ටියුෂන් සර්ලා බොහොමයක් කරන්නෙ ගුරු වෘත්තියම නෙමෙයි කියල බැලූ බැල්මට පේන්නෙ ඒ අය ඒ ඇතුළෙ හැසිරෙන විදිය නිසායි. කුණුහරුප හෝ ඩබල් මීනිං කියලා, ළමයින්ට ආසා හිතෙන විදියට නිදහස වැඩිපුර දීලා, බොරු ෂෝ එකෙන් ගේම් එක ගොඩ දාගෙන යන්නෙ ටියුෂන් බිස්නස් කාරයො. ඔය අතරෙ ළමයෙක්ව පාසලකදි වගේම නිසියාකාරව ගොඩනගන්න උත්සාහ කරන ටියුෂන් ගුරුවරුන් නැතුව නෙමෙයි. එනිසා මේ සටහන අවුල් ටියුෂන් ගුරුවරුන්ට පමණක් වදීවා.
1. බලෙන්
මේ කතාවෙන් තමයි අපේ සටහන පටන් ගන්නෙ. දවසක් අපේ යාළුවෙකුගෙන් තවත් යාළුවෙකුට කෝල් එකක් එනවා.
මචං මාව බේරගනිං
ඒ ඇයි?
මාව හිරවෙලා
කොහේ?
ඉංග්‍රීසි පන්තියෙ.
ඇයි? නින්ද ගිහින් ඉද්දි සර් උඹව ඇතුළෙ තියල ලොක් කරලද?
නෑ මීමෝ.. මුං මං ඉංග්‍රීසි කතා කරනකං එළියට යන්න දෙන්නෙ නෑ.
“ඉංග්‍රීසි කතා කරන තුරු කඳවුරෙන් පිටවීම තහනම්” කියල බෝඩ් එකක් ගහපු ප්ලේස් එකකට ඉගෙනගන්න ගිය යාළුවෙකුට ඕක වුණා. අන්න ඒ වගේ බලෙන්ම උගන්නල, පොත් කවල, පාඩම් පොවලා එවනව කියල පොරොන්දු පිට තමයි සර්ලා පන්තිවලට ළමයින්ව ගෙන්නගන්නෙ. ඒක ඇත්තටම මාකටින් පාරක්. ළමයින්ගෙ හිතේ බලාපොරොත්තුව ඇති කරවන්නක්. මරවලා හෝ තමුන්ගෙ ළමයට උගන්නන්න ඕන කියල හිතන අම්මල තාත්තලාට එවුව සුරපුර වගයෙි පේන්නෙ.
2. පත නයා
මේක අමුතුම ආකාරයක සීන් එකක්. ඇත්තටම මෙහෙම සීන් මිනිස්සුන්ට වෙනවද? දැන් උදාහරණෙකට මෙහෙම හිතමුකො. ෆුල් සිංහල ඩයල් එකක් කොච්චර හොඳට ඉංග්‍රීසි කතා කරත් ඒක කරන්න කලින් හිතිං තමුන් කියන දේ ගැන අනිච්ඡානුගවම හිතන්නෙ සිංහලෙන්නෙ. ඉංග්‍රීසි කතාව අඩු කෙනෙකුගෙයි වැඩි කෙනෙකුගෙයි අතරෙ තියෙන වෙනස තමයි ඒ විදියට හිතන දේ ට්‍රාන්ස්ලේට් කරගන්න යන වෙලාව. හැබැයි ඔය ට්‍රාන්ස්ලේට් කරන වේගෙ කොච්චර වැඩි වුනත් දවසම සිංහල කතා කරන මිනිහෙකුට ඔෆිස් එකේදි වගේ තැනකදි කතා කරන ඉංග්‍රීසි ටිකක් නිසා සම්පූර්ණයෙන්ම සිංහල අමතක වෙන්න පුළුවන්ද? හැබැයි ටියුෂන් කරන සර්ලා ඒ වගේ නයි දානව. “ඔබට සිංහල අමතක වීමට ඉඩ ඇත.” වගේ තියෙන්නෙ ඒ බෝඩ්.
3. කාව්‍යක්කාර
දැන් ඔය සිංහල වගේ උගන්නා ළමයෙකුට නම් කවියක් දෙකක් කියන්නෙ පොඩ්ඩක් හිත ඇදිලා යන මාකටින් වැඩක්. ඉතිං එහෙමයි කියල දාන ඇඩ්ස් අස්සෙ වෙනිං විෂයන්ටත් ඔය වගේ කතා හරියන්නෙ නැහැ.
බැද්දට වට දිය රැල්ල වගේ රසායනික ලෝකෙට බට විද්‍යා තරුව
එන්න එන්න කොමර්ස්වලට අපෙනුත් A ගන්නකෝ
දෙඅදර විලිකුන් සුරත් ඵලේ.. A ගොඩ ඔබ අයදිමින් සැළේ
ඇත්තටම හැම විෂයටම ඔය කාව්‍ය කලාකාමී තියරිය හරියන්නෙ නෑ. හැබැයි ටියුෂන් ගුරාලා කට්ටියව පන්ති ගෙන්න ගන්න දාන ගුණ්ඩු අතරෙ ඕවා ඉදිරියෙන්ම තියෙනවා.
4. පඬි
මේ කියන්න යන්නෙ මහා දිසාපාමොක් ඇඳුරිදු වගේ සීන් එකකින් තමුන්ව හඳුන්වගන්න ටියුෂන් ගුරාලා ගැන. කන්නත් දීලා උගන්නලා දුවත් දීපු දිසාපාමොක්ලාට සමකරන්න හිතාගෙන තමුන්ගෙ නම්වලට අමුතු විශේෂණ එකතු කරගෙන, ෂෝටයි බාටයි දාලා පන්තියේ ඉගැන්නුවත් කෝට් දාගෙන පෝස්ටරේට ඉන්න, මේ මොඩර්න් දිසාපාමොක්ලා ගැන කියන්න ඕනමයි. එයාලා දෙන්නෙ අමර ටෝක්. මූසිලලාට ආදරය කළ, මූදු හතෙන් එහා ගියත් සොයාගන්න බැරි අපේ සර්, මනුස්සකමට එකතු වෙන ගුරු සුවඳ, අපේ කාලයේ දුයිෂෙන් වගේ සීන් තමයි එයාලා දාන්නෙ.
5. හෘද්‍යාංගම
මේකත් ටිකක් කවියට බරයි. හැබැයි මේක නිකම්ම කවියක් හෝ කලාත්මක සටහනක් නෙමෙයි. මේකෙන් පෙන්වන්නෙ ගුරා සහ පන්තියේ කුළුණු ගුණය, හෘදයාංගම බව වගේ දේවල්.
දොඹ ගස් යට මල් හැලිලා සුළඟක් හැම තැන රැඳෙන වෙලාවෙ වලි කුකුළන් ගැන හදාරන්න එන්න මේ ජීව විද්‍යා පන්තියට
ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ – දැන උගෙනගෙන කඩ කරන්න එන්න අපේ වානිජ පන්තියට
ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා – කියලා ඔබත් පසුතැවුනාද රත්තරං පුතේ
6. ඔක්කොම හොඳ
බත් ඇති තැනටමයි හොදි කියල කතාවක් තියෙනවනෙ. මෙතනත් එහෙමයි. ඒ කන්දයි මේ කන්දයි මුළු කඳු යායම උන්ගෙ තමයි. වැඩිම ළමයි එන්නෙත් එයාට, වැඩිම පාස් වෙන්නෙත් එයාගෙන්, දිස්ත්‍රික්කෙ රෑන්ක් වැඩිම එයාගෙ ළමයි, ලස්සනම ළමයත් එයාගෙ, උසම ළමයත් එයාගෙ වගේ කතා තමයි කියන්නෙ. හැබැයි ඇත්තටම හොයල බැලුවොත් මෙහෙම කියන දෙතුන් දෙනෙකු ඉන්නව. එතකොට තේරෙනව මේ දෙතුන් දෙනාම හෝ එක්කෙනක් ඇරෙන්න අනිත් ඔක්කොම වැරදියි කියලත්.
Cover Image Source – pintarest.com
Leave a Reply