හිත ගියපු කෙල්ලව මොන දහිරියක් හරි දාලා යාළු කරගන්න කොල්ලො නොකරන දෙයක් නෑ. ඉස්සර නම් කෙල්ල ක්ලාස් යන්න ගෙදරින් එළියට බහිනකම් පාරෙ කට්ට කන්න වුණාට දැන් අයියලාට නම් තියෙන්නේ දවසෙම ඔන්ලයින් ඉඳගෙන ක්‍රෂ් කෑල්ලගේ ෆේස්බුක් එකේ නම ඉස්සරහා කොළ පාට ලයිට් එක වැටිලා ඔන්ලයින් එනකම් ගෙදර ඉඳන්ම බලාගනෙ ඉන්න එකයි. ඉතින් මෙහෙම යාළු කරගන්න වගේම යාළු වුණාට පස්සෙත් වැඩේ ඇදගෙන යන්න කොල්ලො කියන කතාවල් ටිකක් තමයි මේ.
1. මම මීට කලින් ඔයාව දැකලා තියෙනවා

Source – nflmemes.com
ඉස්සර කාලෙ ඉඳලාම කොල්ලො කෙල්ලන්ට ලේසියෙන්ම ප්ලේ කරන්නේ මේ කාඩ් එක තමයි. සමහරු නම් කතාව පටන් ගන්න “වෙලාව කීයද” කියලා අහලා ඊට පස්සෙ ටිකක් කතාව ඇදගෙන ගිහින් කියා ගන්න දෙයක් නැති වුණාමත් මේ කතාව කියනවා. කොහොමනමුත් ඕක නිසා ගොඩ ගියපු අයත් ඇති. ඒකනේ මේ ගැන සින්දුවක් ලියැවුණෙත්.
2. ඔයාගෙ මූණ හඳක් වගේ

Source – michaelneill.org
පන්සලේදී කවුරුත් එහෙට මෙහෙට වෙනකම් ඉඳලා කෙල්ල ලස්සනයි කියලා කියාගන්න දහඅතේ කල්පනා කරද්දි මූට උඩ තියෙන හඳ පේනවා. ඉතින් වෙලාවත් නැති නිසා ගත් කටටම මේක කියලා දානවා. හැබැයි ඉතින් සයන්ස් කරපු කෙල්ලෙක් නම් අනිත් පැත්තට අහයි “ඇයි මගේ මූණෙ එච්චරට ආවාට තියෙද?” කියලා. එතකොට නම් ඉතින් “නෑ නෑ හාවෙක් දුවනවා දැක්කා” කියලා ජාමේ බේරගන්න එක හොඳා. හැබැයි ඉතින් හඳ වගේ අප්‍රාණවාචී උපමා ගන්නවා හැර “ඔයා අර අහවල් නිළිය වගේමයි” කිව්වොත් සමහරුන්ට මලේ මල පනින්නත් පුළුවන්. මොකද තමන් වෙන කෙනෙක් වගේ කියනවට කවුද කැමති?
3. නංගි වාරියපොළ ද?
දැකලා තියෙනවා වගේ එකේ අනිත් කතාව තමයි මේක. විශේෂයෙන් බස් එකේදි හම්බුණ කෙල්ලෙක් ගෙන් මේ වගේ ප්‍රශ්න කොල්ලො අහනවා. මොකද, බස් එක යන රූට් එක දන්න නිසා අනිවා ගෙස් කරගන්න පුළුවන්. ටිකට් ගනිද්දි අහගෙන ඉඳලා හානේ නංගි එහෙද? කියලා කතාවට අල්ලගන්න අයත් බස්වල නැතුවම නොවෙයි. හැබැයි ඉතින් හොඳ ජාතියෙ කෙල්ලෙක්ගෙන් ඇහුවොත් නම් කුන්ෆු ෂොට් කෙසේ වෙතත් වාරියපොළ ෂොට් වලින් ලැබෙන්නත් පුළුවන්.
4. කෙල්ල දාලා ගියා නංගි

Source – youtube.com
දුක කියලා ඒ පිට දාලා අනුකම්පාව ඉල්ලගෙන ඒක මතින් ගොඩ යන උන් සෙට් එකකුත් ඉන්නවා. මුන් හරියටම දන්නවා දුක අහන ජාතියෙ කෙල්ලො. මුලින්ම යාළුවෙක් වගේ කතාව පටන් අරන් දවස් දෙකක් යන්නත් කලින් පොර මාතෘකාවට අවතීර්ණ වෙන්නේ “ඔයාට කොල්ලෙක් ඉඳලා නැද්ද?” කියලා අහන ගමන්මයි. කෙල්ල උත්තරේ දෙන්නත් කලින් මූ කලින් කාපු බූටත් රහ කරලා විස්තර කරද්දි කෙල්ලගෙ උණුවන බටර් හදවත නිසා සට සට ගාලා කඳුළු වැටෙනවා අයියා වෙනුවෙන්. ඕම තමයි ඒ ආදර කතාව පටන් ගන්නේ.
5. ඇයි නංගි අවුලකින්ද ඉන්නේ?

Source – Videoblocks.com
කලින් කියපු එකේම ඔපසිට් සීන් එක තමා මේ. නංගිලා අවුලෙන් ඉන්න ස්ටේටස් එකක් දාපු ගමන් සට ගාලා ප්‍රයිවට් මැසේජ් එකක් ගහන්න දුක්ගන්නාරාල අයියලා ටික සැදී පැහැදී ඉන්නවා. ඊට පස්සේ නංගිගේ දුක අහලා, ඔළුව අතගාලා, උම්මා දීලා ලස්සනට තමන්ගෙ පැත්තට සෙන්ටිමෙන්ටල් කරගන්න මේ අයියලා දස්සයි. හැබැයි ඉතින් වැඩේ පත්තු වෙන්නේ දුක අයපු කෙල්ලො සෙට් එකක් එකපාර හම්බුණොත් තමයි. මොකක් වුණත් හැබැයි මෙහෙම අයියලා “අනේ එයා හරී හොඳයි” කියලා තමයි නංගිලා හිතාගෙන ඉන්නේ.
6. මැසෙන්ජර් හිරවෙනවා නංගි. වට්ස්ඇප් නැද්ද?

Source – youtube.com
ෆේස්බුක් එකේ චැට් එක නැගලා යද්දි දැන් කොල්ලට නම්බර් එක අහගන්න ඕන වෙනවා. ඒත් මූට අවුල් කෙලින්ම නම්බර් එක අහන්න. ඇයි ඉතින් මේ වෙද්දි ඌ නංගිගෙ බොක්කෙ පරම පිවිතුරු අයියා වෙලා තමයි ඉන්නේ. ඒ නිසා නිකං නොදන්න තාලෙට කියනවා ෆෝන් එක ස්ලෝ නිසා වට්ස්ඇප් වලට හරි වයිබර් වලට හරි මාරු වෙමුද කියලා. කෙල්ලටත් මෙලෝ සිහියක් නැතුව නම්බර් එකත් දීලා දෙන්නා අන්තිමට කෝල් ගන්නත් පටන් ගන්නවා.
7. නංගි Lifie කියවනවද?

Source – pxhere.com
ඔය මොකක් හරි පොතක්, ෆිල්ම් එකක් බලලා තියෙනවද, වෙබ් සයිට් එකක් පාවිච්චි කරනවද කියලා කතාවට එන්ටර් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේක අහන උන් ඒ පොතේ කවරෙ සුවඳවත් දන්නෙ නෑ. හැබැයි ඒකෙම ෆිල්ම් එක බලලා තියෙන නිසා පොත කියෙව්වා වගේ ගේම ඇදගන්න පුළුවන්. කෙල්ලත් ඉතින් පොතට හෝ ෆිල්ම් එකට තියෙන ආසාවට නොදැනීම කතා පොතේ තිබුණු දේවල් එයාම කියද්දි කොල්ලට කියන්න තියෙන්නේ “ආ ඔව් ඔව් ඒ කොටස මරු නේද”’ කියලා විතරයි.
දැන් ඉතින් මේක කියවද්දි ඔය ළඟ හිටගෙන ඉන්න අයියා; මේ ලස්සන නංගිගෙ ෆෝන් එකට හොරෙන් එබිලා බලාගෙන ඉන්නෙ අන්තිමට “හානේ නංගිත් ලයිෆි කියවන කෙනෙක්ද?” කියලා අහගෙන ලඟින් වාඩි වෙන්න හිතාගෙන වෙන්නත් පුළුවන්.
Cover Image Source – wehearit.com
Leave a Reply