කලකට පෙර බස් රිය වල පාපුවරුවේ ඇම් ඇම් ඕගනයිශේෂන් එකෙන් අලවපු ස්ටිකර් එකක මෙන්න මෙහෙම කවියක් තිබුනා.
අප හට සිදුවේය ලොකු ලොකු දඩ කන්න
සෙසු සැමදෙනා හට සිදුවෙයි තෙරපෙන්න
ඔබගේ පොකැට්ටුව ඉඩ ඇත නැතිවෙන්න
ඇතුලට ගිහින් දොරටුව ලග ඉඩ දෙන්න
ඔය විදියට බස් රියේ තරමක් ලොකු අකුරින් ගහල තිබුණත් අපේ අය නම් ඒවා බලලා කාරිය ෆුට් බෝඩ් එකේ නොයා ඉදීවිද? හරියට ගාන්ට තිතට අනික් අයට ඉඩදීල ඇතුලට යාවිද? නෑනේ. බස් රියක නම් ලාංකික කොන්දොස්තර මහත්වරුන්ගේ එක වගකීමක් තමයි මගීන් පිලියෙල කිරීම. පේලි විදියට ගාණට පැක් කරගෙන තවත් ඉඩ තිබේනම් ඒ තැන්ද පුරවාගෙන යාම තමයි කොන්දොස්තර මහතාගේ මූලික අරමුණ. ඒත් කොච්චියේදී ඒ විදියේ බලෙන් ඇතුලට යවන්න දොර ගාව කොන්දොස්තරලා නෑහැ. ෂර්ට් එකේ පාට පෙන්වලා හැරෙන්න පෙරලෙන්න සයිඩ් වෙන්න කකුල් ගන්න කියන්න කෙනෙක් කෝච්චියේ නැහැ. ඉතිං අපි බලමු කෝච්චියේ වැඩිපුරම ජනතාව යන්න කැමති තැන් ගැන.
1. පය පා පුවරුවේ හිස කඳ නිතර එලියේ
පාපුවරුවේ ගමන් කරන්නට කැමති පිරිසක් සිටියත් මේ පිරිසට ඊටත් එහා ගිහින් පාපුවරුවේ එක් පයකින් පමණක් වාරු වී අතින් බාර් එක අල්ලාගෙන දුම්රියට සිය දායකත්වය අඩුවෙන් ගමන් යන්නට කැමති පිරිසකි . උදෑසන සහ සන්ධ්‍යාවේ දුම්රියේ තිබෙන තදබදය එක්ක ඇතුලේ මහ පුදුමාකාර ඌෂ්ණයක් ජනනය වෙනවා. ඒ අස්සේ දුම්රිය සිග්නල් නැතුව නැවතුනොත් තව ටිකක් ඇගට අමාරුයි. ඉතිං ඒ නිසා හුලං වැදි වැදී ෆුට් බෙෝඩ් එකෙන් එලියේ යන්න ඇතැම් අය සිතනවා. සමහර අය නම් කොපමණ කල් වුවත් වඳුරා නොයේ බිම නම් ආදී ලෙස සිය ගමන ෆුට් බොඩ් එකෙන් ඇතුලට නම් පය තබන්නට කැමති නැහැ.
2. සීට් වලට පෙරුම පුරන්නෝ
ආසන වලට වැඩිම මනාපයක් දක්වන්නේ කාන්තා පාර්ශවය. විද්‍යාත්මකව ගත්තා වුණත් ටිකක් බර උකුල් පෙදෙසක් හිමි කාන්තාවන් වාඩිවී සිටීම ඇගේ බර දරාසිරීමට වඩාත් උපකාරී වෙනවා. කාර්යාල දුම්රිය වලනම් බහින අය සහ ස්ථාන හොදින් දන්නා නිසාත් දන්නා අඳුරන අය නිතර සිටින නිසාත් මාරුවෙන් මාරුවට වාඩි වී යන අවස්ථාද තිබෙනවා.
3. අපි ඉන්නේ පෙට්ටිය අතරේ
කෝච්චියෙ සෙනග අම්බානක වැඩිවෙලා තව ටිකක් වැඩි වුණාම යන්නම තැනක් නැති වුණාම කෝච්චියේ තිබෙන ඇණ මුරිච්චි වල පවා එල්ලිගෙන ජනතාව වැඩට යන්නේ තමුන් ම පත්කල මහජන නියෝජිතයින්ගේ නෑදෑ සනුහරේම මතක් කරමින්. ඒ වැනි අවස්ථාවල දුම්රිය මැදිරි දෙක අතර පිටතින් පවා ජනයා එල්ලී යනවා.ඒ වගේම මෙම පෙට්ටි දෙක අතර තිබෙන චලනය වන තරමක් අවදානම් ස්ථානයේ දුම්රිය ඇතුලේ ගමන් කරන්නත් ආස අය සිටිනවා. ඔවුනට අනුව එතන වැඩි තෙරපුමක් නැති සාමකාමී ස්ථානයක්.
4. දොරටුපාලයෝ
ඇතුල ඉඩකඩ තිබුණත්
යන්න කොපමණ සිටියත්
දොරටුව ලගින් යෑමක්
වගේ ගිලිහෙනු ඇගෙන් ඇටයක්
ඒ ආකාරයෙන් නැග්ග වනම දොරටුව අසල සිටගත් තැන පටන් සිය ගමනාන්තය කොපමණ දුර වුවත් දොරටුව ලගින් නොසෙල්වෙන කණ්ඩායමක් ද දුම්රිය වල ගමනේ යෙදෙති. ඇතැම් විට එසේ යන්නේ පෙර කීවාක් මෙන් දොරටුව ලග සනීප සුලං වදින නිසාද වන්නට හැකිය. එහෙත් ඇතැම් දරදඬු අය බහින නගින අයටද තදබල ඇණයක් වෙමින් එලෙස දොර ලග ගැවසීම නම් පුදුම කරුමයකි.
5. එල්ලී යන්නෝ
දෑත් දෙකම දුම්රියේ වහලේ වූ බාර් වලට හෝ ආධාරක වලට කැප කරමින් දෑතින්ම එල්ලී යන්නෝද දුම්රියේ වෙති. ඔවුන් වඩාත් කැමති ඉරියව්ව එල්ලී යෑම වේ. ඔවුන් එසේ යන්නේ ඇතැම්විට කරන්නටම දෙයක් නැතිනිසා වන්නටද හැකිය. දුම්රිය ගමන බස්රිය තරම්ම ගැස්සීමක් නැති වුවද ඇතැම් දුර්වල මාර්ගවල සහ පැරණි පෙට්ටිවල ගැස්සීම සාපේක්ෂව වැඩිය. එමනිසා ඇල්ලීමකින් හෝ එල්ලීමකින් තොරව දුම්රියේ යෑම ඇතැම් අවස්ථාවලදී අපහසුය.
6. කම් සැප සොයන්නෝ
දුම්රිය නිතර යන කාන්තාවක් වෙත් නම් සහ ඇය යනෙන දුම්රිය තෙරපීමෙන් යන්නේ නම් ඔවුන්ට කිහිප වතාවක් හෝ මෙවැනි කම් සැප සොයා ස්ත්‍රී සිරුරු වලට නැඹුරු වන පුරුෂයන් හමු වී තිබේ. ඇතැමුන් තද වන දුම්රියකට නැගි වනම තම මිතුරකු හිතවතකු සිටිනවාදැයි බලනවාක් මෙන් ස්ත්‍රීන් සිටිදැයි බලති. ඉන් පසු ඒ තැන්වලට ගොස් කෙසේ හෝ යමක් වදීවි යැයි බලාපොරොත්තුවෙන් ගැස්සෙමින් කල් ගත කරති. මෙය ඇතැම්විට දුරදිග ගොස් කෝච්චි තරමට දීර්ඝ රණ්ඩු දබර දක්වාද දිව යන කතන්දර බවට පත් වේ.
අසුනක් ලබාගෙන විවේක සුවයෙන් සතුටු සාමීචියෙන් දුම්රියක ගමන් කිරීමේ අවකාශය අප රට බොහෝ දුම්රිය මගීන්ට හිමි නැත. විශේෂයෙන් කාර්යාල වැඩට නික්මෙන පිරිස් බොහෝවිට යන්නේ තෙරපෙමින් මිරිකෙමින් අපහසුතාවයන් මධ්‍යයේය. මෙවන් වූ තද වටපිටාවන් වල වුවද ක්‍රීඩා කරමින්. සතුටු සාමීචියේ යෙදෙමින්, විහිළු තහළු කරමින්, දේශපාලනය කතා කරමින් විනෝදයෙන් ගමන් කරන පිරිසක්ද දුම්රිය වල යති. කෙතරම් අප්‍රිය වුවත් අප අයට අනුගත වුණේ නැතොත් අපිට සෑම දිනකම එය අප්‍රසන්න අත්දැකීමක් වේ. එම නිසා අපහසුවෙන් වුවද යන්නට දුම්රිය සේවයක් තිබීම ගැන සිතා හෝ අපි සතුටු විය යුතුය.
Cover Image Source – blogs.reuters.com
Leave a Reply