මන්නාරම් දූපතේ ලස්සන නිවාඩුවකදී බලන්න ඕනෑම තැන්

Trip to Mannar

ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පද මාලාවක් වික්ටර් රත්නායක ගේ සංගීතයෙන් සන්නද්ධව ෆෙඩී සිල්වාගේ ගොරහැඩි හාස්‍යමය හඬින්  සැබැවින්ම මන්නාරම් පිටි වැල්ලේ සිටින කුන්ඩුමනි කෙනෙක් අප සිතේ අදිනු ලබයි. මන්නාම් කෙළවර ඉන්දියාවට ළඟින්ම පිහිටි ලංකාවේ කොටසයි. ලංකාවෙන් මන්නාරම සහ ඉහල දූපත් කිහිපයත් ඉන්දියාවෙන් රාමේශ්වරම් ධනුෂ්කෝඩි ඇතුළු දූපත් කිහිපයත් දෙරටින් එළියට නෙරා ඇත්තේ එකිනෙකා අත් වැල් අල්ලාගන්නට සැරසෙනවාක් මෙනි. දකුණු ඉන්දියාව හා කෙලින්ම බෝට්ටු සේවයකින් සම්බන්ධ වූ එකල දැනටද ලංකාවේ වතු කම්කරුවන් ලෙස ආර්ථිකයට දිරිදෙන උඩරට ද්‍රවිඩ ජනයා ලංකාවට පැමිණියේ මෙම මන්නාරම් තොටෙනි. දැනටත් මෙම පලාතේ ද්‍රවිඩ ජනයා බහුතරයක් වෙසෙති.

Trip to Mannar

Source – Amila Chathuranga

මන්නාරම් පිටි වැල්ලේ

මදටිය වැල් ඔංචිල්ලේ

කොණ්ඩෙ කඩන් හඳට අඬන්

සිංදු කියන්නේ

කුණ්ඩුමණී . . .//

 

 

1. අරාබි වෙළඳුන් සහ පැරණි නැව්තොට

Trip to Mannar

Source – Amila Chathuranga

යුරෝපීයයන් පෙරදිග වෙළඳාමට ඇඟිලි ගසන්නට ප්‍රථමයෙන් ලොව වටා වෙළඳාමේ ආධිපත්‍යය අරාබින් සතු විය. මන්නාරම් දූවේ තිබෙන බයෝබැබ් ගස් යනු ඒ අතීත වෙළදාමේ මංසලකුණු සිහි කරන ගසකි. අප්‍රිකාවේ පතන බිම්හි වැවෙන විශාල කඳකින් හෙබි මෙම ගස ලංකාවේ දකින්නට ඇත්තේ ස්ථාන කිහිපයක පමණි. මෙම ගස අරාබින් විසින් අප්‍රිකාවෙන් ගෙනැවිත් මෙහි සිටුවන්නට ඇත. මන්නාරම් දූවේ තැන් කිහිපයකම මෙම බයෝබැබ් ගස දකින්නට ලැබේ. එකල අරාබින් වෙළඳාමට යොදාගත් ඔටුවන්ද මන්නාරමේ සිට ඇතිමුත් අද වනවිට ඔටුවන් දකින්නට නැත. මෙම බයෝබැබ් ගස් මන්නාරම් ගියහොත් දැකබලාගෙන ආ යුතුම දෙයකි.

 

2. මුතු කිමිදීම නිසා ඇති වූ අරිප්පු නටඹුන්

Trip to Mannar

Source – flickr.com

මන්නාරම් අවට මුහුදේ මුතු පර වලට කිමිදී මුතු ඉවත්කරගැනීම ලංකාව යටත්විජිත කරගත් සුද්දන්ගේ ප්‍රධාන ආදායම් මගක් විය. අරිප්පු හි තවමත් ගරා වැටී ඇති ඩොරික් හවුස් නම් වූ ගඩොල් මාලිගයක් තිබෙන අතර එය ලංකාවෙ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත් විසින් පිහිටුවන ලද්දකි. ෆෙඩ්රික් නෝත් ගෙන් පසු එය මුතුපර කිමිදීම අධීක්ෂණය කළ නිලධාරීන් රැසකට සෙවණ දුන් අතර අද වනවිට එය ගරාවැටෙමින් එහෙත් වෙරළබඩ පරිසරයට අමුතුම අලංකාරයක් ගෙන දෙමින් අරිප්පු හි තවමත් තිබේ.

