ෆේස්බුක් පේජ් කියන්නෙ විවිධ වූ මාතෘකා පෝෂණය කරන්න තියෙන කදිම ඉඩක්. තොරතුරු දැනගැනීම වෙනුවෙන් ෆේස්බුක් පේජ් කියන්නෙ කදිම තැනක් වුණත් ඇත්තටම ෆේස්බුක් පේජ් කරන බුවාලා කරන වැරදි සහ හිතාගන්න බැරි තරං ප්‍රාථමික වැඩ නිසා පේජ්වල ඇත්තම ප්‍රෙයා්ජනයත් මැකිලා යනවා. මේ කියන්න යන්නෙ ඒ ගැනයි.
1. ඉස්සිලි
රස්සාවට ලියන, ඩිසයින් කරන, ෆොටෝගන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු රස්සාව වෙනුවෙන් කරපු නිර්මාණශීලී වැඩ උස්සල තමුන්ගෙ වගේ දාගෙන එවුවට තමුන්ගෙ වෝටර් මාක් දාගන්න පේජ් ඇඩ්මින්ලා ඉන්නවා. ඒ වගේම රස්සාවට නැතුව කිසිම මූල්‍යමය වාසියක් නැතත් තමුන්ගෙ හැකියාවෙන් දෙයක් නිර්මාණය කරන මිනිස්සුන්ගෙ දේවලුත් මේ අය හොරකම් කරනවා. එහෙම මිනිස්සුන්ට ඉතිං සල්ලිත් නෑ නිර්මාණෙත් නෑ. පහුගිය කාලෙ දල පූට්ටු ඇතා මැරුවමත් මේ දේ සිද්ධ වුනා. හිතේ තියෙන දුකට දාන දේ කොහොවත් ඉන්න හොරෙක් ඉස්සුවට ඌව ඇතා පාගලා මැරුවනං හොඳයි කියල අර මිනිස්සුන්ට හිතෙනවා.
2. දේශපාලන පොයිය
සමහරු ඉන්නව තමුන්ගෙ හිතේ තියෙන දේශපාලන මතයකට කඩේ යන. අනේ ඉතිං ඇත්තද බොරුද නෑ, උදේ ඇහැරෙද්දි හිතුණොත් ඩීඇස් මහත්තය වන අලි දඩයමේ ගියා කියලා ඒ මොහොතෙම ඒකට පෝස්ට් එකක් හදල දානවා. වන අලි දඩයමේ ගිය ඩීඇස්ගෙ පරපුරේ එවුවොන්ට අපි ඡන්දෙ දෙන්නෙ නෑ කියලා. ඉතිං ඔවුව විශ්වාස කරන වගේම අන්ධ භක්තියෙන් පක්ෂ අදහන බුවාලා ඕක ෂෙයා කරනව. ඒක තමා එයාලගෙ අරමුණත්.
3. අනුකම්පා පොයිය
ඔන්න මේක තමයි මහත්තයො අනුකම්පා පොයි සැණකෙලිය. අනේ අපිව පේන්නෙ නැතුව යන්නෙ.. අනේ අපිව සුළු ජාතියෙ එවුන් රිපෝට් කරපු නිසා කෙල වෙලා තියෙන්නෙ… මේක දැක්කනං ලයික් කරන්න. අනේ අපේ අතේ සල්ලි නැති නිසා පෝස්ට් බූස්ට් කරන්න විදියක් නෑ… අපිව ෂෙයා කරන්නකො වගේ අනුකම්පා කතා කට්ටියගෙ වැහිවැහැලා. මෙවුව ඉතිං තනි බොරුව මහත්තයො. උන් හොඳයි නං, උන් හරි නං එවුව නවත්තන්න බෑ.
4. දුක් පොයිය
මේ නංගිට පිළිකාවක් හැදිලා බුදු සරණයි කියල හිතෙන අය ලයික් කරන්න, ජේසු පිහිටයි කියලා හිතෙන අය හාට් දාන්න වගේ ටෝක්ස් තියෙනවා. එහෙමත් නැත්තං කෝච්චියකදි බෑග් එක නැතිවෙලා කියල දාපු පරණ පෝස්ට් එකක් හොයාගෙන ඒකට අතිනුත් කෑලි දානව. දාලා ආයෙ පෝස්ට් කරාම කට්ටිය දුකට එවුව ෂෙයා කරනවා.
5. ආඩම්බර පොයිය
දකුණෙ නිසා, නුවර නිසා ආඩම්බරයිනං ෂෙයා කරන්න, ගුරුකුලේ කොල්ලෙක් ලබන්න කෙල්ලො පිං කරන්න ඕන, ගෝතමියට ගිය කෙල්ලෙක් ලබන්න කොල්ලො පිං කරන්න ඕන, මාර්තු මාස උපන්න කොල්ලො කෙල්ලො තමයි සුපිරිම වගේ එවුවත් තියෙනවා. ඉතිං ඔය කියන කුලකවලට අහුවෙන බුවාලා ඔවුව ෂෙයා කරනවා හිටු කියල.
6. බයිට් පොයිය
අර තරිඳු කියන එකා කෙල්ලෙක් අනාථ කරලා පැනලා ගිහින්ලු, තරිඳුව ටැග් කරන්න කියල කිවුවම අපේ එවුනුත් දන්න කියන තරිඳුලව දාගෙන ටැග් කරනවා. ඒක ඉතිං කරන්නෙ තරිඳුව බයිට් වෙයි කියලා. හැබැයි බයිට් වෙලා තියෙන්නෙ ටැග් කරපු අයියලමයි. මොකද පේජ් ඇඩ්මින්ලා හැමෝටම වගේ තියෙන සුලබ නමක් දාලා අර කට්ටියව අන්දගෙන පේජ් එක ප්‍රමෝට් කරවගෙන.
Cover Image Source – wallpaper.pl / memecentral
Leave a Reply