ගැජට්ස් නැති එදා හැන්දෑව මොන වගේ වුනාද ?

Our villages before televisions

ගම්බද මෙන්ම නාගරිකවද අද කාලයේ හැන්දෑවේ පස්වරු 7-10 කාලය ඇතුලත නිවසකට ගොඩ වුවහොත් රූපවාහිනිය දෙස නෙත් යොමාගෙන එහි යන වැඩසටහන් නරඹන පිරිසක් අපට හමුවේ. තාත්තලා සීයලා මාමලා බාප්පලා මේ රට කොහි යන්නේද ලෝකයට මොනවා වී ඇතිදැයි දැනගැනීමට ප්‍රවෘත්ති සහ දේශපාලන වැඩසටහන් බලති. තවත් පිරිසක් ඉන්දියානු සහ ලංකාවේ ටෙලි නාට්‍යයේ අලුත්ම එපිසෝඩයේ කුමන පවුලක් කැඩී ඇතිද කුමන ලව් එක සාර්ථක වීදැයි බලති. දරුවන් නම් හැන්දෑවට කාටුන් බලා එහිම ජීවත් වන්නට වුවද ආස ජන කොට්ඨාශයකි. මෑත කාලීනව මොබයිල් ෆෝන් ලැප්ටොප් ජනප්‍රිය වීමත් සමග ඇතැමුන් සන්ධ්‍යා කාලයේ සිට නින්දට යනතෙක් ඒවායේම ඇලී ගැලී රාජකාරි කරති.

එදා මොකද්ද තිබුණේ ටීවි එක වෙනුවට?

අද මෙන් විවිධ උපාංග ඇසුරෙන් විනෝදාස්වාදය ලබාගැනීමේ සංකල්පයක් නොතිබූ එකල අපට විනෝදය සපයන, අන්තර්ජාලය, රූපවාහිනිය, මොබයිල් ෆෝන් වැනි දේ තිබුණේ නැත. එනම් එදා රැය උදාවූ කල හරියටම මිනිස්සු මෙන්න මේ කෑල්ලෙන් විනෝද වූවාය, මෙන්න මේ මාර්ගෙන් විනෝද වූවාය කියා කොටු කරගත හැකි රාමුවක් එකල ගැමි නිවෙස්හි නොතිබුණි. විවිධ පලාත්වල ජනී ජනයා තමුන්ගේ සැන්දෑ විවේක කාලය ඔවුනට රුචි පරිදි සැහැල්ලුවෙන් විනෝදයෙන් ගත කලෝය. අපි එයින් සන්ධ්‍යා කාලය සහ රැය විනෝදයෙන් ගත කිරීමට එකල ගැමියන් භාවිතා කළ දේවල් කිහිපයක් ගැන සොයා බලමු.

 

1. පැල් ලැගීම සහ කවි ගායනය

Our villages before televisions

Source – blogger.com

පොල් අත්තකින් හෝ වෙනයම් ඇවිලෙන තෘණ විශේෂයකින් සැදූ හුලු අත්ත රැගෙන හේන් ගොවියා හැන්දෑ වෙනවිට හේනේ ඇති පැල කරා නික්මේ. එහි ගොස් ගිනිමැලයක් අවුලුවා ගෙන පැලට ගොඩවන හේන් ගොවියා සතර අතින් ඇති මහ වනය දෙස ඇස් දල්වාගෙන හේන් වැටඩ උඩින් අලියා, ඌරා, ගෝනා, මී හරකා ආදී සතුන් පැමිණේදැයි බලා සිටිති. මෙය පහසු රාජකාරියක් නොවේ. මේ අතර එක් ගොවියෙක් කයියක් පටන් ගනී.

කැලේ කපා වැට බැන්දා කැත්ත . . . . . . . . දනී

කුඹුර පුරා දිය බැන්දා කුඹුර . . . . . . . . . . . .දනී

සීත කකා පැල් ලැග්ගා පැදුර . . . . . . . . . . . දනී

මෙදා පැලේ වී අඩුවා අටුව . . . . . . . . . . . . .දනී

ඉන් පසු ඈත ඇසෙන තෙක් මානයේ තවත් පැලක් වෙත් නම් එහි සිටින හේන් ගොවියාද තවත් කවියක් ආරම්භ කරයි. අප පාසලේදී සිංහල පාඩම් පොතේ ඇති ජනකවි කලබලයට කඩි මුඩියට සික්ස් එයිට් තාලයට පවා ගායනා කලද සැබැවින්ම පැල් ලගින ගොවියා එකල පැල් කවියක් වදන් ඇද පැද තාලයට කාලය අරගෙන ගායනා කළෝය. එයින් පැල තුල සිටින ගොවියාගේ නින්ද පමා වනවා සේම මුළු හේන් යායේම සිටින ගොවීන් කැලට එය කදිම අත්දැකීමකි.

 

2. කයිය ගැසීම

Our villages before televisions

Source – glenrock.lk

සිංහලයා සාහිත්‍ය කෘති වල සේම සාමාන්‍ය ව්‍යවහාරයේදීත් අතිශයෝක්තියට උපන් සමත් කමක් ඇත්තෙකි. කුඩා සිදුවීමක් වුවද රසවත්ව අතිශයෝක්තියෙන් දැක්වීමට එකල ගැමියෝ දක්ෂය. ගොයියා මේ පාර මොකෝ පිපිඤ්ඤා ටික පලදාව එහෙම තියෙයි..? එක් ගොවියෙක් අසන්නේය..

අනේ ඔහෙට කියන්න මොන හොඳක්ද? කොල ටික විතරයි..ඉතුරුවා ඔක්කෝම මැස්සෝ බීලා.. මේ පාර මල්ලක් කඩාගන්න තියේද කියන්නත් අමාරුයි. යැයි අනෙක් ගොවියා පිළිතුරු දෙයි. මල්ලක් වත් කඩාගන්න පිපිඤ්ඤා නැතැයි මැස්සන්ට එරෙහිව මැසිවිලි නගන ගොවියාගේ එළෝලු කොටුවෙන් ඊලග දවසේ කරත්තයක් දෙකක් පිරෙන්නට පිපිඤ්ඤා පොලට රැගෙන ගියොත් ඒ ගැන පුදුම වෙන්නට කාරි නැත. ගොවියෝ එසේය. තමුන්ට ඇති ඵලදාවක් වෙත් නම් එයට කටවහ හෝවහ වදී යැ බියෙන් කියන්නේ අඩුවෙනි..

සැන්දෑ කාලය උදාවන විට අහල පහල ගෙදරක පිල වෙත ඇදෙන වැඩිහිටියෝ එකිනෙකා අතර තමුන්ගේ ගොයිතැන, රට යන අත, ගමේ විස්තර ලෙඩ රෝග ආදිය ගැන සාකච්ඡා කරති. ඒ අතර ඇතැමෙක් කතාන්දර කීමේද රුසියෝ වෙති.

 

3. නාඩගම් තොවිල් පවිල්

Our villages before televisions

Source – youtube.com

දමා කඩුක්කන් ඔටුණු නළල්පටි

කඩුව කරකවා සබයට එන හැඩ

බලා හිඳින අගනුන් සත්තයි

ආලේ බඳී විගසින්

චරිත අත්තලගේ ගේ සංගීතයෙන් රිද්ම වීරවර්ධන ගායනා කරන මේ ගීයෙන් එකල නාඩගම් ගැන යම් අදහසක් ගත හැකිය. පුරාණ ජන කතා ආශ්‍රයෙන් රඟදක්වනු ලබන නාඩගම් එකල ජනප්‍රිය සංස්කෘතික අංගයක් වීය. රෑට තොවිල් පවිල් ශාන්තිකර්ම බැලීමද එකල ගැමියාගේ සිරිතක් විය. අද මෙන් ලෙඩට දුකට සෑම තැනම දිස්පැන්සරි නොතිබුණ එකල ජනයා යම් කිසි රෝගයක් උවදුරක් වූ කල ශාන්තිකර්ම වල පිහිට පැතූහ. ඒ ඇතැම් තොවිල් පවිල් ශාන්තිකර්ම ආදියේ රසවත් නාටකීය ජවනිකාද තිබේ. දහ අට සන්නිය වැනි ශාන්තිකර්ම වල යකා සහ බෙර වාදක අතර යන ඇතැම් දෙබස් දෙපිට කැපෙන වදන් ද ඇතුලත්ව අසා සිටින බලා සිටින අයට විනෝදයක් සැපයීමට සමත්ය.

 

4. ගමම එකට

Our villages before televisions

Source –
pmdnews.com

අද කාලේ අලුත්ම විනෝද බඩුවන ෆෝන්, ලැප්ටොප් ආදිය පාවිච්චි කළ හැක්කේ එක් අයෙකුට පමණි. එහෙත් එකල ගමක රෑ කල ගැමියන් එකතුවූ උත්සව යාතුකර්ම, නාඩගම්, ආදී බොහෝ දේ ගැමියන් පිරිසක් එක් වී සංවිධානය වී ක්‍රියාත්මක කළ ඒවාය, මගුලක් මරණයක් වුවද? දනක් පිරිතක් බණක් වුවද? පිංකමක් හදිසියක් වූවද එකල ගැමියෝ  එතැනට රැස් වෙති. උත්සව අවස්ථාවක් නම් ගැහැණුද පිරිමිද ඒ උත්සව අවස්ථාවට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙති. මගුල් තුලාවක් වැනි සුබ කටයුත්තක් නම් ගමේ ම ගැහැණු පිරිස සතියකටත් පෙර සිට එහි සිට රසකැවිලි සෑදිම, ආහාර පිලියෙල කිරීම වැනි කාර්යයන් වල නිරත වෙති. පංසලේ පිංකමක් නම් බොහෝවිට ගමම එතැනය. දේවාලයේ යම් තොවිලයක් හෝ දේවාල මංගල්‍යයක් නම් කුඩාවුන්ද රැගෙන එහි යන ගැමියෝ සියල්ලම එතැනය.

පුද්ගලික විනෝදයට වඩා සාමූහිකව එක්රැස් වී සියලුම අවශ්‍යතාවයන් පොදුවේ සපුරාගැනීමට හුරුවූ එකල රාත්‍රි කාලය ගතකිරීමට විවිධ ආකාරයේ ක්‍රම ගැමියන්ට තිබුණි. ඇතැම්විට අපි ඉඳහිට රූපවාහිනියේ එවැනි ගැමි කතාන්දර ආදිය දකින අපි නැවත එම කාලයට යන්නට ඇතිනම් යැයි සිතති. එහෙත් අපි දැන් බොහෝ පමා වැඩිය.

 
Cover Image Source – annamelintravels.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *