දේශපාලකයින්ගේ සුන්දර හීන සමගින් උදාවෙන තවත් අවුරුද්දක්

New year with lankan politics

වර්ෂයක් ගත වූ තැන පුද්ගලික වශයෙන් අපිට පසුගිය කාලයේදී අපිට සපුරාගත නොහැකි වූ ඉලක්ක ආදිය පෙලගස්වාගත හැකිය. එයින් අපි පෙර වර්ෂය ආරම්භයේදී පමණට වඩා තබාගෙන ඇති බලාපොරොත්තු අධ්‍යයනය කරගැනීමටත් ඒ ඔස්සේ නව මාවතකට ගමන් කිරීමේ හැකියාවත් ලැබේ. අපේ රටේද දේශපාලක කැල විසින් මහත් උනන්දුවෙන් පවසන තමුන් කරනවාය කියන දෑ කළේ ද නැද්ද? ඒවා කිරීමට ඔවුන් ගත් පියවර මොනවාද යන්න සොයා බැලීමට වර්ෂාවසානය හොඳ කාලසීමාවකි. මෙය වර්තමානයේ රට පාලනය කරන අය පමණක් නොව පෙර සිටි අය ගැනද සිතා බැලිය යුතු වකවානුවකි.

1. පරණ ණය සහ අලුත් ණය

New year with lankan politics

Source – wikipedia.org

තමුන්ගේ කාලයේ කරන ලද ව්‍යාපෘති ආදිය ඉලක්ක කරා ගමන් නොකරන කල ඒවායේ ණය ගෙවීමට සිදුවන්නේ රටවැසියන්ගේ බදු මුදල් වලිනි. උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය ඉදිවී එහි ව්‍යාපාර කටයුතු සාර්ථකව මහා පරිමාණයෙන් ඇරඹෙන්නට බොහෝ කලකට පෙර විවෘත කරනු ලැබූ මත්තල ගුවන් තොටට ගිය වියදම කෙසේ නැවත ආදායමක් ලෙස ලබාගන්නේ දැයි එම කාලයේ ඉදිකිරීමට මැදිහත් වූ පාර්ශව වලින් වත් පැහැදිලි උත්තරයක් නැත. අපිට තිබුණා නම් අපි කොරල ගන්නවා යනු පැහැදිලි උත්තරයක් නොවේ. සාර්ථක ව්‍යාපෘතියක් නම් එය කවර කාලයකදී ඇරඹුවත් එහි ඉලක්කගත ප්‍රතිඵල ලැබිය යුතුය. වර්තමානයේද සුවිසාල මුදල් වියදම් කර ව්‍යාපෘති ඉදිකිරීම් ආරම්භ කරන විට විශාල ප්‍රතිලාභ ඇතැයි අතිශයෝක්තියෙන් දක්වනු පෙනේ. එහෙත් ඒවා සැබැවින්ම ලැබෙන්නේ නැති කල ඒවාද අනාගතයේ අපේ ණය පත්‍රයටම එකතු වෙනු ඇත.

 

2. හොරු ඇල්ලීම

New year with lankan politics

Source – newsfirst.lk

වත්මන් රජය පත්වන්නේම පැවති රජයේ මහාපරිමාණ දූෂණ ගැන සුන්දර කතා කියමිනි. එහෙත් නිවැරදිව එම වංචා දූෂණ සොයන යාන්ත්‍රනයක් වත් ඒ වංචා කරන අයට දඩුවම් කරන යාන්ත්‍රණයක් වත් නැත. මූල්‍ය වංචා දූෂණ ආදියේදී කිසිවෙකු ඔන්න මම වරද කලා යැයි පිලිගන්නේ නැත. එවැනි වටපිටාවකදී ඒ මූල්‍ය වංචා හසුකරගන්නා තාක්ෂණික ක්‍රමවේද තිබේ. ඔස්ට්‍රේලියාව වැනි රටවල කුමන පුරවැසියෙකු වුවද එක්තරා සීමාවකට වඩා ඉපයීමක් කරන කල ඒ වැඩි මුදල් වලට අතිවිශාල බදු මුදල් එකතු වේ. එහි පරිගණක පද්ධති මගින් පුද්ගලයින්ගේ සියලු ආදායම් එක්තරා ප්‍රමාණයකට ගණනය කළ හැකිය. අප රටේද දේශපාලකයින් නිලධාරීන් ඇතුලු සියලු පුද්ගලයින්ගේ වත්කම් සහ ආදායම් එක් රාමුවකට ගත හැකි නම් එවිට ආදායම් විශාල වශයෙන් ලබන අයගැනවැඩි අවධානයක් දිය හැකිය.

එසේම අප රටේ පරීක්ෂණ කෙරෙන යාන්ත්‍රණ දෙස බලන කල වංචා දූෂණ නඩු හබ ආදිය ඉඩම් නඩුමෙන් ඇදි ඇදී දිගින් දිගටම ගමන් කරයි. එවා කඩිනම් කරන්නට නව ව්‍යුහයන් ස්ථාපනය කරන්නේ නැතිව දේශපාලන වේදිකාවල මහ සද්දෙන් කෑ ගැසුවාට පමණක් හොරු ඇල්ලෙන්නේ නැත. රජය දෙසින් මහා පරිමාණ වංචා දූෂණ සිදුවන කල මහජනයාද රජයේ අසුවල් ඇමති ගොල්ලා නිලධාරි ගොල්ලාමෙච්චර කනවා අපි ටිකක් කෑවාට මොකද යැයි මතයක් කරා සෙමෙන් සෙමෙන් ඇදී යයි. රජයේ ප්‍රබල පාර්ශව වලට එල්ලවී ඇති චෝදනා විභාග නොකර ඒවා ඉබිගමනින් යන ගමන් වංචාව දූෂණය භීෂණය නැතිකරනවා යනු හොඳ විහිලු කතාවකි.

 

3. ආයෝජන ගේනවා රස්සා දෙනවා

New year with lankan politics

Source – youtube.com

රජතුමා අන්දරේට ගවයින්ට සී සාන්නට එන්න කියන්නැයි කී විට අන්දරේ කෙලින්ම ගවයන් අසලට ගොස් ඔන්න එහෙනම් අපි අසුවල් දවසේ නැකතට හානවා. ඕ ගොල්ල එන්න ඕනි යැයි ගවයින්ට කිවේය. ඉන් පසු ගවයෝද හිස වනමින් එන බව අනුමත කළෝය. නැකත් දවස උදාවිය. අන්දරේ එන්න යැ කියූ එකදු ගවයෙක් හෝ සී සෑමට පැමිණ සිටියේ නැත.

අප රටේ ලොකු ලොකු උදවිය පිටරට ගිය විට විදෙස් ආයෝජකයින් සමග ලංකාවේ එතුමා කතා කළාය. ඒ රටවලින් ආයෝජකයෝ අච්චර මෙච්චර එන්න කැමති වුණාය කියලා නිතරම ප්‍රවෘතිත් පත්‍ර වල පල වේ. එහෙත් ඒ එනවා යැ කියන ආයෝජකයෝ අර අන්දරේ එන්න කී කල ඔලුව වැනූ ගවයින් මෙන් ඔලුව වැනුවාට මෙහි එන්නේ නැත. ව්‍යාපාරයක් ඇරඹීමට පහසුකම් ලබාගැනීම අතින් පහසු රටවල් වර්ගීකරණයක් ලෝක බැංකුව මගින් ඉදිරිපත් කර තිබේ. ඉඩකඩම් සපයා ගැනීම, දුරකථන විදුලිය ලබාගැනීම, සමාගම් රෙජිස්ටර කිරීම ආදී ව්‍යාපාරය මුලික දේ සොයාබැලෙන ඒ ඩුයින් බිස්නස් වර්ගීකරණයේ ලංකාව ඇත්තේ ඉන්දියාව සහ නේපාලයටත් වඩා පහල 111 වන ස්ථානයේය. එනම් මෙහි ආයෝජනයක් කිරීම සාපේක්ෂව අමාරු කාරියකි. විදුලි බිල අතින් ලංකාව යනු කලාපයේ වැඩිම විදුලි බිලක් ලැබෙන රටකි.  ආයෝජකයින් පැමිණීමට නම් අප රටේ ඒ සදහා සුදුසු වටපිටාව සැකසිය යුතුය. අඩුතරමේ විදුලිය, දුරකථන පහසුකම් සතියකින් ලබාගැනීම වැනි දෙයක් වත් අප රටේදී නිසි අයුරින් සපිරෙන ආකාරයක් නොපෙනේ.

 

4. ට්‍රැෆික්

New year with lankan politics

Source – dnaindia.co.in

අපි දැන් මෙට්‍රො රේල් එකක් දානවා. අපි ඉන්නේ පානදුර රඹුක්කන රේල්ලුව ඉලෙක්ට්‍රිෆයිඩ් කරන්න, කැළණිවැලි පාර අලුතින් හදලා ඉක්මන් කෝච්චි දානවා, ආදී කතාන්දර අපිට පසුගිය වසර පුරාම අසන්නට ලැබුණි. ඒ අතර ක්‍රියාත්මක වූයේ කෝට්ටේ ගුවන් පාලම ඉදිවීමත් කැළණිවැලි රේල් මග ඉදිවීම ඇරඹීමත් පමණි. කොළඹ නගරයේ ට්‍රැෆික් අඩු කිරීමට ලයිට් රේල් පද්ධතියක අවශ්‍යතාවය දැඩිව දැනෙමින් පවතී. පාරවල් පුළුල් කිරීම, ගුවන් පාලම් හෝ උමං ඉදිකිරීමට වඩා ලයිට් රේල් ලාබදායී බව කියන්නේ රජයේම මෙගාපොලිස් ව්‍යාපෘති කරන අයය. එහෙත් ප්‍රසන්ටේශන් විනා තවමත් එවැනි කොළඹ ට්‍රැෆික් අඩුකරන ලයිට් රේල් සැලැස්මක් මහපොලවේ ඉදිවන තැනක් නම් ඇරඹී නැත.

 

5. දේශපාලනය කතා කිරීම

New year with lankan politics

Source – dailymirror.lk

අප රටේ දේශපාලනය යනු සෑම මාධ්‍යයකම වැඩි ඉඩක් වෙන්වෙන අංශයකි. එහෙත් 2017 ටත් පෙර දේශපාලකයින් කරනවාය, වෙනස් කරනවාය කියූ දේ තවමත් එතැනමය. බලු පොර කුකුල්පොර වැනි දේශපාලන රණ්ඩු දබර නම් පාර්ලිමේන්තුවේද? ප්‍රසිද්ධ වේදිකාවන්හිද? මාධ්‍යයන්හිද නිතර සිදු වේ. එහෙත් ඒවායේ අවසානයේ අපිට ඉතිරි වී ඇත්තේ බලාපොරොත්තු ගොන්නක් පමණි. විරැකියාව, තරුණ අසහනය, අනවශ්‍ය මාර්ග තදබදය, මූල්‍ය අක්‍රමිකතා ආදිය මෙන්ම ක්ෂේත්‍ර වශයෙන් ගත්තද බොහෝ අමාත්‍යාංශ විෂය ක්ෂේත්‍ර වල ඉදිරිගමනක් පෙනෙන්නට නැත. සැබැවින්ම වර්ෂයක් පුරාවට පුවත් පත් පිටු ගණන්, ගුවන් කාල පැය ගණන් දේශපාලනය වෙනුවෙන් කැපකිරිම් අවසාන ප්‍රතිඵලය ඉතා ස්වල්ප වෙනසකි. එය කන්දක් විලි ලා මී පැටියෙකු වැදීම හා සමාන ක්‍රියාවකි.

 
Cover Image Source – indi.ca / knowyourmeme.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *