ෆිල්ම් සහ කාටූන්වල අපිට මතක හිටින චරිත අතරේ ඉන්න අමතක නොවන රහස් පරීක්ෂකයන් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ. මේ අය හිනා යන දේවල් කරන අය වෙන්න පුළුවන්. හැබැයි මොනවවුනත් ඒ අය රහස් පරීක්ෂකයො කියල අපිට භීතිය ත්රාසය විතරක් දීලා නෑ, ඒ අය අතරින් සමහරු අපිට විශේෂ වෙන්නෙ ඒ අය දීපු හිනාව නිසායි. ඒ වගේම මෙතන රහස් පරීක්ෂක ලෝකයේ අති දක්ෂයො දෙදෙනෙකුත් ඉන්නව. ඔවුන් හැමෝම එකවගේ අපේ හිතේ රැෙඳෙන්න ඒ ඒ අයට තියෙන විශේෂිත ගුණයකුත් තියෙනවා.
1. ලී සහ කාටර්
චීනයෙන් එන රහස් පරීක්ෂක ලීට උදවුවට ඇමරිකාවෙන් දෙන පොලිස් නිළධරයා තමයි ජේම්ස් කාටර්. කාටර් සහ ලීගේ විහිළු සහත එහෙත් කුතුහලය සහ සටන් පිරි චිත්රපට පෙළ තමයි රෂ් අවර් කියන්නෙ. ෆිල්ම් සීක්වල් තුනක් තියෙනවා වගේම ඒ තුනට තව එකක් එකතු වෙන්නටත් නියමිත කතාවකුත් තියෙනවා. තමුන්ට ලැබෙන පොදු වැඩකදි මුලින්ම මුහුණට මුහුණ හමුවුනත් ඔවුන් අතිශය කිට්ටු මිතුරන් බවට පත්වෙන්නෙ කතාවෙ රසය වැඩිකරමින්මයි.
2. ෂර්ලොක් හෝම්ස්
දැනට කතාවකින් ආපු සුපිරිතම රහස් පරීක්ෂකයා. අතින් පයින් නෙමෙයි. මොලෙනුයි ගේම ගහන්නෙ. නියම නීරීක්ෂණ හැකියාවක් සහ විචක්ෂණශීලී බුද්ධියක් හිමි ෂර්ලොක් හෝම්ස් නිර්මාණ හැම එකක්ම වගේ ජනප්රිය වුණා. ඒ වගේම රොබට් ඩවුනි ජූනියර් රඟන චිත්රපටයත් ඉතා ඉහළින් ප්රේක්ෂකයන් වැළඳගත්තා. හැම විනාඩියකම කතාවේ තියෙන කුතුහලය වැඩිවීම හෝම්ස් චරිතයට මිනිසුන් ආදරය කරන්නට හේතුවක් වුනා.
3. ස්කුබි ඩූ ගැන්සිය
කොල්ලො දෙන්නයි කෙල්ලො දෙන්නයි කතා කරන බල්ලෙකුයි එක්ක මිස්ටරි වෑන් එකක නැගල ගිහින් භූතයො වගේ වෙස් වලාගෙන අපරාධ කරන අයගේ ඇත්ත මූණු ලෝකෙට පෙන්වන කල්ලිය තමයි අපේ ඊලඟ කට්ටිය. කෑමට පෙරේත දෙන්නෙක්, ෆැෂන්වලට ආස කෙනෙක්, නිර්භය කෙනෙක් සහ හැමවිටම තර්කානුකූව නිගමනවලට එන කෙනෙක් එක්ක හැදුණු මේ කණ්ඩායම දිහා බලන එකම රස ගුලාවක්.
4. ජේම්ස් බොන්ඩ්
ෆිල්ම් ලෝකෙ තාක්ෂණය, බුද්ධිය වගේම සටන් හැකියාවන් ඇති සුවිශිෂ්ටම රහස් පරීක්ෂකයා කවුද කියල ඇහුවොත් ඒ ඉතිං බොන්ඩ්… ජේම්ස් බොන්ඩ්. මත්පැන් බොන, ගැහැණුන් වසඟයට ගන්න දුෂ්ඨ වගේ පෙන්නලා දුෂ්ඨයො මරණ මේ චරිතෙ මිනීමැරුම් අතිනුත් වෙනත් රහස් පරීක්ෂකයොන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. පට්ට කාර් එක්ක තරුණයොන්ගෙ හිත් දශක ගාණක් තිස්සෙ විවිධ නළුවන්ගෙ රූප ඇතුළෙ ඉඳන් හොල්මන් කරවන්න මේ චරිතෙට හැකිවුණා.
5. තොම්ප්සන් ඇන්ඩ් තොම්ප්සන්
මේ ලිස්ට් එකේ ඉන්න කොමිටල්ම රහස් පරීක්ෂකයො ජෝඩුව. දෙන්න එක්ක එකම විදියට යනවා. එකම විදියට පැටලෙනවා. එකම විදියට වැටෙනවා. ටිංටිං හොයාගන්න හදන රහස්වලටත් කෙල වෙන්නෙ මෙයාලගෙ ගොං වැඩ හින්දා තමයි. මොනවා වුණත් ඒ ගොං ඩබලෙ වැඩ අපි ඒ කාලෙනම් ආසාවෙන් බැලුවා.
6. ඒස් වෙන්චුරා
අමුතුම විදියකට ඉන්න පුළුවන් නළුවෙක් කවුද කියලා ඇහුවොත් කියන්න තියෙන ප්රමුඛතම නාමය තමයි ජිම් කේරි කියන්නෙ. “If I’m not back in five minutes… just wait longer.” කියන කතාවත් ප්රසිද්ධ වෙන්නෙ ඒක ඔහුගෙ දෙබසක් නිසායි. ඒස් වෙන්චුරා චරිතය හැරුණත් හිනා යන විදියට නිරූපණය කරන්නට ජිම් කේරිට හැකියාව ලැබෙනවා.
7. මෙන් ඉන් බ්ලැක්
අපේ කතාව අන්තිමට මිනිස්සුන්ගෙන් ඒලියන්ලාට යනවා. ඒ මිනිස්සු දෙන්නෙක් විසින් පිටසක්වල බලපෑම්වලට එරෙහිව නැගීස සිටින මෙන් ඉන් බ්ලැක් කතාව නිසායි. මේකට රහස් පරීක්ෂකයො තෝරගන්න ටෙස්ට් එකේ ඉඳන් හැම දෙයක්ම නියමෙට තියෙනවා. ඒ නිසා හැම තත්පරයකම කුතුහලය වැඩියි. මේ කුතුහලය නිසා මෙන් ඉන් බ්ලැක් කතා තුනම සුපිරියට නැගලා ගියා. දෙන්නගෙ හිත් නොහොඳකම් මුලින් සිද්ධ වුණා වගේ පෙන්නුවත් මේ රහස් පරීක්ෂකයො දෙන්න අතරෙ එකිනෙකාට තියෙන බැඳියාවත් කතාව ලස්සනට ඉස්සරහට ගලාගෙන යන්න හේතු වුණා.
Cover Image Source – imdb
Leave a Reply