අනූවේ සෙට් එකේ බොලිවුඩ් හීන කුමරියෝ

Bollywood princesses from 90s

සිනමා කරුමාන්තේ පැත්තෙන් ඉස්සෙල්ලාම හීනියට ක්‍රෂ් එකක් පටන් ගත්තේ ගොඩක් අයට ඉන්දියාව පැත්තෙන්. ඒකට ගොඩක් හේතු තිබුණා. දැන් වගේ අට අනූවක් ටීවී සීරියස්වත් අනික් විදේශීය චිත්‍රපටවලට ඇති ඉල්ලුමටත් වඩා ඉන්දීය සිනමාව අපිට සමීප වුණා. අනූවේ සෙට් එක ආදරේ කරපු ඒ කාලේ නිළියෝ වැඩි දෙනෙක් දැන් සම්පුර්ණයෙන් ම රංගනයෙන් අයින් වෙලා. එහෙමත් නැත්තම් එයාලා රඟපාන්නේ ඉඳලා හිටලා.

1. අයිශ්වර්යා රායි බච්චන්

නිළියෝ නම් මෙන්න නිළියෝ. ෆිල්ම් එකක් පටන් ගත්ත වෙලේ ඉඳන් කතාව පැත්තකට දාලා බලන් ඉන්න තරම් වටිනවා. 1994 ලෝක රූ රැජිණ විදියට ලෝකයක් ම අඳුරගන්න ඇය බොලිවුඩ් චිත්‍රපටයකට එන්නේ 1997 අවුරුද්දේ. එදා ඉඳන් අවුරුදු ගණනාවක් තිස්සේ  අපේ හීන ලෝකවල, ඇඳන් යට, කොට්ටවල් යට, බිත්තිවල, පොත් අස්සේ රැඳුණ රූපයක් බවට පත් වෙනවා. ෆිල්ම්ෆෙයාර්, අයිෆා වගේ තවත් සම්මාන උළෙලවල්වල දී සම්මාන 175කට වග කියන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමේට ම තිබ්බ නිසා. ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානෙත් ලැබුවා කිව්වාම කොහොම චරිතයක්ද කියලා හිතන්නකෝ. කොහොම හරි ඉතින් නමේ අගට බච්චන් කෑල්ලත් සෙට් කරගෙන දෙයියනේ කියලා 2007 අවුරුද්දේ දහසක් හිත් මෙව්වා කරගෙන ඇය දීගෙන යනවා. එවක් පටන් කලින් වගේ චිත්‍රපටවල ඇගේ මූණ දකින්න ලැබෙන්නේ නැහැ. ඇයව කාලෙකට පස්සේ තිරයේ දී දකින්නේ 2016 අවුරුද්දේ කරන් ජෝහාර්ගේ “Ae Dil  Hai Mushkil” චිත්‍රපටයෙන්.

 

2. සුෂ්මිතා සෙන්

තවත් රූප සුන්දරියක්. 1994 විශ්ව රූ රැජිණ කිරුළ තමන්ගේ කරගෙන පස්සේ රඟපාන්න පටන් ගන්නවා. ගොඩක් චිත්‍රපටවල රඟපෑවත් කට්ටියට අගේ අමරණිය ම චරිතේ තමයි 2004 තිරගත වුණ “Main Hoon Na” චිත්‍රපටයේ ටීචර්ගේ චරිතේ. ඇගේ ලස්සන මූණේ විතරක් නෙවෙයි හදවතෙත් තිබුණ දෙයක්. ඇය දැන් රංගනයෙන් ඉවත් වෙලා පූර්ණකාලින විදියට ව්‍යාපාරවල නියැලෙන වගේ ම හොඳ අම්මා කෙනෙක් විදියට කටයුතු කරනවා. හොඳ අම්මා කෙනෙක් වෙන්නේ ඇගේ දරුවන් දෙන්නා ම ඇගේ කුසින් ඉපදුණේ නැති නිසා. අහිංසක දරු දෙන්නෙක්ට අම්මා කෙනෙක් වුණ නිසා ඇගේ ජීවිතේ රඟපානවාටත් වඩා ගොඩක් සාර්ථකයි.

 

3. මධුරි ඩික්සිත්

දේව්දාස් එකේ අයිශ්වර්යා එක්ක ම හරි හරියට නටන නැට්ටුක්කාරී. දැන් වයස අවුරුදු පනහයි. ඒත් අදටත් ඉන්දියාවේ ඉන්න හොඳම නැටුම් ශිල්පිනිය. සම්මාන 25ක අයිතිකාරි. පද්ම ශ්‍රී එකටත් වග කියනවා. වයසට යන පාටක් නම් නැහැ. එදා ශාරුක් ඛාන් එක්ක රඟපාපු ෆිල්ම් එකක් ආය බැලුවොත් ඇය එන්න එන්න ලස්සන වෙලා තියෙන වග තේරේවි. අන්තිම පාරට ආසාවෙන් ඈ දිහා බලන් හිටියේ 2014දී. ඒ ජූහී චව්ලා එක්ක කරපු “Gulaab Gang” චිත්‍රපටයේ දී. 2018 වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වෙන්න යන චිත්‍රපටයක් ගැන ආරංචියි. විවාහයෙන් පස්සේ ඇයටත් ගොඩක් නිළියන්ට වඩා රංගන ජිවිතයෙන් පොඩි පොඩි ඉන්ටවල් ගන්න වුණා.

 

4.  ජූහි චව්ලා

අනූව දශකයේ අමරණීය සලකුණක්. තිරයේදී ෂාරුක් ඛාන් එක්ක යසට කැපුණු නිළියක්. 1984 මිස් ඉන්ඩියා කිරුළ ඇගේ කරගන්නවා. ඉස්සෙල්ලා ම සාර්ථකත්වය ලබන ඉන්දීය චිත්‍රපටය තමයි ” Qayamat Se Qayamat Tak“. එහි ඇයගේ පෙම්වතා කඩවසම් ආමීර් ඛාන්. අන්තිම වරට ප්‍රසිද්ධ තිරයේ දී ඇයව දකින්නේ “Gulaab Gang” චිත්‍රපටයේ දී. කන්නඩා චිත්‍රපටයක සංගීත ගුරුවරියක් විදියට ගායනයෙන් ඈ සම්බන්ධ වුණ නිර්මාණයක් ළඟදීම දැකගන්න පුළුවන් වේවි. 1997 “Yes Boss” බලපු අයට එහෙම නම් ඇගේ හුරතල් රංගනය අදටත් මතක ඇති.

 

5. ප්‍රීති සින්ටා

කම්මුල් වල ගැහෙන ප්‍රීති සින්ටා වගේ කෙල්ලෙක් නම් හා අම්මේ. හිනාව කාවද පිස්සු නොවැට්ටුවේ? අද IPL එකේ තමන්ගේ ටීම් එකත් බලාගෙන සාර්ථක විවාහ ජිවිතයක් ගෙව්වට මොකද මීට අවුරුදු කීපයකට කලින් පරිප්පු නැතුව බත් එපා වගේ ඉන්දීය සිනමාවට අවශ්‍ය ම වුණ චරිතයක්. Kal Ho Na Ho, Veer Zara, Koi Mil Gaya, Salaam Namaste, Dil Chahta Hai වගේ චිත්‍රපටවල තිබුණු ලොවෙත් නැති රංගනය විවාහයෙන් පස්සේ නැවතුණ බවක් තමයි පේන්නෙ.

 
Cover Image Source – santabanta.com/ pintarest.com/ youtube.com/ hdwallpapers.in
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *