1. මාමා විසින් පෝරුවෙන් බැස්සවීම

Source – smartflora.lk
මංගල පෝරුව යනු සිංහල චාරිත්‍රානුකූලව විවාහ මංගලයකදී වැදගත්ම අංගයකි. එහිදී පෝරුවට නැග්ගවීම සිදුකරන්නේ මාමා වරුන් විසිනි. එසේ වන්නේ ඇයි? තමුන්ට වඩාත්ම සමීප ජීවිතයේ නනිකඩ සමයේ දිවියට සෙවනැල්ලක් මෙන් වූ පියා ඒ සදහා තෝරානොගෙන මාමා වරුන් විසින් පෝරුවට යුවල නග්ගවන්නේ ඇයිදැයි යන ගැටලුවක් පැන නගී.
අතිතයේ එකගෙයි කෑම සංස්කෘතියක් ලෙස ප්‍රචලිත වූ සමයේ එකම දරුවාට පියවරුන් කිහිපයකි. එවිට ඒ දරුවා කුමන පියාගේද යන්න හරිහැටි අඳුනාගැනීම අපහසුවකි. එහෙත් මව සෑම විටම ස්ථිරය. එබැවින් මවගේ සහෝදරයෙකු වන මාමා විසින් මගුල් පෝරුවට නැංගවීම සිරිතක් පෙර සිට පැමිණ තිබේ.
2. අෂ්ඨක කීම

Source – youtube.com
විවාහ මංගලෝත්සව ජයට ගැනීම අතීතයේදී උරුම වූයේ රජ සිටු මැතිවරුන් ආදී ඉහල ප්‍රභූ පැලැන්තියේ අයවලුන්ට පමනි. එසේ වූ ප්රභූන්ගේ විවාහ මගුල් මෙලොව ඇති සුර පුරයක් මවාලන අයුරින් නිම කිරීමට ඔවුහු වගබලාගත්හ. අෂ්ඨක කීමට එක් අයෙකු නොව පුරාණයේ අට කොණට අට දෙනෙකු යෙදාගෙන ඇත. අශ්ඨක කීම සඳහා තෝරාගන්නා අයද යම්කිසි වටිනාකම් වලින් සම්පූර්ණ වූ අයවලුන් වීම එදා අනිවාර්ය කරුණක් විය. එදා රාජ විවාහ මංගලයකදී අෂ්ඨක කිම සිදුවුණේ මෙලෙසයි:
තමන් බමුණෝ අට දෙනා විත් පෝරුවේ අට කොණේ ඉන්දා
උතුම් මහරජ සමග බිසවත් මගුල් පෝරුවේ වඩා ඉන්දා
බැතින් තෙරුවන් නැමද පළමුව රැගෙන අවසර හමන නන්දා
පටන් ගති ඒ බමුණො අටදෙන මංගලම් කීමට එදා
3. පෝරුව

Source – Partner.lk
පෝරුව අද වනවිට ස්ථාවර දෙයක් වී ඇති අතර විවාහ මංගල උත්සව පවත්වන බොහෝ හෝටල ප්‍රිය සම්භාෂණ ශාලාවන්හි පෝරුවක් ස්ථිරවම වඩා හිඳුවා තිබේ. එහෙත් පුරාණයේ එක් යුවලක නැංවූ පෝරුවට තවත් යුවලක් නැංවීම අශුභ කටයුත්තක් ලෙස සැලකීය. විද්‍යාව අඩුවෙන් මිත්‍යාව වැඩියෙන් තිබූ එකල්හි මනාලිය පෝරුවට නැගීමට පෙර යම් අනාචාරයේ හැසිරිමක් සිදුකර ඇත්නම් මනාලිය පෝරුව මස්තකයේදී සිහි විසඥ වේ යැයි මතයක්ද පැරැන්නෝ අතර තිබුණි. එහෙත් එසේ අනාචාරයේ ගිය පුරුෂයින්ට පෝරුව මත අෂ්ඨක අසා සිටියදී කුමක් වේ දැයි ඒ ජනප්‍රවාද වල සඳහනක් නොමැත.
4. දෙවන මනාලියන් තොගයක් භාවිතා කිරීම

Source – champisiriwardana.com
මෙය යුරෝපාකරයෙන් අපේ මංගල චාරිත්‍ර වලට එබිකම් කළ සිරිතක් වේ. මිථ්‍යා විශ්වාස ගැන කියද්දී යුරෝපාදී දැන් දියුණු ජනයාටද මිථ්‍යා විශ්වාස වලින් පිරුණු අතීතයක් විය. එහිදී හැඩවුණු මනාලියට යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ ආදින්ගේ ඇල්ම බැල්ම ලැබීමට ඉඩ ඇති යැයි ඔවුන් ද විශ්වාස කළෝය. මනාලියටම සමාන තවත් පිරිසක් මනාලිය දෙපසින් සිටීමෙන් යකාට හරිහැටි මනාලිය හදුනාගත නොහැකි වෙතැයි එකල ජනයා විශ්වාස කොට මනාලිය හා සමාන පරිවාර මනාලියන් කිහිපයක් මංගල උත්සව වලට සහභාගී කර ඇත.
5. වෙඩින් ඇඳුමට පළමු දින සුදු ඇඳුමක් භාවිතා කිරීම

Source – salonsusee.lk
එංගලන්තයේ සහ ප්‍රංශයේ රජ පවුල් හි විවාහ මංගල උත්සව වලදී සුදු ඇඳීමේ චාරිත්‍රයක් විය. එහෙත් 1840 ට ප්‍රථම එය එතරම්ම පැතිරුණු සම්ප්රදායක් නොවීය. එහෙත් 1840 දී හිරුනොබසින අධිරාජයේ රැජින වූ වික්ටෝරියා රැජින සුදු ඇදුමින් සැරසී සිය මංගලෝත්සවයට සහභාගී විය. එම මහා මංගලෝත්සවයේ සැටි දැක්වෙන චිත්‍ර සහ සේයාරූ ලොව පුරා ප්‍රචලිත විය. එබැවින් එම කාලයෙන් පසුව සුදුපැහය මංගල උත්සවයේ පලමු දිනදී යොදාගැනීම ලොව පුරා ම ජනප්‍රිය මංගල උත්සව අංගයක් විය. 1980 ගණන්වලදී අද මෙන් එතරම්ම සන්නිවේදනය ප්‍රචලිත නොවූවත් ඩයනා කුමරියගේත් චාල්ස් කුමාරයාගේත් විවාහ මංගලෝත්සවයේ සේයාරූ සහ වීඩියෝ බැලීම අප රට ගම්බද කාන්තාවනට පවා ආශ්වාදයක් ගෙනදුන් කාර්යයකි. එනම් ඊට අවුරුදු 140කට එපිට චාල්ස් කුමරුගේ ආච්චී වන වික්ටෝරියා රැජින කසාද බැදීමද ඊටත් වඩා ලොව වටා ප්‍රචලිත වූ මංගල උත්සවයක් වන්නට ඇත.
6. වෙඩින් කේක්

Source – elegancebydesign.com
ප්‍රධාන ආහාරය පාන් වූ යුරෝපයේ කේක් යනු උත්සව ආහාරයක් විය. එය අප රටේ බත් සාමාන්‍ය ආහාර වේලකට යොදාගන්නා අතර කිරිබත් උත්සව අවස්ථා සදහා යොදාගන්නවාක් මෙනි. එවිට රසවත්ව සෑදු කේක් ගෙඩියකින් කෑල්ලක් මනාල යුවල විසින් අන් අයට දීම චාරිත්‍රයක් විය. එය පසුකලෙක දී වෙඩින් කේක් එකෙන් කැබැල්ලක් සමරුවක්ලෙස ගෙදර ගෙනගොස් දීම දක්වා පැතිරුණු අතර අද වනවිට ප්‍රධාන වෙඩින් කේක් එක වෙනමත් වෙනත් සමරු කේක් කැබැල්ලක් වෙනමත් මංගල උත්සව අවස්ථාවන්ට සහභාගී වෙනු ලැබේ. මේවාට අමතරව වර්තමානයේ වෙඩින් කේක් වෙනුවට උචිත ලෙස සැකසු කප්කෙක් පවා අමුත්තන්ට පිළිගන්වනු සමහර තැන්වල දකින්නට ලැබෙන ලක්ෂණයකි.
7. බෙස්ට් මන්

Source – youtube.com
දෙවන මනමාලයා ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ බෙස්ට් මන් යන නමිනි. එහෙත් දෙවන මනමාලයා යන හැඳින්වීමත් බෙස්ට් මන් යන හැදින්වීමත් අතර අර්ථයේ මඳ වෙනස්කමක් තිබේ. බෙස්ට් මන් යනු හොඳ මිනිහා, ප්‍රබල මිනිහා යන අර්ථය වේ. කසාදයක් යනු දෙපාර්ශවයක් අතර සිදුවන සම්බන්ධයකි. එහි ආදරණීය බැදීමක් තිබෙනවා සේම කලක පටන් විවාහ හා සබැදි දේශපාලනයක් ද තිබේ.
මහා විජයබාහු රජතුමා දීර්ඝ කාලීන යුද්ධයෙකින් අනුව සිහසුනට පත් වූ රජෙකි. එතුමා සිය බිරිය ලෙස තෝරාගන්නේ කලිඟු රට කුමරියකි. එනම් කලිඟු රට කුමරියක විවාහ කරගත් පසු විජයබා රජුට දක්ෂිණ ඉන්දියාවේ කලිඟු රට සහ යාබද දේශ වලින් එන ආක්‍රමණ බොහොමයකින් ගැලවීමේ හැකියාව නිබඳවම ලැබේ.
ඒ ආකාරයේ දේශපාලනික වටිනාකමක් සහ යම්කිසි සමාජමය වටිනාකමක් පෙර කලදී විවාහ උත්සව හා සමග සම්බන්ධ විය. එකල මනාලයා විවාහ උත්සවය අතරතුර පැහැර ගැනීමට ලක්වීම්ද සිදු විය. එම නිසා ඔහු අසල කඩු, පිස්තෝල, සඟවාගත් ප්‍රබල ආරෝහ පරිණාහ දේහදාරී අයෙකු නිතරම ලග සිටියේය. ඔහු එකල බෙස්ට්මන් විය. අද නම් බොහෝවිට බෙස්ට් මන් යනු මනමාලයාගේ මිතුරකු හෝ කිසිත්නොදන්නා දුර ඥාති පුත්‍රයෙකි.
8. මංගල උත්සවය

Source – josephhall.com
යුවලක් විවාහප්‍රාප්ත වීම ඒ යුවලගේත් පවුලේ උදවියගේත් බලාපොරොත්තු මත සිදුවන දෙයකි. පිටතින් සිටින යම් මතවාදින්ට විවාහ උත්සවය වියදම් අධිකයැ, මෙය නම් නාස්තියකි, විශ්වාසේ තිබේනම් මොකට මේ විච්චූරණ යැයි කිව හැකි වුවත් පවුලේ උදවිය සහ විවාහ ප්‍රාප්ත වන යුවලට උවමනා ලෙස විවාහ උත්සව පැවැත්වීම වඩාත් සාධාරණය. එහිදී පැරණි චාරිත්‍ර සහ අලුත් චාරිත්‍ර සහිතව තමුන්ගේ නෑයින් හිතමිතුරන් සමග සතුටු වන එම අවස්ථාව අමරණීය එකක් කරගැනීමට අපි බොහෝ දෙනා උනන්දු වෙමු. එසේම ඒ ඒ චාරිත්‍රවල ඉතිහාසය මඳ පමණ හෝ දැනගත හැකිනම් විවාහ උත්සවය වඩාත් අර්ථාන්විතව සැමරිය හැකි වන්නේය.
Cover Image Source – partykstainz.co.uk
Leave a Reply