 

3. පැරණි ජැටිය

Trip to Mannar

Source – Amila Chathuranga

යුද්ධයෙන් බැට කෑ මන්නාරම යුද්ධයෙන් පසු වර්තමානයේ යාන්තම් හිස ඔසවමින් පවතී. ජාත්‍යන්තර වශයෙන් සිය ආධිපත්‍යය පෙන්වීමට දෝ හෝ ඉන්දියාව වහාම උතුරු දුම්රිය මාර්ගයත් වව්නියා සිට තලෙයිමන්නාරම දක්වා කොටසත් නැවත පිහිටුවන්නට ආධාර දුන්නේය. අද වනවිට තලෙයිමන්නාරම් මාර්ගය නැවත ඉදිවී ඇති අතර තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය 2015 දී විවෘත කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසිනි.

තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයට නුදුරෙන් අතීතයේදී දුම්රියෙන් බැස ඇවිද ගොස් ඉන්දියාවට යෑමට ගොඩ වූ ජැටිය තිබේ. එය දැන් නම් දිරාපත් වීම නිසා ඇතුලත් වීමට නොදෙන තැනකි. ඒ ආසන්නයේම අලංකාර ලෙස දිස්වන ලයිට් හවුස් එකක්ද පිහිටා තිබේ.ඒ ප්‍රදීපාගාරය පහල මස් මරන්නෝ රැසක් සිය බෝට්ටු නවතාගෙන ඒ ධීවර රාජකාරි වල නිරත වෙනු උදෑසනක ගියොත් දැකගත හැකිය.

 

4. ඉන්දියාව තෙක් වැලිපර

Trip to Mannar

Source – vayuresort.com

එකකින් එක්ක යාවෙන පරිදි නොගැඹුරු මුහුදු තීරයේ වූ වැලිපර ඉන්දියාවේ ධනුෂ්කෝඩිය තෙක් පිහිටා ඇත. වැලිපර ස්ථායි නොවන නිසා නිවැරදිවම එකිනෙක යා වේදැයි හරියටම කියන්නට නොහැකිය. කෙසේ හෝ මෙම වැලිපර ආසන්නයටම ගියහොත් තෙරක් නොපෙනෙන කලපු පරිසරයක් වැනි නිසල ජල තලාව දැකගත හැකිය.

 

5. මන්නාරම් දූවේ හැඩ වැඩ

Trip to Mannar

Source – thuppahi.wordpress.com

මන්නාරමේ ලන්දේසි යුගයේ තැනුණ බලකොටුවක්ද තිබේ. ඒ බලකොටුව අද වනවිට තැන් තැන්වලින් ගරා වැටෙමින් පවතී.  මෙම දූපතේ භූමි දර්ශන යාපන පලාතේ භූමි දසුන් වලට තරමක් සමානය. තල් ගසට ප්‍රිය වැලි පස තුල අපහසුවෙන් බව බෝග වගාකරන ගොවියෝද වෙති.

 

6. කුරුල්ලන් නැරඹීම

Trip to Mannar

Source – jetwingeco.com

මන්නාරම තුල පිහිටි කලපු සහ කිවුල්දිය විල් කලකදි සංචාරක පක්ෂීන්ගේ පාරාදීසයකි. උකුස්සා රාජාලියා වැනි විශාල කුරුල්ලන් මෙන්ම සංචාරක කුරුල්ලන්ද මන්නාරම් දූවේ කලකදී සුලබ වේ. කුරුල්ලන් සේයාරූ ගැනීමට සහ නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් මන්නාරමට පැමිණ කුරුල්ලන්ගේ විසිතුරු බලමින් සතුටු වෙති.

මන්නාරම තවමත් සංචාරකයින්ගේ නෙත ගැටුණු තැනක් නොවේ.එබැවින් විශාල සංචාරකයින් ප්‍රමාණයක් තවමත් මන්නාරම කරා ඇදී නොඒ.  දුම්රියෙන් සහ බසයෙන් වුවද මන්නාරමට ලඟාවීම පහසුය. නවාතැන් සහ ආහාරපානද සාමාන්‍යයෙන් පතල වූ සංචාරක ස්ථාන වලට වඩා මිලෙන් අඩුය. ජනයාද බොහෝ තැන්වලදී මිත්‍රශීලිය. දිනක් දෙකක් විවේක සුවයෙන් ගතකොට නිවිහැනහිල්ලෙේ කුරුල්ලන් බලාකියාගෙන පෞරාණික ස්ථානද සලකුණු කොටගෙන නිවාඩුවක් ගතකිරීමට මන්නාරම කදිම තැනකි.

 
Cover Image Source – wikimedia.commons
 

zvr
Your Reaction

Comments