කුලසිංහ නාමය ඉදිරියෙන් රන් අකුරින් නිමවුනු විශ්වකර්ම නිර්මාණ

The great engineer of srilanka dr kulasinghe

ඒ එන් එස් කුලසිංහ මහත්මයා කියන්නේ ලංකාවේදී වගේම ලංකාවෙන් බැහැරදීත් සිය තාක්ෂණික දැනුම ඔස්සේ බොහෝ සමත්කම් පෑ ප්‍රායෝගික ඉංජිනේරුවරයෙක්. ඉංජිනේරුවරයෙකු කියූ කල බොහෝ දෙනාගේ සිතේ වර්තමානයේ මැවෙන්නේ වායුසමනය කල කාමර තුල ලැප්ටොප් පරිඝණකයට මුහුණ හොවාගෙන සැප ආසනයක ක්ලීන් සූට් එකක් ඇඳගෙන සිටින චරිතයකි. කුලසිංහ මහතා දක්ෂ කළමණාකරුවෙක්, පාලකවරයෙක් වගේම ප්‍රායෝගිකවම වැඩට බැහැලා අලුත් දේ සොයාගත් ඉංජිනේරු චරිතයකි. එතුමාගේ මැදිහත් වීමෙන් මූලික වශයෙන් පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ලොවට හඳුන්වා දුනි. ඊට අමතරව නව නිපැයුම් අංශයෙන් ගතහොත් එන්ජින්, යන්ත්‍ර සූත්‍ර, එදිනෙදා දිවියට අවශ්‍ය නිර්මාණ ආදී විශාල පරාසයකනිර්මාණ ගණනාවක් කුලසිංහ නාමය ඉදිරියෙන් දිස්වේ.  එතුමාගේ නම ඉදිරිපිට ලියවී ඇති අසහාය නිමැවුම් කිහිපයක් ගැන අපි බලමු.

 

1. කළුතර මහා සෑය

The great engineer of srilanka dr kulasinghe

Source – Amila chathuranga

වැවයි දාගැබයි ගමයි පන්සලයි කීවට වැව ළඟම දාගැබ ඉදිකරන්නට ඉස්සර කාලේ සිටි රජදරුවන් පවා පෙළඹුණේ නැහැ. මන්ද වැවේ ජලය අඩුවැඩිවීම් අනුව පසේ තත්වය වෙනස් වෙලා දාගැබ කැඩී යන්නට පුළුවන් කමක් තිබෙන නිසා. ඒ ආකාරයට වටේටම ජලය යහමින් තිබෙන පහත් බිමක පිහිටා තිබෙන පුරාණ දාගැබක් වන තිස්සමහාරාම චෛත්‍යය මේ වන විට අභ්‍යන්තර පිපිරීම් වලට ලක්වී එය වටා දැමූ වානේ බැමි 9ක් මතින් එහි හැඩය ආරක්ෂාෘ කරගෙන තිබෙනවා. කළුතර මහා සෑය නිමවන්නට ලැබෙන්නේ කළු ගග අසබඩ ජලාශ්‍රිත පරිසරයක.

එහිදී කුලසිංහ මැවිසුරාණන් (ඉංජිනේරුවරයා යන වදනට සමාන වන සිංහල වදන ලෙස ඊලියන් ද සිල්වා මැතිඳුන් හඳුන්වා දුන් වදන) විශාල කොන්ක්‍රීට් කුහරයක් සහිත චෛත්‍ය දෙකක් ලෙස කළුතර චෛත්‍ය කර්මාන්තය නිම කරන්නට කටයුතු කළා.  කුහර සහිත චෛත්‍ය නිර්මාණ රජ දවස පවා ඉදිවී නැතැයි පුරාවිද්‍යාඥ පරණවිතාරණ මහතා පවා තර්ක කළත් එතැනට එවැනි නිර්මාණයක් හැර සාම්ප්‍රදායික චෛත්‍යයක් ඉදිකළ නොහැකි බව කුලසිංහ මහතා පෙන්වාදී ඔහුගේ ඉංජිනේරුමය මැදිහත් වීමෙන් චෛත්‍ය කර්මාන්තය නිම කළා.

 

2. වරාය චෛත්‍යය

The great engineer of srilanka dr kulasinghe

Source – Amila chathuranga

ගුවන්තොටින් රටින් පිට වීම ජනප්‍රිය නොවූ විසිවන සියවසේ මැද භාගයේදී මිනිසුන් රටින් පිටට ආවේ ගියේ නැව් වලින්. ජාත්‍යන්තර කීර්තිමත් චරිතයක් වූ කුලසිංහ මහතාටත් එසේ නැවෙන් රට යන්නට එන්නට බොහෝ කාරණා යෙදෙන්නට ඇති. එහිදී රටට පිවිසෙන විට රටේ උරුමය ලෙස දිස්වන්නට චෛත්‍යයක් තිබුණොත් මැනැවැයි කල්පනා කල කුලසිංහ මැතිතුමා එය ඉදිකරන්නට රජයෙන්ද දායකත්වය රැගෙන එය දර්ශනීය ලෙස ඉදිකලා.  දුර සිට වුවද පෙනෙන පරිදි උසැති කොන්ක්‍රීට් පාදමක් මත ඉදි වූ වරාය චෛත්‍ය වර්තමානයේ චීනයේ පෝට් සිටිය නිසා මුහුදින් මඳක් ඈතට ගියත් අදටත් කොටුව වරාය අසබඩ සියල්ලට ඉහලින් දිස්වෙන අලංකාර නිර්මාණයක් ලෙස දැක්විය හැකියි.

 

3. කොත්මලේ මහා සෑය

The great engineer of srilanka dr kulasinghe

Source – Amila chathuranga

කොත්මලේ ජලාශය තැනීමේදී සියවස් ගණනාවක් පුරා සිංහල බෞද්ධ ගම්මාන වශයෙන් තිබූ බිම් රැසක් ජලයෙන් යට වුණා. ඒ යටවුනු බිම් අතර අතර කඩදොර විහාරය ඇතුළු විහාර ආරාම කිහිපයක්ද ඇතුලත් වුණා. මේ වන්දිය ගෙවීම පිණිසත් රජ දවසින් පසු විශාල චෛත්‍ය කර්මාන්ත ඉදිකිරීමේ හැකියාව පෙන්වීමටත් ගාමිණි දිසානායක මහතා කොත්මලේ මහා සැය ඉදිකරන්නට යෙදුණා.

එහිදී ද මැදිහත් වූ කුලසිංහ මහතා කොන්ක්‍රීට් පාදම් 32කින් සවිමත්ව කුහරයක් සහිතව රුවන්වැලි මහා සෑයට ඉතා මදක් කුඩා වන්නට කොත්මලා මහා සැය ඉදිකලා. ගාමිණී දිසානායක මහතාත් කුලසිංහ මහතාත් අභාවයට යනතෙක් කොත්මලේ සෑයේ වැඩකටයුතු හමාර කරගන්නට බැරි වුණා. පසුකලෙක විවෘත වී අදටත් බොහෝ ඈතට පෙනෙන සුවිශාල චෛත්‍ය කර්මාන්තයක් ලෙස කොත්මලේ මහා සෑය හැඳින්විය හැකිය.

 

4. පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය

The great engineer of srilanka dr kulasinghe

Source – theconstructor.com

කොන්ක්‍රීට් සිල්පර තාක්ෂණය මුලින්ම හඳුන්වා දෙන්නෙත් කුලසිංහ මැතිතුමා වන අතර ඒ සදහා ඒ මහතාට පේටන්ට් බලපත් ද හිමියි. පෙරසවි තාක්ෂණය මතින් වහලවල් , සුවිශාල ගොඩනැලගිලි වරායේ ජැටි ආදිය නිර්මාණය කරන්නට කුලසිංහ මහතා ක්‍රියාකළේ ඊට පෙර තිබූතාක්ෂණයන්ට වඩා අඩුමිලට වගේම සවිශක්තියෙන් ද වැඩි වන ආකාරයටයි. එතුමාගේ මැදිහත් වීමෙන් තායිලන්තය වැනි රටවල් කොන්ක්‍රීට් බෝට්ටු පවා තනන්නට ක්‍රියා කළා. මේ තාක්ෂණික නිමැවුම් වෙනුවෙන් ඉන්දියාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන්  සම්මාන එතුමාට හිමිවුණා. ජාත්‍යන්තර මට්ටමෙන් ද ඔහු ගේ තාක්ෂණික නිමැවුම් ජනප්‍රිය කරන්නට ජාත්‍යන්තර සංවිධාන සෘජුවම ඔහුට අවකාශ ලබාදුන්නා.

 

5. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

The great engineer of srilanka dr kulasinghe

Source – panoramio.com

සෑම විශාල ඉංජිනේරු ඉදිකිරීම් කාර්යයක්ම විදෙස් කොන්ත්‍රාත්කරුවන් ලබාගනිමින් ඔවුන් විශාල මුදලක් රටින් ලබාගන්නා අයුරු දුටු කුලසිංහ මැතිතුමා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය ඇරඹීමටත් ඒ හරහා විශාල ඉදිකිරීම් රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුකර විශාල මුදලක් රජයට ඉතිකරදෙන්නට මාවත විවර කළා. අද වනවිට එම රාජ්‍ය ආයතන අයහපත් පරිපාලන සහ වංචා ආදිය නිසා පාඩු ලැබුවත් කුලසිංහ මහතා වැනි දැඩි කැපවීමකින් රට ගැන සිතූ අය සිටි කාලවල එම රාජ්‍ය ඉංජිනේරු ආයතන ඉදිකිරීම් කටයුතු වලට ප්‍රබල ලෙසම මැදිහත් වී රටේ ජාතික ධනය සුරැකීමට මැදිහත් වුණා.

 

6. ග්‍රහලෝකාගාරය

The great engineer of srilanka dr kulasinghe

Source – lakdana.com

කොළඹ පිහිටි ග්‍රහලෝකාගාරය තැනීම ගැන ඒ කර්මාන්තයටම දායක වූ අයෙක් පසුකලෙක මෙසේ කියා තිබුණා.

1965 අවුරුද්දේ ලංකා කාර්මික ප‍්‍රදර්ශණයක් කොළඹ දි පවත්වන්න තීරණය වුනා. මේ ප‍්‍රදර්ශනයේ තරගයකට නැගෙනහිර ජර්මනිය ඉදිරපත් කරපු ප‍්‍රදර්ශන භාණ්ඩය තමයි මේ ග‍්‍රහලෝකාගාරය. හැබැයි ජර්මානුවන්ගේ ප‍්‍රදර්ශණ භාණ්ඩය වුනාට මේක හැදුවේ සැලසුම්කළේ අපේ රටේ කොන්කී‍්‍රට් වලින් වැඩ දාපු සුප‍්‍රකට කිර්තිමත් ඉංජිනේරුවෙක්වු ආචාර්ය එ්.එන්. එස්. කුලසිංහ මහත්තයා. ඔය පිලී පිලී වගේ තියෙන V හැඩයේ කෑලි ඔක්කෝම හැදුවේ බිම. එකෙන් එක උඩට උස්සලා පුරුද්දලා සවිකරපු මේ ඉන්ජිනේරු විස්වකර්ම වැඩේ කියන්නේ මේ ගොඩනැගිල්ලේ රාමුවක් නැත්නම් සැකිල්ලක් නෑ. සමහර අති පණ්ඩිතයෝ මේ වැඬේ කරන්න බෑ කියලා කුලසිංහ මහත්තයාට දොස් කියලා එයාට වරදිනතුරු බලන් ඉඳලා තිබුණා. දන්නවානේ කුලසිංහ මහත්තයා කියන්නේ විස්මකර්ම වැඩවලට දස්සයා කියලා. අපේ රටේ තිබුණ සීමිත සම්පත් වලින් උපරිම ප‍්‍රයෝජන අරගෙන වැඩේ කෙරුවා

 

7. ඉන්ධන ඉතිරිකිරීමේ FS 77 Fuel Saver තාක්ෂණය

The great engineer of srilanka dr kulasinghe

Source – derana.lk/asiantribune.com

මේ තාක්ෂණ ක්‍රමය මගින් සාමාන්‍ය එන්ජිමකට වඩා ඉන්ධන 25%කට වඩා ඉතිරිකරගන්නට සමත් බව සඳහන් වනවා. මෙම තාක්ෂණය එංගලන්තයේදී සහ ස්කොට්ලන්තයේදී සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඒ ඔස්සේ කුඩා ජෙනරේටරයක් කුලසිංහ මහතා විසින් නිපදවා තිබුණත් ඊට වඩා විශාල මහා පරිමාණයේ නිර්මාණ සදහාද එය යොදගත් හැකි බව ඔහුගේ පුතණුවන් වන උපුල් කුලසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තේ දලු අඹරන කාර්යක්ෂම යන්ත්‍රයක් නිපදවීම.

පෙරසවි තාක්ෂණයෙන් නිම කරන ලද නිර්මාණ ඉදිරිපත් කිරීම. ,

මාලිගාවිල සුවිසාල බුදුපිළිමය එසවීම

මහවැලි ව්‍යාපාරය කඩිනමින් අවසන් කිරිම.

ධීවර වරායන් සහ වරායන් ඉදිකිරීම.

රාජ්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රය විධිමත් කිරීම.

පුත්තලම් සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීම.

මැලේෂියාවේ චෙන්ඩරින් වරාය ඉදිකිරීම් අධීක්ෂණය.

නාරාහෙන්පිට එවකට වගුරු බිමක මාලිගාවත්ත ආදී මහල් නිවාස පද්ධතියක් ස්ථාපනය කිරීම

ටයර් සංස්ථාව, ජාතික විද්‍යා පදනම, ලේලන්ඩ් සමාගම, ලංකා වානේ සංස්ථාව, වැනි ආයතන වලට නායකත්වය සැපයීම

එක්සත් ජාතීන්ගේ ප්‍රමිතිකරණ අධීක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීම

ආදී බොහෝ බොහෝ දේ ඒ එන් එස් කුලසිංහ ශ්‍රී නාමය ඉදිරියෙන් ලියවී තිබෙනවා. මෙවැනි කුඩා ඉඩකින් එතුමාණන් ගැන අපිට සම්පූර්ණ චිත්‍රයක් ඉදිරිපත් කරන්නට අපහසු තරම් වූ නිර්මාණ රැසක් එතුමා අප රටට සහ ලෝකයට දායාද කොට තිබෙනවා. අපේ නිමැවුම් කරුවන් තැනූ තාක්ෂණයන් ගැන සිහිපත් කිරීම වගේම ඒ තාක්ෂණික අංශයන් දියුණු කිරීමත් කළ යුතුය. තවත් අලුත් දේ සමගින් අද දවසේත් වැදගත් නිමැවුම් ජනනය කරගත හැකි වටපිටාවක් නිර්මාණය කරගැනීමට හැකිනම් එය අද දවසේ ඒ එන් එස් කුලසිංහ මහතා වැනි ශ්‍රේෂ්ඨ මැවිසුරන් වෙනුවෙන් කළ හැකි මාහැඟි උපහාරයකි.

 
Cover Image Source – panoramio.com/ dailynews.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *