තායිලන්තය හා බුරුමය අතර තැනුන මරණයේ දුම්රිය මග

Death railway in Burma

දෙවන ලෝක යුද්ධයේ ජර්මානු පාර්ශවය සම්පූර්ණයෙන්ම නැවත මිත්‍රපාක්ෂිකයින්ට යටත් කරගන්නට හැකි වුවද එහි අනෙක් පස වූ ජපානයේ හිරෝෂිමා නාගසාකි නගර සුණුවිසුණු වන පරිදි පරමාණු බෝම්බ හෙලනතෙක් ජපාන අන්තය සම්පූර්නයෙන්ම සිය අණසකට යටත් කරගැනිමට මිත්‍රපාක්ෂික හමුදාවෝ අසමත් විය. අවසානයේ හිරෝෂිමා නාගසාකි  පරමාණු බෝම්බයෙන් සිදුවූ රුදුරු විනාශය හමුවේ ජපාන හිරෝහිතෝ අධිරාජයා යටත්වීමට තිරණය කලේය.

Death railway in Burma

Source – history.co.uk

1939-1945 කාලයේදී මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය, බුරුමය ආදී සම්පූර්ණ පදාසයම යටත්කරගනීමට ජපාන හමුදාවෝ සමත් විය. එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් ඇතුලු යටත්විජිත හිමිකරුවෝ සිංගප්පූරුව සහ මලයා ද්වීපය  රැකගැනීමට දරුණු උත්සාහයක් දරන ලද මුත් 1942 පෙබරවාරි 15 වැනිදා සම්පූර්ණ මිත්‍රපාක්ෂික හමුදාවට මලයාව අහිමි කරමින් එහි බලය ජපානය සතුකරගත්තේය.

 

1. මිත්‍රහමුදාවේ තත්ත්වය

Death railway in Burma

Source – twitter.com

පසුකලෙක මිත්‍රපාර්ශවික, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්ත, ඔස්ට්‍රේලියා, ඇමරිකා ආදී ජාතින් සදහන් කළ අන්දමට ඔවුන්ට නිවර්තන පරිසරයේ සටන් පිළිබඳ හොඳ පුහුණුවක් තිබුණේ නැත. මඩ වගුරු අධික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව සමග නිවර්තන පරිසරයේ තිබෙන ඝන කැලෑවන්හි සටන් කිරීමට යුරෝපියන් හුරු වී තිබුණේ නැත. මිත්‍රපාර්ශවික  හමුදාවෝ පවා එවැනි තත්ව යටතේ සටන් වලට  සූදානමින් සිටියේ නැත. එසේම එකල වර්තමාන ජාවා සුමාත්‍රා දූපත් ඕලන්දකාරයන්ටද මැලේසියාව, සිංගප්පූරුව සහ බෝනියෝ කොටසක් ඉංග්‍රීසින්ටද අයිති විය. මිත්‍ර හමුදාවෝද ඔවුනොවුන් අතරද ජපනාට එරෙහිවීම හැර හොඳ මිත්‍රධර්මයක් යුද්ධයට පෙර පැවතියේ නැත.

එවකට මෙම මලයාව කොටස ජපනාට සම්පූර්ණයෙන්ම නතුවිම කරණ කොට ගෙන අග්නිදිග සහ දකුණු ආසියාවේ මිත්‍රපාර්ශවික  ලෝක යුද මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ඊට ආසන්නයේම ඇති දිවයින වන ලංකාව තෝරාගන්නා ලදී. ජපනුන් ලංකාවේ වරායනට බෝම්බ හෙලන්නට කටයුතු කලේද මෙම මූලස්තාන වටිනාකම හඳුනාගත් හෙයිනි.

 

2. ජපනාගේ සමත්කම්

Death railway in Burma

Source – tomchessyre.com

ජපනුන්ගේ භූමියේ යුද්ධ පුහුණුව සවිමත් සහ ප්‍රබල එකක් විය. ඔවුන් නිවර්තන පරිසරයට හොඳින් පුහුණු වූහ. ඇතැම් අවස්ථාවන් වලදී ජපාන හමුදාවේ සංඛ්‍යාව අඩු වුවද නුපුහුණු ඉංග්‍රීසි ඕලන්ද හමුදාවන්ට වඩා ජපනා පරිසරයේ වාසිය ලබාගන්නට විය. කොටින්ම පාපැදි බයිසිකල් පවා යොදාගෙන බිම තරණය කිරීමට ජපනා යොදා ගෙන තිබුණි. ඒ ගැන පසුකලෙක සර් හැරල්ඩ් ආචල් නැමැති බිතාන්‍ය සෙබලකු සිය පොතකින් අදහස් දක්වා තිබේ.

 

3. යුද්ධ සිරකරුවන්

Death railway in Burma

Source – bbc.co.uk

ජපානයට යටත් වූ මලයා පදාසයෙන් අල්ලාගත් එක්ලක්ෂ හතලිස්දහසකට වැඩි යුධ සිරකරුවන් යහතින් ගාල්කර තබන්නට ජපන් හමුදාවෝ සිතුවේ නැත. ඔවුන්ගෙන් පිරිසක් තායිලන්තයේ සිට බුරුමය දක්වා වූ දුම්රිය මගක් තනන්නට බලෙන් වැඩට යොදාගත්තෝය. හරිහැටි ආහාර පාන බෙහෙත් නවාතැන් නොමැතිව දවස පුරාම වැඩකරන්නට වූ යුද්ධ සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙක් මරු වැළඳ ගත්තෝය. මෙම කලාපයේ සිර කදවුරු ආදියේ වූ මරණ ජර්මානු අන්තයේ සිරකඳවුරු වල සිදුවූ මරණ වලට වඩා 27.1 කින් වැඩි බැව් පසුකලෙක සනාථ වී තිබේ.

එක් අතකින් ආහාර හිඟතාවයය. අනෙක්දෙසින් බේත් හේත් නැති කමය, නවාතැන් පහසුකම් ඉතාම පහත් තත්වයේය, ඊටත් ඇතැම් බටහිර ජාතින්ට මැසිමදුරු කරදර සහිත නිවර්තන පරිසරයේ තත්වයන් බොහෝ ආගන්තුකය. මේ තත්වයන් යටතේ දී ගිරි දුර්ග ගල් වැටි කදුවැටි මතින් දුම්රිය මගක් ඉදිකිරීම වැනි රාජකාරියක්ද පැවරුන කල  එය දරාගන ජීවත්වීමේ වාසනාව හිමි වූ පිරිස ඉතා අඩු විය. දුම්රිය මග ඉදිකරන්නට අවසානයේ ඉතිරි වූ පිරිස ඇවිදින ඇටසැකිලි මෙන් වූද  ඉතාම කෘෂ වූ දුර්වල වූද  ජීවිතය පිළිබද අවසාන බලාපොරොත්තුවත් රුදුරු ජපනාට උරුම කර දුන් අය පමණක් විය. ඒ අතර සිය සගයින් ජිවිතය හැරයන කල ඔවුන්ට අවසාන ගෞරව දැක්වීමේ අවස්ථාවක් වත් බොහෝ යුද්ධ සිරකරුවන්ට ලැබුණේ නැත.

 

4. දුම්රිය මගේ වාසිය

Death railway in Burma

Source – pintarest.com

මෙම මරණයේ දුම්රිය මගේ දිග කිලෝමීටර 450කි. සමතලා බිමක නම් මෙවැනි මගක් ඉදිකිරීම විශාල අරුමයක් නොවේ. යුද්ධ සැපයුම් සහ ආහාර සැපයුම් මෙන්ම ප්‍රවාහන අවශ්‍යතාවයන් ගේ දුර්වලතාවය ජපානය යටත්කරගත් යටත් විජිත වල මූලික බාධාවක් විය. දෙවන ලෝක යුද්ධයේ ජපාන අන්තයේ වැඩිම පිරිසක් මිය පරලොව ගියේ යුද්ධය හේතුවෙන් අවි ආයුධ හරහා නොව ආහාර සැපයුම් නොමැතිව සාගතයෙනි.

යුරෝපයේ නම් එවකට බොහෝ රේල් පාරවල් මෙන්ම මාර්ගද මේ අග්නිදිග ආසියා කලාපයට වඩා හොඳින් පිහිටා තිබුණි. එහෙත් මේ තායිලන්තය මියන්මාර ආදී අග්නිදිග ආසියානු  කලාපයේ භූමි එකිනෙක වෙන්ව පිහිටි හෙයින් ගමනාගමන අපහසුව ජපාන අධිරාජය මුහුණ දුන් ප්‍රමුඛ බාධකයක් විය. හැරත් ඉන්දියාවේ ඇසෑම් කෙළවරට ළගා වී සිටි ජපාන හමුදාවන්ට බ්‍රිටිෂ් ඉන්දියාව නැමැති බ්‍රිතාන්‍යයේ මහා යටත්විජිතය ආක්‍රමණය කිරීමට නම් අඩුතරමේ හමුදාව සහ ආයුධ ටිකවත් ගොඩබිමින් ඒ දක්වා ප්‍රවාහනය කරගත හැකි විය යුතුය. ඒ අවශ්‍යතාවය පිණිස තැනූ මෙම රේල් මග දුෂ්කර කඳුකර බිම හරහා ඉදිකරන්නට සිදු වීය.

