නිදහස කියන කොටම අපේ මතකෙට එන්නේ පෙබරවාරි 04 වෙනිදා. මොකද පෙබරවාරි හතර තමයි අපි සුද්දාගෙන් නිදහස් වුණේ. මැයි 18 ත් නිදහසක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. කොහොම උනත් 1948 පෙබරවාරි 04 වෙනිදා අපිට නිදහස කියල දුන්නේ ඩොමීනියන් නිදහසක්. ඒ කියන්නේ අර්ධ නිදහසක්. 1972 තමයි අපට පූර්ණව නිදහස හම්බවෙලා අපි “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” බවට පත් වුණේ. 1948 අර්ධ විදිහට හරි නිදහස් වෙලා මේ පෙබරවාරි 04 වෙනිදට අවුරුදු 70 ක් වෙනවා. අපි මේ කතා කරන්න යන්නේ නිදහසේ ඉතිහාසය ගැනවත්, නිදහස ගැන අපි කරන සම්ප්‍රදායික වර්ණනාවක්වත් නෙමෙයි. අපි මේ ඔබත් එක්ක බෙදාහදාගන්න සුදානම් වෙන්නේ “අපි රටක්, සමාජයක් විදිහට ඇත්තටම නිදහස් ද?” කියන කාරණය.
1. දේශපාලනය
මුලින්ම දේශපාලනය ගත්තේ වෙන මොකුත් හන්දා නෙමෙයි. ලංකාවේ හැමදේම හසුරුවන දේ බවට පත් වෙලා තියෙන්නේ දේශපාලනය වීම. ඉතින් ඇත්තටම අපි දේශපාලනිකව නිදහස් ද? අපට තාමත් හරියටම ස්වාධින පාලන ව්‍යුහයක් හදාගන්න හැකියාවක් ලැබිලා නෑ. ස්වාධීන කොමිශන් සභා කියල දේවල් තිබුණට රටේ ජනතාව විදිහට ඔබට දැනුවත් කමක් ඇති ඒවායේ ස්වාධීන බව පිළිබඳව. ඊළඟට ඔබට ඡන්ද ව්‍යාපාර වලදී ලැබෙන පොරොන්දු. නිදහස ගැන, යහ පාලනය ගැන. ආශ්චර්යවත් රටක් ගැන විතරක් නෙමෙයි තව එකී මෙකී නොකී කොච්චර පොරොන්දු අපට ලැබුණා ද? ඒවා ඉෂ්ට වුණ අවස්ථා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඊළඟට රටේ ජනතාව ඉස්සරහ අපේ නිදහස මෙහෙම දේශපාලකයෝ ඉස්සරහ දියාරු වෙද්දී අපේ රට දේශපාලනික වශයෙන් ජාත්‍යන්තරය ඉස්සරහ දෙකට තුනට නැමිලා ගැති වෙලා තියෙනවා. එක එක ආණ්ඩු වල එක එක විදේශ ප්‍රති පත්තිත් එක්ක කාලෙක චිනේටත්, තවත් කාලෙකට ඇමරිකාවටත් විදිහට අපේ රට ජාත්‍යන්තර වශයෙන් ගැති රටක් වෙලා. ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එන සමහර අණ පනත් පවා හදන්නේ එක එක රටවල උවමනාවට කිවුවම එතනින් එහාට අපේ රටේ දේශපාලනික නිදහස ගැන තවදුරටත් කතා කළ යුතු නෑ මම හිතන්නේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ දේශපාලන බලය ගන්න කැරලි දෙකක් සිද්ධ වෙලා තියෙනවා මේ අවුරුදු 70 ඇතුලත. ඒවායින් අහිමි උනු ජිවිත ගණන දහස් ගණනක්. ඉතින් නිදහසින් අවුරුදු 70 කට පස්සේ අපි දේශපාලනික වශයෙන් නිදහස් ද..?
2. ආර්ථිකය
ලංකාවේ තියෙන්නේ හරිම නිදහස් ආර්ථිකයක්. රටේ ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් ගන්න නිදහස තියෙනවා. අවුලකට කියල තියෙන්නේ තමන්ට ඕන දේ ගන්න බොහොමයක් අය අතේ අවශ්‍ය තරම් මුදල් නොමැති කම විතරයි. ලංකාව කියන ආර්ථික වශයෙන් නිදහස් රාජ්‍යයේ තමයි වැඩිපුරම ඍජු සහ වක්‍ර බදු තියෙනවයි කියන්නේ. අපේ රටේ රාජ්‍ය පාලකයෝ කාලෙන් කාලෙට මහා භාණ්ඩාගාරේට තට්ටු කරලා සාක්කු පුරවගන්න නිසා ඒවායේ පාඩුව ගෙවන්නේ රටේ මහජනතාව. අහිංසක ,මිනිස්සු ගන්න පිටි පැකට් එකෙන්, පරිප්පු ටිකෙන් තමයි ඒ නැති වෙන සල්ලි ආණ්ඩුව හොයාගන්නේ. වසර 2500 කට වඩා ඉතිහාසයක් තියෙන සහලෙන් සහ අනෙකුත් භෝග වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණ සිරි ලංකා ද්වීපයට අද සහල්, පොල් විතරක් නෙමෙයි තවත් එකී මෙකී නොකී ආහාර ද්‍රව්‍ය ගෙන්වන්නේ විදේශ රටවලින්. ඉතින් නිදහසින් අවුරුදු 70 කට පස්සේ අපි ආර්ථික වශයෙන් නිදහස් ද?
3. ආධ්‍යාත්මික
අධ්‍යාත්මික කිවුවම ඉතින් ආගම දහම ගැන නොවැ කතා කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ පාද ස්පර්ශයට තෙවරක් ලක්වූ, ථේරවාද බුදු දහම සුරැකිව රැකී තිබෙන රටේ ආගමික වශයෙන් නිදහස නැති වෙන්න කොහොමවත් විදිහක් නෑ. ඇත්තටම ඒක එහෙමද..? අද වන විට බුදු දහමේ පමණක් නොවේ අනෙකුත් ආගම් වලත් හරය ගැන මිනිසුන් නොහිතන තැනට ලක් වෙලා. ආගම් වල මුලික අභිප්‍රාය ගැන නොසිතා අද මිනිස්සු තමන්ගේ ආගම පමණක් උතුම් කියන අධි තක්සේරුවට ඇවිත් අනිත් ආගම් නිර්ධය ලෙස විවේචනය කරන තැනට මේ රට පත් වෙලා. අන්තවාදය සෘජුවවත් වක්‍ර විදිහටත් එක එක තැන්වල එක එක විදිහට දකින්න ලැබෙනවා. බොහොමයක් මේ අන්තවාදය එන්නේ දේශපාලකයන්ගේ මග පෙන්වීම් යටතේයි. මොකද තමන්ට ඡන්ද ගරා ගන්න හොඳම විදිහ ජාති වාදය කියල හිතන දේශපාලකයෝ රොත්තක් අද බිහිවෙලා. ඉතින් මේ බුදුන්ගේ දේශයේ මිනිස්සු ආගම වෙනුවෙන් කුලල් කාගන්න තැනට අද පත් වෙලා තියෙනවා. ඉතින් නිදහසින් අවුරුදු 70 කට පස්සේ අපි ආධ්‍යාත්මික වශයෙන් නිදහස් ද..?
4. සමාජයීය
අපි අවුරුදු 30 ක් යුද්ධයෙන් බැට කාපු ජාතියක්. යුද්ධය ඉවර වෙලා යුද්ධයේ වුණු යුධ අපරාධ ගැන පරීක්ෂණ ඕනෑවටත් වඩා වුණාට යුද්ධයට හේතු වුණු කරුණු ගැන හොයන්න එක විදග්ධ පර්යේෂණයක් තවමත් සිදුවෙලා නෑ. ඒ හන්දා ජාතික ප්‍රශ්නය කියල ප්‍රශ්නයක් අපි අභිමුව තවමත් ඉතුරු වෙලා තියෙනවා. අපේ දමිළ සහෝදර ජනතාවට ඇත්තටම ඕන වෙනම රටක්ද? එහෙමත් නැත්නම් ඒ දේශපාලකයින්ගේ උවමනාවක්ද? දමිළ සිංහල කවුරු උනත් එක වගේ එකට මේ රටේ එක තත්ව යටතේ ජිවත් වෙන්න බැරිද? වගේ ප්‍රශ්න වලට අපි රටක් විදිහට තවමත් උත්තර හොයාගෙන නෑ. හැමදාම වුණේ එක ආණ්ඩුවක් උතුරට වාසි තීන්දු දෙද්දී දකුණ රත් වෙනවා. තව ආණ්ඩුවක් වෙනත් විදිහකට ක්‍රියා කරද්දී උතුර රත් වෙනවා. මේ දෙක අතරමැදට ඇවිත් කාටත් ගැලපෙන විසඳුමකට යන්න අපිට තවමත් බැරි වෙලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි රජයේ කාර්යාලයකට ගියාම, පොලිස් ස්ථානයකට ගියාම මිනිස්සුන්ට සලකන හැටි ගැන අපිට තවමත් තෘප්තිමත් වෙන්නනම් බැහැ. මහජනතාවගේ මුදලින් නඩත්තු වෙන මේ ආයතන වලින් මීට වඩා සමීප සේවයක් මහජනතාව හැමදාමත් බලාපොරොත්තු වෙනවා. ඒත් තාමනම් ඒ සමීප බවනම් දකින්න ලැබුණේ නැහැ. ඉතින් නිදහසින් අවුරුදු 70 කට පස්සේ අපි සමාජීය වශයෙන් නිදහස් ද?
5. අනෙකුත්
භෞතික නිදහස කියන්නේ ගොඩනැගිලි ටික, පාරවල් ටික හැදෙන එක විතරක්ම නෙමෙයි. එතනින් එහාට ගියපු නිදහසක් ගැන අපි කතා කරනවා. ඒත් කෝ ඒ නිදහස. පෙන්න තියේද..? උඩින් කියපු දේවල් එක්ක බැලුවමනම් පේන්නේ ඇත්තටම නිදහසක් මිනිස්සුන්ට නෑ කියලා. මාධ්‍ය නිදහස ගැන අද කතා කරනවා. ඒත් එක්කම අපි දන්නවා මාධ්‍ය වේදීන් කී දෙනෙක් මරණයට පත් වුණාද. කී දෙනෙක්ට ප්‍රහාර එල්ල වුණාද කියලා මේ අවුරුදු 70 ඇතුලත. ඒ වගේම මාධ්‍යත් නිදහස් කියල කියන්නම බැහැ අපට. එක එක මත තුල සිර ගත වෙච්ච මාධ්‍ය ආයතනත් අපට පේන්න තියෙනවා. මේ ඔක්කොමත් එක්ක අපට තවමත් අවුරුදු 70 ක් ගිහිණුත් කැලි කසල ප්‍රශ්නේ විසඳගන්න බැරි වෙලා තියෙනවා. තව කොච්චර ප්‍රශ්න තියේද මිනිස්සුන්ට..?
ඉතින් මේ හැමදෙයින්ම පේන්නේ අපි පුර්ණ වශයෙන් නිදහස් නැති බව. මේකට වගකියන්න ඕන දේශපාලකයෝ විතරයි කියල අතපිහදාගන්න රටේ ජනතාව වුණු අපට බැහැ. ඉතින් දැන්වත් එක ජාතියක් ලෙස එකතුව රට නංවන්නට හැකි වේවි. එදිනට අපට ගයන්නට හැකි වේවි ඇත්තටම “ලෝකෙන් උතුම් රට ලංකාවයි .. සිරි ලංකාවයි..” කියා.
එකඟනම් අනිත් අයටත් දැනගන්න Share කරන්න
Cover Image Source – niwsfirst.lk / flickr.com
Leave a Reply