්න ඕන දේවල් ටික කරලා ප්‍රතිඵල ලැබෙනකම්වත් ටිකක් වෙනදා වගේ කාලා බීලා ජොලියෙ ඉන්න. මොකද නොකා හිටියා කියලා කෙල්ල යාළු වෙන්නෙත් නෑ, ඉඩමෙ මායිම හැදෙන්නෙත් නෑ. ඇඟ ලෙඩ වුණාම ඒකෙ පාඩුවත් අපිටමයි.

 

2. අතීතයට සමාව දෙන්න

How to stay happy

Source – melbournepastliferegression.net

ගොඩක් දෙනෙක් හදන්න බැරි වැරැද්දක් සිද්ධ වුණාට පස්සේ ජීවිත කාලෙම ඒ ගැන හිතමින් තැවෙමින් ජීවත් වෙනවා. ප්‍රශ්නයක් ඇති වුණාම ඒක අතීතයට භාර දීලා අපි අපිටම සමාව දෙන්න ඕන. කොච්චර ඒක බරපතල වුණත් කරන්න ඕන එකම දේ ඒක විතරයි. මොකද, දැන් ඒක වෙලා ඉවරයි. අපිට ආයෙ ඒක හදන්න බැහැනේ. වැල යන අතට මැස්ස ගහන්න කියනවා වගේ දැන් ඒකට ආයෙ පොටක් පෑදුණ ගමන් විසඳුමක් හොයාගන්නවා කියලා හිතාගෙන ප්‍රශ්නෙ අමතක කරලා, අායෙ ඒ වගේ මෝඩකමක් නොවෙන්න කල්පනා කරගෙන සින්දුවක් අහලා, යාළුවො එක්ක චැටක් දාලා ජීවිතේ continue කරන්න. මොකද, ජීවිතයේ ජයගන්න ඔබේ හිතේ පිරුණු ආසාවන් ගොඩක් තිබෙන නිසා ඒවාට මනස යොදවන්න ඕනේ.

 

3. මේ මොහාත ගැන හිතන්න

How to stay happy

Source – msecnd.net

අවුලක් හිතට දැනෙද්දී ඒක ගැනම කල්පනා කර කර දුක් වෙනවට වඩා හොඳ හුස්මක් අරගෙන මේ මොහාතට හිත යොමු කරන්න. හිත හයිය කරගෙන “මේක දැන් වෙලා ඉවරයි, ඒක හදන්න පුළුවන්ද?” කියලා කල්පනා කරන්න. දුක් වෙවී හිටියාට චුට්ටක්වත් ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඔළුවට අදහසක් එන්නේම නැත්නම් ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. ඒත් ඒක විසඳෙනකම් ඒ ගැනම හිත හිත ඉන්න එකේ තේරුමකුත් නැහැ. ඒ වෙනුවට හිත එක්තැන් කරගෙන බුද්ධියට ඉඩ දෙන්න. ප්‍රශ්නය ගැන කතා කරන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නය කොළේක ලියන්න. එතකොට ඔබටම විසඳුම් මතකයට ඒවි.

 

4. අද ඔබ සතුව තිබෙන දේවල් ගැන කල්පනා කරන්න

How to stay happy

Source – aowanders.com

කෙනෙක්ගේ වියෝ වීමක්, ඔබ කැමතිම දෙයක් කැඩී බිඳී ගියා නම් ඒ ගැන දුක හිතෙනවා තමයි. කණ්ණාඩියක් බිඳිලා ගියාම ඒකේ කෑලි කොච්චර එකතු කරලා ඇලෙව්වත් ඒකෙන් කලින් තිබුණු පෙනුම එන්නේ නැහැ. ඒ කෑලි වලින් වෙනස් වෙනස් දේවල් තමයි පේන්නේ. හිතත් එහෙමයි. බිඳුණු විධියටම තියාගෙන ඉන්නේ නැතිව අලුතින් හිතන්න පටන්න ගන්න. ඔබේ සෙරෙප්පු දෙක නැති වුණා නම්, සෙරෙප්පු දාන්න බැරි කකුල් අහිමි කෙනෙක් ගැන හිතන්න. බූට් නම් ඒකෙ තියෙන වාසි දිහා බලලා සතුටු වෙන්න. කොහොමටත් දෙයක් ලබා ගන්න දුක් වෙන්න ඕන. නොලැබුණොත් ඒක ගැන දුකයි. ලැබුණොත් ඒක පවත්වා ගන්න කට්ට කන්න ඕන. කොහෙන් ගියත් දුකම තමයි. ඉතින් වෙනත් කෙනෙක්ට මේ දේම වුණාම අපිට ලොකුවට අවුල් යන්නේ නැහැනේ. මේ දේවල් අපේ කියලා හිතන නිසා තමයි මෙච්චර දුකක් හිතෙන්නේ. ඔබ ටිකක් පිටතට ඇවිත් වටපිටාව ගැන හිතන්න. ඔබ සතුව තියෙන දේවල් වලින් සාර්ථක කෙනෙක් කියලා ධනාත්මක සිතුවිලි වලින් හිත පුරවා ගන්න.

 

5. අනාගතයේ අලුත් දෙයක් ගැන ඉලක්ක කරන්න

How to stay happy

Source – cyberpr.com

සතුටින් ජීවත් වෙන්න තියෙන එකම රහස තමයි අලුත් ඉලක්කයක් ඇති කරගන්න එක. ඔබට කරන්න පුළුවන් මොනයම්ම හෝ දෙයක් ගැන ඉලක්කයක් ඇති කරගෙන ඒ වෙනුවෙන් ජීවත් වෙන්න. ඒක ලබා ගන්න හැකි වෙනකම්ම එක විධියට මහන්සි වෙන්න. එ්ක එක ඉලක්කයක් ම වෙන්න ඕනි නැහැ. ජොබ් එකේ ප්‍රමෝෂන් එකක් ගන්න අධිෂ්ඨාන කරගන්න ගමන් හොඳ වර්ගයේ ඔරලෝසුවක් ගන්නවා, ඒකට ගාණක් එකතු කරනවා කියලා එකිනෙක අවුල් නොවෙන ඉලක්ක කීපයක් තිබෙන එක වැඩිය හොඳයි. ඔබ නිතර නැති වෙන දේවල් ගැන දුක් වෙන කෙනෙක් නම් පොඩි පොඩි ඉලක්ක වලින් පටන් ගෙන ඒවා සම්පූර්ණ කළාම හිතට ඇතිවෙන සතුටෙන් පටන් ගන්න. ඊට පස්සේ ටිකින් ටික ඉලක්කවල දුර වැඩි කරන්න. එතකොට ඔබට සතුටෙන් ජීවිතය ගෙවන්න හැකි වේවි.

 
Cover Image Source – theblacksnapper.com/ heykendra.com/ expressclinics.in
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *