තමන්ගේ තෘප්තිය වෙනුවෙන් අනිත් අයගේ ජීවිතය නැති කර ගැනීමට තරම් දරුණු සිතක් ඇති අය වගේම තමා ගැනම ඇති කරගන්නා තරහ නිසා හටගන්නා දරුණු සිතක් නිසා තමාගේම ජීවිතය නැති කරගැනීමට ඇතැම් අය උත්සාහ දරනවා. මෙහෙම කෙනෙක් ඔබට හඳුනාගන්න පුළුවන් නම් ඒ අයට උපකාරයක් විය හැකියි. සෑම තත්පරයකදීම ලොව 14 දෙනෙක් සියදිවි නසාගන්නවා.
ක්ෂණිකව හටගන්නා ආවේගික අදහස් නිසා එයාලා කරගන්න දේවල් වලින් අවසානයේ එයාලාගේ ආදරණීයයන් මහත් දුකට පත් වෙනවා වගේම ආගම්වල ඉගැන්වෙන දේවල් අනුව සිය දිවි නසාගන්නා කෙනාටත් මරණින් මතු සුගතියක් උරුම වන්නේ නැහැ. ඉතින්, අසරණ ජීවිතයක් බේරාගෙන ඒ අයගේ මේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට අතහිත දෙන්නට පුළුවන් නම් ඒ තරම් උතුම් දෙයක් තවත් නැහැ. ඔබ මේ පේළිය කියවන්නට පැමිණෙන විටත් ලෝකය වටා 70 දෙනෙක් පමණ මෙලොව හැරගිහින්.
1. සිය දිවි නසා ගැනීම පිළිබඳ අදහස් විමසනවා
සියදිවි නසාගන්නට උත්සාහ කරන කෙනෙක් බොහෝ විට ඒ ගැන තමාට සමීපතයන් එක්ක කතා කරනවා. “සියදිවි නසාගත්තාම මොකද වෙන්නේ?” “අරයත් සියදිවි නසාගෙනලු නේද?” “එහෙම කරන එක නරකයිද?” “සියදිවි නසාගන්න හිතුණොත් ඔයා කොහොමද ඒක කරන්නේ?” වගේ ප්‍රශ්න ඇතැම්විට ඍජුව නොවුණත් අසමින් අනිත් අය ඒ ගැන සිතන දේවල් වගේම තමාට උපකාර අවශ්‍ය බව නොකියා කියනවා. මේ අවස්ථාවේදී ඔවුන්ට හොඳ මිත්‍රයෙක් වෙමින් කතා කරන්නට ඔබට නොහැකි වුණොත් ඔවුන් එය කරගන්නා බවට තමාටම දිවුරා ගන්නවා. මොකද මේ මට්ටමේදී ඔවුන් එසේ නොකරන්නට සිතාගෙන ඉන් මිදෙන්න මඟක් තමයි හොයමින් ඉන්නේ.
2. වටිනා දේවල් සියල්ලම පාහේ අනිත් අයට දෙනවා
තමාගේ මරණයෙන් පස්සේ අනිත් අයගේ සිත් සතුටු විය යුතු බව, තමාට මේ දේවල් තවදුරටත් අවශ්‍ය නොවන බව සලකමින් ඔවුන් තමන් සතු දේවල් විශාල වශයෙන් අනිත් අයට දෙන්නට පෙළඹෙනවා. මෙසේ දීමේදී ඔවුන් බොහොම ප්‍රිය කරපු දේවල් උදාහරණයක් විධියට ආභරණ, ඇඳුම්, මුදල්, වාහන වගේ දේවල් මේ අතර තිබෙන්නට පුළුවන්. ඔවුන් ඒවා දෙද්දීත් දානයක් දීමෙන් ලබන සතුට බොහෝවිට මුහුණේ දකින්නට ලැබෙන්නේ නැහැ. හිතේ හංගගත්ත දුකක් ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්.
3. අනාගතය ගැන අවිනිශ්චිත කතා කියනවා
සාමාන්‍යයෙන් හැම කෙනෙක්ටම තමන්ගේ අනාගතය ගැන සිහිනයක් තිබෙනවා. මම ගෙයක් හදනවා, වාහනයක් ගන්නවා, කසාද බඳිනවා, ලෝකේ හොඳම රැවුල වවනවා, ලෝකෙ වටේම යනවා වගේ විවිධාකාර සිහින ජීවිතය සහ අනාගතය ගැන තිබෙනවා. නමුත් සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස්වලින් සිත පිරී ගියාම මේ හැම හීනයක්ම නැති වෙලා බොඳ වෙලා යනවා. ඊට පස්සේ ඒ අය කතා කරන්නේ ඒ දේවල් ගැන කළකිරීමෙන් වගෙයි. ඔවුන්ට කිසිම උනන්දුවක් නැති බවක් දකින්නට ලැබෙනවා.
4. නිදාගැනීමේ දුෂ්කරතා
තමන්ගේ දුර්වලකම් ගැන දිගින් දිගටම සිතීම, ඍණාත්මක සිතුවිලි වලින් හදවත පිරීයාම හරහා මානසික ආතතිය, විශාදය ඇතිවීමෙන් නිදාගැනීමේ අපහසුතාවන් ඔබට ඔවුන් තුළ දකින්න ලැබේවි. “මේ ටිකේම හරියට නින්දක් නෑ” වගේ කතා ඔවුන් කියන්නට පටන් ගන්නා අතර මේ ඔවුන්ගේ මූලික අවස්ථාවක් වන්නට පුළුවන්. ඒ නිසා බොහොම ආදරයෙන් කතා කරමින් ඔවුන්ගේ හිතේ තිබෙන ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාව සලසන එක ඔබේ වගකිමක්. ඇතැම්විට ඔබට ඒ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්නට නොහැකි වෙන්න පුළුවන්. ඒත් ඒවාට සවන් දීමෙන් ඒ අයගේ සිතට සහනයක් දැනෙනවා.
5. ඇඟට පණ නැතිකම
නිරන්තරව විශාදයෙන් පසුවීම නිසා උනන්දුව, ජවය නැතිව යනවා. කොච්චර හොඳට පෝෂ්‍යදායී ආහාර ලබාගත්තත් ඇඟට පණක් නැති බව, අඩු තරමේ නැගිට ඇවිදින්නවත් අවශ්‍යතාවක් නැති බවක් දැනෙන්නට පටන් ගන්නවා. කිසිවක් නොකර හාන්සිවී ඉන්නට බෙහෙවින් පෙළඹෙන තත්ත්වයක් මෙම අවස්ථාවේදී දකින්නට පුළුවන්. ජීවන ඉලක්ක නොමැතිව නින්දට හෝ බොහෝවිට ඇඳටවී කල්පනා කරමින් සිටින්නට ප්‍රිය කරන තත්ත්වයකට එළැඹෙනවා. එනිසා එපාවුණු ස්වරූපයකින් කෙනෙක් දවසේ වැඩි කාලයක් ගත කරනවා නම් ඔවුන්ව ඉතා පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්.
6. සමාජයෙන් ඉවත්ව ජීවත් වීම
හොඳින් සමාජය ආශ්‍රය කරමින් ජීවත් වුණු කෙනෙක් හෝ ලැජ්ජාශීලී අයෙක් නම් අඩු තරමේ නෑදෑ හිතමිතුරන් සමඟ කතාබහ කරමින් විනෝදවෙමින් සිට හදිසියේම ඔවුන්ගෙන් ඉවත්ව ජීවත් වන්නට උත්සාහ කරනවා නම් ඒ සිතේ හටගත් තැවුල් ස්වභාවයක් නිසා විය හැකියි. සමාජය ආශ්‍රය කිරීමෙන් තමන්ට දුකක්, සිත් රිදවීම්, ඒකාකාරී ඍණාත්මක සිතුවිලි ධාරාවට බාධාවක් ඇතිවිය හැකැයි සිතමින් ඔවුන් හුදකලාව ජීවත් වන්නට පටන් ගන්නවා. මෙම තත්ත්වය නම් බොහෝ දුරට අවදානම් අවස්ථාවට ආසන්න විය හැකියි. ඔවුන්ට ඉතා ළඟින් ආශ්‍රය කරන්න කෙනෙක්, හිත නිදහස් කරගන්න කෙනෙක් මෙහිදී අවශ්‍ය වෙනවා. සමහරවිට වෘත්තීය වෛද්‍යමය උපකාරත් අවශ්‍ය විය හැකියි.
පසුවදන
ඉතින් මේ දේවල් දැනගෙන සිටීමෙන් ඔබට ඉතා පහසුවෙන්ම එවන් ආකාරයේ සිතුවිලි ධාරාවන්ගෙන් යුතු අය හඳුනාගෙන පිහිට වන්නට අවස්ථාව සැලසෙනවා. මෙහිදී සිත් තබාගත යුතු කාරණයක් තමයි මේ කරුණු වලින් එකක් පමණක් තිබීම කිසිසේත්ම ඔවුන් සියදිවි නසාගන්නට යනවා යැයි කියන්නට බැහැ. ඊට අඩුම තරමේ 3ක්වත් තිබිය යුතුයි. විශේෂයෙන් අනිත් අයට දේවල් දීම ඔවුන්ගේ දානමය සිතුවිල්ලක් නිසාත්, සමාජයෙන් ඉවත්ව විසීම අන්තර්වර්තික (Introvert) ලක්ෂණයක් වන්නට පුළුවන්. කොහොම නමුත් ඔබේ ආදරණීයයන් සමඟ ඒ අයගේ දුක බෙදාගනිමින් ඒ අයට සවියක් වන්නට ඔබට හැකිනම් එය ඔවුන්ට මෙන්ම ඔබේ ජීවිතයටත් අපූරු හැඟීමක් ගෙන දේවි.
ඉහත කියපු දේවල් ඔබට තිබෙනවා නම් ඔබ චුට්ටක්වත් බය වෙන්න එපා. ඔබට වඩාත්ම සමීප කෙනෙක්ට: අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් හෝ ඔබේ පෙම්වතා/පෙම්වතිය සමඟ ඒ ගැන කියන්න. එහෙමත් නැත්නම් CCCline හි 1333 හෝ සුමිත්‍රයෝ හි 011 2692909, 011 2696666, 011 2683555 වැනි උපකාර සේවාවක් ඇමතිය හැකියි. එයට ඇමතුම් ගන්නට මුදල් වැය නොවන අතර ඔවුන් ඔබේ රහස් රකිමින් මිතුරෙක් ලෙස ප්‍රශ්නවලට සවන් දේවි.
Cover Image Source – nypost.com
Leave a Reply