මෙහි වැඩට යෙදූ යුද්ධ සිරකරුවන්ගෙන් ජීවිත හානි ප්‍රමාණය අවම වශයෙන් දහසය දහසක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. එම මග තැනීමට යොදාගත් සාමාන්‍ය වැසියන් 80,000 වඩා වැඩි ගණනක් ද මියපරලොව ගොස් තිබේ. එයද නාම ලේඛන සහිත දත්ත නොමැති බැවින් මලයාවේ එවකට සිටි ස්වදේශිකයින්ද ඇතුලුව මියගිය ගනන මිටවඩා වැඩිවිය හැකි බැව් වාර්තා වලින් ප්‍රකාශ කොට තිබේ. මෙසේ මිය ගිය අය සාගතයෙන්, මැලේරියාවෙන්, කොළරාවෙන් සහ ආහාර හිඟකම සහ නිසි පැවැත්ම නැතිකමෙන් ඇතිවන රෝගාබාධ වලින් වැඩි වශයෙන් මියගොස් තිබේ.

 

5. අද දුම්රිය මග

Death railway in Burma

Source – krui.fm

මෙම දුම්රිය මගෙහි සිද්ධියක්  අලලා තැනූ  ක්වායි ගගේ පාලම  (The bridge on the river kwai ) චිත්‍රපටය රූගත කිරීම සඳහා අප රටේ කිතුල්ගල ප්‍රදේශය යොදාගන්නා ලදී. ඔරිජිනල්  ක්වායි පාලම තවමත් මෙම බුරුම තායි මරණයේ  දුම්රිය මගේ ඉතිරිව තිබේ. එය බලන්නට තවමත් සංචාරකයෝ ඇදි යති. තායිලන්තයේ බැංකොක් නුවර සිට කිලෝමීටර 130ක් දුර වූ තායි මියන්මාර බෝඩරයේ වූ කන්චන්බුරි දක්වා දුම්රියේ අදද ගමන් කළ හැකිය. එම දුම්රිය ගමනේ ක්වායි ගගේ පාලමද අයස්කාන්ත නැරඹුම් ස්ථානයක් ලෙස සංචාරකයෝ සලකති. කදුකර මගක තැනූ මෙම දුම්රියේ ගමන තායිලන්තයට පැමිණෙන සංචාරකයින් අතර ජනප්‍රිය එකකි.

 

6. එදා සහ අද

Death railway in Burma

Source – thesun.co.uk

එදා මළමිනී කඳු ගණන් ගොඩගසමින් තැනුණ මේ දුම්රිය මග මියන්මාරයේද ඉතිරි වූ මුත් නිසි නඩත්තු කටයුතු නොමැති බැවින් මියන්මාර් කොටස දැන් අකර්මණ වී තිබේ. එක්තරා කලෙක ජපනුන් යටත් කරගෙන සිටි කාලයේ ජපාන සිරකරුවන්ව සිටි කොරියා, චීන, ඉංග්‍රීසි, නෙදර්ලන්ත, ඇමෙරිකා, ඉන්දුනීසියා, තායිලන්ත ආදී බොහේ ජාතිකයන්ගේ ලේ කදුළු දහදිය මෙම රේල් මග පිණිස වැය වූයේ අඩුතරමේ නිසි පරිදි ආහාරපාන ටිකවත් නොලැබි වටපිටාවක් යටතේදීය. සුන්දර ගමනක් ලෙස අදද ජීවමානව මේ දුම්රිය මග ඇතත් එහි යට ඇති කතාව නම් කිසිසේත්ම සුන්දර අත්දැකිමක් නොවේ.

 
Cover Image Source – grasshopperadventures.com
 

One response to “තායිලන්තය හා බුරුමය අතර තැනුන මරණයේ දුම්රිය මග”

  1. […] දනී. මෙම සත්‍ය රේල් මග හැදින්වෙන්නේ මරනයේ රේල් මග(Death Railway)  යන නමිනි. කදු අතරින් ඉතා අපහසු […]

Leave a Reply

Your email address will not be published.