අපි කාටත් ඉතින් ලෝකේ හොඳම කාන්දම වෙච්ච ඇඳෙන් උදේට නැගිටිනවා කියන්නේ පට්ට ගේමක් දෙන්න ඕන වැඩක්. හැබැයි ඉතින් ඒ සැප තව තත්පරයක් හරි විඳිනවා කියන්නේ ලොක්කාගෙන් සැප කණේ හිටින්න අහගන්න වෙනවා කියලා මතක් වුණාම තමයි බාගෙට හරි නැගිටින්න හිතෙන්නේ. මෙහෙම දවසට එළාම් එක ඕෆ් කරලා ආයෙ නින්ද ගියොත් නම් ඉතින් පුතේ අබසරණයි. ඔන්න එහෙම වුණාම ඇඟ බේරගන්න පුළුවන් හොඳ හේතු 10ක් අපි ඔබට ගෙන එනවා.
1. බයික් එක කැඩුණා

Source – wanderingon.com
වාහනේකින් වැඩට යන ඕනම කෙනෙක්ට මේ හේතුව නම් කියන්න පුළුවන්. ඔබ වැඩ කරන්නේ වාහන රෙපයාර් කරන තැනක නෙවෙයි නම් “බොස් අද වාහනේ කැඩුණානේ” කිව්වාට ඒකට ඔබට සමාව නොදී ඉන්න කොහොමවත් බැහැ. එහෙම කිව්වාම පරක්කු වෙලා නැගිටලා වැඩට එන්න ගතවුණු පැය ගණන කවර් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් නිතර නිතර මෙහෙම ඔබේ වාහනේ කැඩෙනවා නම් ලොක්කාට ඇහෙන්න ගරාජ් එකකට කෝල් කරනවා වගේ “තාම වාහනේ හදලා නැද්ද? හැමදාම ඕක කැඩෙන්න හේතුව හොයාගන්නවා!!” කියලා සද්දෙට කියන්නත් පුළුවන්.
2. බස් එක නැවැත්තුවේ නෑ, කෝච්චිය පරක්කු වුණා

Source – grantmagazine.com
පොදු ප්‍රවාහන සේවයේ එන අයට නම් ගින්නක් නැතුව මේ බෝලේ ලොක්කාට බස්සන්න පුළුවන්. මොකද, ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අංක එකට තියෙන නිසා රේස් යන්නේ නැති හැම හෝල්ට් එකකම නවත්වන සහ නගින-බහිනකම් ආදරෙන් නවත්තාගෙන ඉන්න බස් වගේම හරියට වෙලාවට තිතටම ඇවිත් ඉස්ටේසමේ නවත්තන කෝච්චි තියෙනවා. ඉතින් ලොක්කාට ඒකට මුකුත් කියන්න බෑ. “මං උදෙන්ම ආවා සර්, ඒත් දන්නැද්ද මේ කෝච්චි ස්ට්‍රයික් නේ. උදේ තමා දන්නේ”
3. එළාම් එක වැදුණේ නෑ

Source – giphy.com
එළාම් එක තියන ඔරලෝසුවේ බැටරි බැහැලා හෝ ෆෝන් එකේ වෙලාව තිබ්බාට වැදුණේ නෑ කියලා වුණත් ඇඟට පතට නොදැනී කියන්න පුළුවන්. හැබැයි ඉතින් හැමදාම මේ බොරුව නම් වලංගු වෙන්නේ නෑ. මාස දෙකකට සැරයක් වගේ ෂේප් වෙන්න මේකත් හැබැයි නරකම නැහැ. “ඊයේ රෑ එළාම් එක තියලා නිදාගත්තේ. උදේ බලනකොට ෆෝන් එක ඕෆ් වෙලා. චාර්ජ් කරන්න අමතක වුණානේ බොස්” කියලා ෆෝන් එකට වැරැද්ද පැටෙව්වාම හරි.
4. ට්‍රැෆික් එකට අහුවුණා

Source – informedinfrastructure.com
ළඟදී බස් ලේන් එකකුත් අපිට හඳුන්වා දුන්නේ ලංකාවේ ට්‍රැෆික් බොහොම වැඩි හින්දානේ. ඕනම රටක මේ ප්‍රශ්නය තිබෙනවා. හැමෝම නිදාගෙන-නිදාගෙන පාරට බහින්නේ එකම වෙලාවට. හැබැයි ඉතින් තවත් පැයක් දෙකක් විතර නිදාගෙන වැඩට ගිහින් ට්‍රැෆික් එකට අහුවුණා කියලා ෂේප් වෙන්නත් පුළුවන්. මේක නම් නිතර කියන්න වුණත් එච්චරම අවුලක් වෙන්නේ නැහැ. “අම්මෝ බොස් ට්‍රැෆික් එක තිබුණා මේම මේම. පස්සේ මම බස් එකෙන් බැහැලා ටුක් එකක් අරගෙන මිනිහාට කෑ ගැහුවාම තමයි එහෙන් මෙහෙන් දාලා මේ වෙලාවට හරි එක්කගෙන ආවේ. ඒකට වැඩිපුරත් ගාණක් ගියා බොස්”
5. යතුර/පර්ස් එක නැතිවුණා

Source – medium.com
වාහනේක යන කෙනෙක්ට නම් මගේ යතුර නැතිවෙලා කියලාත්, බස් එකේ යන අයට පර්ස් එක නැති වෙලා කියලාත් හේතුවක් හදාගන්න පුළුවන්. මොකද, කලින් දවසේ ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුණු නිසා එන්න රෑ වුණාම මහන්සියට ඇවිත් ඒවා තියපු තැන අමතක වෙනවානේ. (එහෙම කිව්වාම ඊයේ වැඩ කළා කියලාත් ලකුණු දාගන්න පුළුවන්) ඊට පස්සේ අද උදේම ලැහැස්ති වෙලා එන්න හදද්දී තමයි මතක් වෙන්නේ ඒක කොහේ තිබ්බාද කියලා. මොකද ඉතින් පර්ස් එක නැතුව බස් එකේ ටිකට් ගන්නත් බෑ, යතුර නැතිව වාහනේ ස්ටාට් කරන්නත් බෑ. සමහර වෙලාවට බල්ලා හෝ දරුවෙක් හංගලා කියලා එයාලාට වරද පටවන්නත් පුළුවන්.
6. දරුවා ඉස්කෝලේ දාලා එද්දි පරක්කු වුණා

Source – today.com
දරුවෙක් ඉන්නවාද නැද්ද කියලා වත් ලොක්කා දන්නේ නැත්නම් නොබැඳපු අයට වුණත් මේක කියන්න පුළුවන්. (හැබැයි පස්සේ කාලෙක මාට්ටු වුණොත් ඩිවෝස් වුණා කියලා තව බොරුවක් කියන්න වෙනවා.) ළමයින්ගේ කරදර ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. එයාලා උදේට නැගිටින්නේ නැහැ (ගහේ කටු උල් කරන්න ඕනයැ?), තනියම ලැහැස්ති වෙන්නේ නැහැ, කවන්න ගියාම කරදරයි, එන්න හදනකොටම යන්න එපා කියලා ඇඬුවා ආදී වශයෙන් නානාප්‍රකාර බොරු ළමයින්ව පාවලා දීලා කියන්න පුළුවන්. බොසාටත් පොඩි ළමයි ඉන්නවා නම් වැඩේ තවත් ලේසියි.
7. ගෙදර හදිස්සියක් වුණා

Source – youtube.com
වයිෆ් මොකක් හරි එකකට බර බරේ දානවා කියලා හරි, ගෙදර කෙනෙක් උදේම ලෙඩවෙලා බෙහෙත් ගන්න ගියා වගේ බොරුවක් වුණත් ඉඳලා හිටලා කිව්වාට අවුලක් වෙන්නේ නෑ. සමහරවිට වයිෆ් උදේ උයන්න හදද්දී ගෑස් ඉවරවුණ බව දැකලා උදේම ගෑස් එකක් ගන්න යන්න සිද්ධ වෙන්නත් පුළුවන්. මේ වගේ ඕනතරම් දේවල් ගෙදර සිද්ධ වෙන්න ඉඩ තියෙන නිසා බොරුවක් කියලා කොහෙත්ම විශ්වාස කරන්න බැහැ. හැබැයි ඉතින් කෝකටත් එහෙම එකක් කිව්වා කියලා ගෙදර දැනුවත් කරලා තියන එකත් ඇඟට ගුණයි.
8. බල්ලා මැරුණා

Source – pintarest.com
තමන් ගොඩක්ම ආදරේ කරපු සුරතල් සතෙක්: බල්ලෙක්, පූසෙක් විතරක් නෙවෙයි සමහරවිට ගොඩාක් දුරින් ඥාති වෙන සීයා කෙනෙක්ට වුණත් (සමහරවිට එහෙම කෙනෙක් නොහිටියත්) මරණ සහතිකයක් හදලා දීලා පරක්කු වුණ එකට හේතුවක් හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඥාතියෙක් මළා කියලා කියලා බොසා මුළු ඔෆිස් එකත් එක්කම මළ ගෙදර එන්න හැදුවොත් වැඩිය තියාගන්න එපා එදාම අවසන් කටයුතු කරන්න කියලා ඒ සීයා අන්තිම කැමති පත්‍රයේ ලියලා තිබුණා කියලා තව බොරු දහයක් විතර කියන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඊට වඩා ලේසියි පණ වගේ හිටපු පූස් පැටියා උදේ නැගිටිද්දි ඇස් දෙක උඩ ගිහින් කට ඇරගෙන සාලෙ මැද්දෑවෙ ඉන්නවා දැක්කා කියන එක.
9. හරකෙක් වාහනේ වැදුණානේ

Source – youtube.com
පාරේ යන කෙනෙක් වාහනේ වැදුණා කිව්වොත් ඒකට තව අතුරු ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඒ නිසා හරකෙක් වැදුණා කියලා ෂේප් එකේ බෝලෙ බස්සන්න පුළුවන්. හැබැයි ඉතින් වැදිච්ච පාරට වාහනේට මුකුත් ඩැමේජ් එකක් නෑ කියන්න හෝ ගරාජ් එකට දාලා ටික දවසක් බස් එකේ තමයි එන්න වෙන්නේ කියලා හරි කියන්න පුළුවන්. පොදු ප්‍රවාහන සේවයේ එන අයට නම් ඒත් මේක කියන්න ලේසියි. “ඌ හරකෙක් වගේ පාර පැන්නානේ සර්” කියලා විහිළුවකින් ම කියලා ඕන නම් “පව් අසරණ සතා. මං හරක් මස් කන්නෙත් නෑනේ. උගේ කරුමෙම තමයි” කියලා තව ආඩපාලියක් කියන්නත් පුළුවන්.
10. දවල් වෙනකම් නින්ද ගියා

Source – youtube.com
ආත්මගරුත්වය කියලා එකක් නැත්තටම නැතිනම් ඇඟට පතට නොදැනී ඕන එකක් කියලා ඇත්තම කතාව කියන්නත් පුළුවන්. හැබැයි ඉතින් බස් එකේ එද්දි නින්ද ගිහින් හෝල්ට් 4ක් පහක් ගිහින් තමයි ඇහැරුණේ කියලා වුණත් ෂේප් එකේ කියන්න පුළුවන්. කලින් දවසේ පිරිත් ගෙයක් තිබුණා, පන්සලේ පින්කමකට උදව් කළා වගේ (රෑ පාටියකට ගියත් මෙහෙම තමයි කියන්න ඕන) දේවල් නිසා එළාම් එක ඇහෙන්නෙත් නැතුවම නින්ද ගියා කියලා ලොක්කාගෙන් බැණුම් අහන්න වෙන එක නවත්ත ගන්න පොඩි ගේමක් ගහන්න ඕන.
Cover Image Source – wikipedia.org/ youtube.com/ alltop10.com
Leave a Reply