ජ්‍යෝතිෂය ගැන කාටත් තියෙන ප්‍රශ්න පහක්

Five questions about Astrology

ජ්‍යෝතිෂය කියන්නේ පුරාණ කාලයේ සිට පැවත එන ශාස්ත්‍රයක් නේ. ඈත අතීතයේ හිටපු මිනිස්සු පවා අහස දෙස තරු දෙස බලා අනාවැකි කියූ බවට අපේ ජනකතා වල විතරක් නෙමෙයි පුරාණ කෘති වල පවා සඳහන්. ජේසුස් වහන්සේ උපන් බව අර පඬිවරු දැනගත්තේ අහසේ තරුවක් දැකලා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ඈත අතීතයේ ඉඳන් මේ ශාස්ත්‍රය සමග මිනිස්සුන්ගේ තිබ්බ බැඳීම ඉහලයි. නමුත් අද ජ්‍යෝතිෂ්‍ය වේදීන්ගේ ක්‍රියාකලාපයන් එක්ක මේ ශාස්ත්‍රය ගැන කේන්ද්‍ර, ලග්න, නැකැත් ගැන මිනිස්සුන්ගේ හිතේ ප්‍රශ්න ගොඩක් පැන නැගිලා. අපි අද බලමු මොනවද ඒ ප්‍රශ්න කියලා.

 

1. එක වෙලාවේ එක ප්‍රදේශයේ ඉපදුණොත් මොකද වෙන්නේ?

Five questions about Astrology

Source – sindyssaturdaysatsang.files.wordpress.com

කේන්ද්‍රයක් හදන්නේ ඉපදුණු තැනට සහ ඉපදුණු වෙලාවට අනුවනේ. එහෙමනම් එක වෙලාවේ එක ප්‍රදේශයේ ඉපදෙන දෙන්නෙක්ගේ කේන්ද්‍රය එකද.? ඒ දෙන්නගේ අනාගතේ ගැන කියන්න තියෙන අනාවැකි එක සමානද? ඒ අයගේ අනාගතේ සමානද? එහෙම වෙන්න පුලුවන්ද ඇත්තටම? මෙහෙම ප්‍රශ්න ටිකක් අපිට එන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට ජ්‍යෝතිෂයේ පරතෙරට ගියපු කෙනෙක්ට නම් උත්තර දෙන්න පුළුවන් ඇති. ඒත් ගොඩක් අද සමාජයේ දකින්න ඉන්න ජ්‍යෝතිෂ්‍ය වේදීන්ට මේ ප්‍රශ්නෙට හරි හමන් පිළිතුරක් නෑ.

 

2. ලග්න පලාපල කියන්න පුලුවන්ද?

Five questions about Astrology

Source – phys.com

උදේට ටෙලිවිෂන් එක දැම්මම, ගුවන් විදුලිය දැම්මම විතරක් නෙමෙයි පත්තරයක් ගත්තත් දකින්න ලැබෙන්නේ ලග්න පලාපල. වෘෂභ, මිථුන, කටක ලෙස ආදී වූ ලග්න දොළහට අද දවස සුභ ද අසුභ ද කියල දල විග්‍රහයක් මේ ලග්න පලාපල වල තියෙනවා. ප්‍රශ්නේ මේකයි. එකම ලග්නේ තියෙන කෝටි ගාණක් මිනිස්සු ලෝකේ ඇති. එතකොට ඔය කියන ලග්න පලාපල ඒ හැම කෙනාටම එක විදිහට බලපානවද? සරලවම මෙහෙම ගමු. ඔන්න ලග්න පලාපල වල තියෙනවා ධනු ලග්නයට අද සුභයි කියලා. ධනු ලග්නේ තියෙන ලග්න හිමියන් කෝටි ගාණක් ලෝකේ ඇති. ඔය සියලුම දෙනාට ඒ කියන දවසේ වෙන හැම දේම සුභද? අසුභයි කිවුවොත් ඒ හැමදෙනාටම ඒ දවසේ වෙන හැම දේම අසුභ ද? ඕක නම් බරපතල ප්‍රශ්නයක්.

 

3. ලග්න පලාපල ඇත්තක්ද?

Five questions about Astrology

Source – aliexpress.com

කොහොමින් කොහොමින් හරි ලග්න පලාපල කියන්න පුළුවන් කියල අපි හිතමුකෝ. ඊළඟ ප්‍රශ්නේ ඒ කියන ලග්න පලාපල ඇත්තද? උදේට ටෙලිවිෂනයේ නාලිකා වල ලග්න පලාපල බැලුවොත් එක් එක් නාලිකාවට අනුව ඒ පලාපල වෙනස්. ගුවන් විදුලි නාලිකා වල ඇහෙන පලාපල, පුවත් පත් වල පල වන පලාපලත් මෙහෙමම තමයි. එක් එක් නාලිකාවට අනුව, පුවත් පතට අනුව ඒ පලාපල වෙනස් වෙනවා. එහෙම වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙටනම් ඇත්තටම තියෙන උත්තරේනම් එහෙම වෙන්න බෑ කියන එක. ඉතින් ඒ හන්දා අපේ හිත අහනවා “ලග්න පලාපල කියන්නේ ඇත්තක්ද?” කියලා.

 

4. පොරොන්දම් ගැලපුවාම ඔක්කොම  හරිද?

Five questions about Astrology

Source – karmaweather.com

කසාද බඳිද්දී ඒ කාලෙ විතරක් නෙමෙයි අදත් බලන දෙයක් නේ පොරොන්දම් කියල කියන්නේ. බඳින්න ඉන්න දෙන්නගේ කේන්දර දෙක ජ්‍යෝතිෂ්‍ය වේදියෙක්ට දීල තමයි පොරොන්දම් බලවගන්නේ. ජීවිතේට කලින් දැකල නැති, අඳුනන්නති දෙන්නෙක් බන්දවද්දීත් දෙමවුපියෝ බලන්නේ පොරොන්දම් ගැලපෙනවද කියල. කොච්චර පොරොන්දම් ගැළපුනත් ඉක්මණින් කෙලවර වෙන දීග වලට උදාහරණ සමාජයේ ඕන තරම් දකින්න ලැබෙනවා. අනිත් පැත්තට ගත්තමත් එහෙමයි. ඒ කියන්නේ පොරොන්දම් නොගැලපුණු යුවලවල් ඉතා හොඳින් පවුල් ජීවිත ගත කරන හැටිත් සමාජයේ දකින්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම බලල අපි අහන ප්‍රශ්නේ තමයි “පොරොන්දම් ගැලපුවම ඔක්කොම හරිද?” කියල. ඕන නම් “පොරොන්දම් නොගැළපුණාම ඔක්කොම ඉවරද?” කියලත් අහන්න පුළුවන්.

 

5. ඔක්කොම කරන්න ඕන රාහු කාලය පන්නලා ද?

Five questions about Astrology

Source – pexpels.com

රාහු කාලය කියන්නේ අසුභ කාලයලුනේ. ගොඩක් අය තමන්ගේ සුභ කටයුතු කරන්නේ ඔය කියන රාහු කාලය පන්නලා. රාහු කාලය පන්නල කරන සුභ කටයුතු සාර්ථක වෙනවා කියලනේ කියන්නේ. දැන් ප්‍රශ්නේ මේකයි. හදිසියේ යෙදෙන කටයුතු ඔය කියන රාහු කාලයේ වෙන්න පුළුවන්නේ. උදාහරණයක් විදිහට දරුවෙක් ඉපදෙන කොට ඒ ඉපදෙන වෙලාව රාහු කාලය උනොත් ඒ දරුවාගේ මුළු ජීවිතේම නරක් වෙනවද? එහෙම නැත්නම් ඕකම අනිත් පැත්තට හිතුවොත් රාහු කාලයේ හැර ඉපදෙන සියලු දරුවන්ගේ ජීවිතය ඉතාම සුබදායක අන්දමින් ගෙවෙනවද? ඇත්තටම එහෙම වෙන්න බෑ නේද?

මීට අමතරව තවත් ප්‍රශ්න දහස් ගණන් ඔබේ හිතටත් එනවා ඇති. එහෙම ඔබේ හිතට නැගුණු ප්‍රශ්නෙකුත් එක්ක මේ ලිපිය අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න Share කරන්න.

 
Cover Image Source – dreamstories.com / meditationlife.com / alamy.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *