රියදුරු අසුන තාක්ෂනයට බාර දෙන ස්වයංක්‍රීය රිය ධාවනය

Self driving cars

1. වේමෝ

Self driving cars

Source – waymo.com

වේමෝ ( Waymo) යනු ගූගල් සෙල්ෆ් ඩ්‍රයිවින් තාක්ෂණයේ ම නවතම දිගුවකි. වේමෝ සිය ස්වයංක්‍රීය රිය ධාවන තාක්ෂණය ගැන පර්යේෂණ පවත්වන්නේ 2009  සිටය. ඔවුන් 2016 දී ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණය සහිත පලමු රථය නිකුත්කරන ලදී. වර්තමානයේදී කිලෝමීටර මිලියන 4කට වඩා  සම්පූර්ණ කර ඇති ගූගල් සෙල්ෆ් ඩ්‍රයිවින් දත්ත වලින් වේමෝ සවිමත් වී තිබේ.

හඳුනාගැනීම

ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණයේ දී මුල්කාලීනව මුහුණ පෑ  ප්‍රබල ගැටලුවක් නම් බාධක හඳුනාගැනීමයි. සිතියම්ගත දත්ත අනුව ධාවනය කිරිම ගැටලුවක් නොවුණත් මාර්ගයක ධාවනයේදී හදිසියේ ම හමුවන අනෙකුත් වාහන මගින් සහ බයිසිකල් කරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ඊලග පියවර කලින් නිමානය කරගැනීම රියදුරු අසුනේ සිටින අයගේ වගකීමකි.

නූතන සෙල්ෆ් ඩ්‍රයිවින් වලදී ඉදිරියෙන් හමුවෙන දේවල්, මේ එන්නේ සෙමෙන් යන පාපැදිකරුවෙකි, පාපැදිකරුවා දැන් දකුණට හරවන්නයි හදන්නේ, පාර පනින්න හදන අයෙක් ඉදිරියෙනි , මාර්ගයේ මිනිසුන් පිරිසකි කෝලහාලයකි..මාර්ගය අබලන්ය හෝ මාර්ගයේ ඉදිකිරීම් කටයුත්තකි ආදී වශයෙන් හඳුනාගෙන ඒ අනුව රියේ හැසිරීම පාලනය කරගත යුතුය. එය සෙන්සර් ගණනාවකින් සහ දියුණු කරන ලද මෘදුකාංග ඇසුරෙන් කරගත යුතුය.

 

2. මාර්ග දත්ත

Self driving cars

Source – engadget.com

පුද්ගලික වාහන ධාවනය යනු දුම්රිය මෙන් දිගට දිගේ අඛණ්ඩව ධාවනය වන වටපිටාවක් නොවේ. වංගු ගැනීම, මංසන්ධි පසුකිරීම, හැරවීම ආදි බෙහෝ දේ ඇතුලත්ය. එවැනි අවස්ථාවලදි අනෙකුත් රිය වල හැසිරීම මාර්ග තත්වය බලා වාහනය හසුරුවාගැනීමටද හැකි විය යුතුය. එම නිසා මාර්ගයේ දත්තද මාර්ග සංඥා වල දත්තද පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සෙල්ෆ් ඩ්‍රයිවින් පද්ධති සැකසිය යුතුය.

 

3. බයිසිකල් කරුවන් හදුනා ගැනීම

Self driving cars

Source – pintarest.com

සාපේක්ෂව අඩු වේගයෙන් ඉක්මනින් දිශාව වෙනස්කරගත හැකි ප්‍රමාණයෙන් කුඩා බයිසිකල වල චලනය අධ්‍යයනය කිරීම ගූගල් සමාගම මුහුණ දුන් අභියෝගයකි. ගූගල් වේමෝ පර්යේෂණ කළේ ලංකාවේදී නම් ලාංකික ත්‍රී රෝද රථ සහ බස් රිය ධාවකයින් විසින් ගූගල් පද්ධතිය දැඩි ලෙස අපහසුතාවයට පත් කරනු ඇත. කෙසේ වෙතත් බයිසිකල් කරුගේ අතින් යොදන සංඥා පවා හසුකරගත හැකි ලෙස ගූගල් තාක්ෂණය දියුණු කොට තිබේ.

 

4. අනතුරු වලක්වා ගැනීම

Self driving cars

Source – dribbble.com

රියදුරු අසුන තාක්ෂණයට බර කිරීමෙන් අනතුරු වැඩිවිය හැකි යැයි මතයක් අප අතර තිබේ. එහෙත් සත්‍යය එය නොවේ. ඇමරිකාවේ 2014 වර්ශයේ සිදුවූ අනතුරු වලින් 94%කටම හේතුව මනුෂ්‍ය වැරදි වේ. එනම් තාක්ෂණික වැරදි ඇත්තේ ඉතිරි 6%ත් කොටසක පමණි. එසේම මනුෂ්‍යයා යම් බාධකයක් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමට යන කාලයට වඩා ඉතා අඩු කාලයකින් තාක්ෂණයට සිය ප්‍රතිචාර ඉදිරිපත් කළ හැකිය.

ඇමරිකාවේ 2014 වර්ෂයේ මරණීය අනතුරු දත්ත ගත් කල එයින් 9262ක් අධික වේගය නිසාය, 9967ක් මධ්‍යසාර බාවිතා කර රිය ධාවනය හේතුවෙනි. 3179ක් අවධානය වෙනතක යන ජංගම දුරකථන ආදිය භාවිතය හේතුවෙනි. 846ක් නින්ද යෑම හේතුවෙනි. එනම් 2014 වර්ෂයේ අනතුරු වලින් සිදුවී ඇති මරණ සංඛ්‍යාව වන 32,675කින් විශාල ප්‍රමාණයකට වග කිව යුතු වන්නේ වලක්වාගැනීමට තිබූ මනුෂ්‍යය වැරදිය.

තාක්ෂණික රියදුරා අධික වේගයෙන් යන්නේ නැත, මද්‍යසාර බොන්නේ නැත, මොබයිල් භාවිතය වැනි අනවශ්‍ය දේ කරන්නේ නැත කොටින්ම ඔහුට නින්ද යන්නේ හෝ හදිසියේ අකර්මණ්‍ය‍ය වනනේද නැත. එබැවින් තාක්ෂණයට රියදුරු අසුන බාරදීම වඩා සුදුසු යැයි ගූගල් සමාගම කියයි.

 

5. සම්පූර්ණ ස්වයංක්‍රීය වන්නට කලින්

Self driving cars

Source – Digitaltrends.com

කාර් සැලකූ කල රථවාහනයට තාක්ෂණය මුසු කිරිම ගුගල් සමාගම යොමු වූයේ 2009 තරම් බොහෝ පසුකාලීනවය. ඊට බොහෝ පෙර සිට රථයේ පාලනයේ විශාල කාර්යභාරයක් තාක්ෂණික අංශයට පරිගණක කොටස් වලට බාරදීමට කාර් සමාගම් ක්‍රියා කලේය. දැනුදු නවීන කාර් බොහොමයක එංජිම, තිරිංග, ගියර් පද්ධති, ලයිට්, විදුලි පද්ධතිය ආදී බොහෝ ක්ෂේත්‍ර වලට විධාන නිකුත් කර හැසිරවීමේ කාර්යයෙන් විශාල කොටසක් පරිගණක ආශ්‍රයෙන් සිදුකරනු ලැබේ.

පරිගණක ලෙස සැලකූ කල අප නිතර දකින ඩෙක්ස්ටප් ලැප්ටොප් හෝ ටැබ් වැනි තිර ඇතුලත් ඒ හැඩයේම පරිගණකයක් කාර් රියවල නැතත් අභ්‍යන්තරයේ සවි වී රියේ හැසිරවිම් වලට දායක වන ප්‍රොසෙසරයක් මතකයක් ඇතුලත් කුඩා පරිගණකයක් සෑම නවීන වාහනයකම පාහේ ඇතුලත්ය.

 

6. ඌබර් සහ නෑයෝ

Self driving cars

Source – wired.com

ඌබර් නම් කුලීරිය මොඩලයේ සමාගම, ලංකාවේද ජනප්‍රිය සම්පූර්ණයෙන් විදුලියෙන් දිවෙන ලීෆ් රථය නිම වූ නිසාන් සමාගම ද මේ රියදුරු රහිතව රිය ධාවනය ගැන පර්යේෂණ පවත්වති. ගූගල් සමාගම විසින් කැමරා, ප්‍රබල සෙන්සර, අභ්‍යන්තර මැප්ස් දත්ත ආදී උපාංග යොදා තනන ස්වයංක්‍රීය තාක්ෂණයට වඩා ඌබර් අවධානය යොමු කර ඇත්තේ සෙන්සර් වෙතය. එහි රථයේ ලේසර් බීම් 64ක් මගින් අවට ගැන දත්ත රියට ලබාගනු ලැබේ.

 

7. සෙල්ෆ් ඩ්‍රයිවින් වල ඇති අඳුරු පැති

Self driving cars

Source – t3.com

සෙල්ෆ් ඩ්‍රයිවින් යනු භාවිතාව අතින් තවමත් ළදරු අවධියේ තිබෙන තාක්ෂණයකි. පසුගිය වර්ශයේ එල්ල වූ සයිබර් ඇටෑක් අතර ඌබර් සමාගමේ වාහන සහ රියදුරු දත්ත මිලියන 57ක් අස්ථානගතවීම, ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක සේවාවේ තොරතුරු ලීක් වීම, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවාවේ දත්ත සොරාගැනීම සහ යුක්‍රේනයේ බදු සහ මුදල් පාලන පද්ධතිය හැක් වීම ආදි ප්‍රබල පද්ධති වලට තොරතුරු සොරාගැනිම් ඇතුලත්ය. තොරතුරු තාක්ෂණය කොතරම් හොඳ යෙදීමක් වුවත් නිතරම ඒ පිටුපස සයිබර් ඇටෑක් නම් මාරයා සැගව සිටී. එය ජාලගත දත්ත සහ පද්ධති මගින් දිවෙන ස්වංක්‍රීය කාර් සදහාද ඉදිරියේදී වලංගු වනු ඇත.

අප රට මෙන්ම ඇමරිකාව වැනි දියුණු රටවලද වැඩි උගත්කමක් නැති ජනයාගේ එක් ප්‍රබල රැකියා තෝරාගැනීම්ක් වන්නේ රියදුරු රැකියාවය. රියදුරු වෙනුවට පරිගණක පැමිණීමත් සමග අනාගතයේ මෙම ස්වයංක්‍රීය රිය ජනප්‍රිය වුවොත් රැකියා නැතිව ලතවන පිරිස් තවත් වැඩිවෙනු ඇත.

ප්‍රබල සෙන්සර් වල භාවිතා වන කිරණ ආදිය සැමවිටම අහිංසක නොවේ. දත්තවල නිරවද්‍යතාවය තකා ඒ සෙන්සර වල ප්‍රබලතාව වැඩිකරත්ම ඒ තරංගවල බලපෑම වැඩිය. මෙම ස්වංක්‍රීය රියදුරු කාර්යය ආදී දේ  පිණිසද පහසුකම් සපයන  5G වැනි තාක්ෂණ කෙරෙහි ද ජනතාවගේ සැකමුසු බැල්ම මේ වන විට යොමු වී තිබේ.

 

8. අඳුරු මැකී එන සොදුරු  අනාගතයකට

Self driving cars

Source – theatlantic.com

හුදෙක් තාක්ෂනික ව දියුනු වූ ඔටෝමැටික් ලොවක රසවිදීමට එහා ගිය වටිනාකමක් සෙල්ෆ් ඩ්‍රයිවින් සංකල්පයේ තිබේ. අප ලංකාව කුඩා රටක් වුවද 2017 වර්ෂයේ රථවාහන අනතුරු හේතුවෙන් ජීවිත 2984ක් අහිමි වී තිබේ. එයින් බොහෝ ගණනක් මනුෂ්‍ය වැරදි හේතුවෙන් සිදුවූ අනතුරු විය හැකිය. තාක්ෂණිකව යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා තනාගෙන තවත් වසර 10-15ක් ඇතුලත අප වැනි රටවලට සෙල්ෆ් ඩ්‍රයිවින් සංකල්පය මහ පාරේ ධාවනය වන රිය ලෙස පැමිණියහොත් රිය අනතුරු වලින් සෑහෙන ප්‍රමාණයක් අඩුකරගැනීමට ඒ හරහා අවකාශ ලැබෙනු ඇත.

 
Cover Image Source – intel.com
 

Leave a Reply

Your email address will not be published.