සීතල දෙසැම්බරයේ දිල්ලිය කරා මේ එන්නේ මීදුම නම් නොවේ

Delhi air Pollution

දිල්ලියේ වාතයේ තත්ත්වය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මේ කාර්තුවේදී නරක අතට හැරේ. යුනයිට් එයාලයින් නැමැති ඇමරිකානු ගුවන් සමාගම දිල්ලි වෙත යෑම නවතා දමනු ලැබු අතර මීදුම වැනිවූ දූෂිත වායුවෙන් දිල්ලි නගරය වැසී යෑම නිසා මහාමාර්ග වල වාහන එකිනෙක ගැටෙන්නට විය. එම නිසා දුම්රිය අවලංගු කෙරුණු අතර  ඇතැම් මාර්ග වසා දමනු ලැබීය.

 

1. දුමින් පීඩාවට පත් ශ්‍රී ලංකා කණ්ඩායම

Delhi air Pollution

Source – sportzwiki.com

ඉන්දියාව සමග දිල්ලියේ පැවැත්වුණ තුන්වන ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම්ද මෙම දුම නිසා අපහසුතාවයට පත් වී තිබුණි. දෙසැම්බර් තුන්වැනිදා තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දිවා විවේකයෙන් අනතුරුව වාතයේ පාරදෘෂ්‍ය භාවය අඩුවීම නිසා තරගය දිවා විවේකයෙන් පසු මඳක් නතර කිරීමටද තරග තීරකවරුන්ට සිදු විය.

 

2. මීදුමේ සෞඛ්‍ය අනතුර

Delhi air Pollution

Source – lifie infographics / visual.ly

දිල්ලි නගරයේ තදාසන්න පෙදෙස් වල පමණක් මිලියන 19ක් තරම් ජනගහණයක් වාසය කරන අතර එයින් වැඩිකොටසක් ඇතැම් දිනෙක දවසේ සෑම වේලාවකම තදින් පවතින තද දුමකින් වැසී පවතී. මෙය අප රට ඇතැම් දිනවල පතිත වන මීදුම මෙන් සොඳුරු අත්දැකීමක් නොවේ. දිල්ලි අපවිත්‍ර දුමේ  කාර්මික රසායන ද්‍රව්‍ය මෙන්ම විවිධ ආකාරයේ අහිතකර වායුන් අන්තර්ගත වේ. එම වායුව දිනක් ආග්‍රානය කිරීම දුම්වැටි 50ක් ආඝ්‍රානය කිරීම හා සමානව ම අහිතකර ප්‍රතිඵල උදාකර දේ. මේ හේතුවෙන් රෝහල් කරා ඇතුලත් වන ශ්වසන රෝගින්ගේ සංඛ්‍යාව 20%කින් පමණ වැඩි වී ඇතැයි දිල්ලි සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර තිබේ.

 

3. සංඛ්‍යාලේඛන

දිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වාර්තා අනුව ඝන මීටරයකට මයික්‍රො ග්‍රෑම් 1200ක් පමණ ඉහල අගයකින් දිල්ලි වාතය අපවිත්‍ර ද්‍රව්‍ය තිබේ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත ප්‍රමාණය මෙන් 48 ගුණයකි. එහෙත් ආසියානු කලාපයේ වායු දූෂණය වැඩිම නගරයක් වන චීනයේ ශෙන්යන් හි මෙම අගය ඝනමීටරයකට මයික්‍රොග්‍රෑම් 1400ක් දක්වා වැඩිය. ලොව වායු දූෂණය  වැඩිම නගර අතරට චීනයේ නගර කිහිපයක් මෙන්ම  පැට්නා, රායිපූර්, අලහබාද්, ලුදියානා කාන්පූර් ආදී ඉන්දීය නගර කිහිපයක්ම වේ. පෘථිවියට කිලෝමීටර 400ක් ඉහල අහසේ සිට පෘථිවිය වටා සෑම පෑ 1.5කට වරක්ම රවුමක් සම්පූර්ණ කරන අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින අභ්‍යාවකාශගාමීන්ටද මෙම ආසියානු නගර ආශ්‍රිතව ඇති දැඩි වායු දූෂණය නෙත ගැටී තිබේ.

 

4. පැරණි වගා ක්‍රම

Delhi air Pollution

Source – futureearth.org

දිල්ලියට ආසන්න පන්ජාබ් හර්යානා සහ බටහිර උත්තර ප්‍රදේශ කලාප වගාවන්ට සරුබිම් ලෙස සැලකේ. එම පලාත්වල තිරිගු ඉරිගු ආදී වගාවන් වල පිදුරු සහ අවශේෂ වගා බිම ගිනිලෑම සිදුවන්නේ මේ කාලයේදිය. එය වගාවට අවශ්‍ය පෝශ්‍ය පදාර්ථ ලබාගත හැකි ක්‍රමයකැයි ගොවීන් විශ්වාස කරති. එම පිදුරු ගිනිලෑම තුලින් ඒවා එකවර පිලිස්සෙන්නේ නැති නිසා සැලකිය යුතු දුමක් වායුගෝලය හා එක් වේ.

එම පිදුරු ගිනිලෑමෙන් ඇතිවන වායු දූෂණ හානිය නාසා ආයතනයේ  Suomi NPP නම් චන්ද්‍රිකාව හරහා ග්‍රහණය කරගන්නට  නාසා ආයතනය සමත් වි තිබේ.

 

5. නගරයෙන් එකතු වෙන දුම

දිල්ලි යනු නිතරම වාහන තදබදය පවතින නගරයකි. එහි වාහන මගින් නිකුත් කරන දුමද දිල්ලි නගරයට එකතු වේ. ඒ සමගින් අවට වගාබිම් වලින් ලැබෙන දුමද කර්මාන්ත ශාලා වලින් නිකුත් වන දුමද එකතු වූ කල දිල්ලිය යනු අහසින් බැලූවිට ඇතැම් දිනවල පොලව නොපෙනන තරම් දැඩි වූ දුමාරයක් සහිත බිමක් බවට වර්ෂාවසාන වකවානුවේදී පත්වේ.

 

6. වසා ඇති දේ

Delhi air Pollution

Source – downtoearth.org.in

වායු දූෂණය වැඩි වීමත් සමග නොවැම්බර්යේදී දරුවන් ගේ පාසැල් නිවාඩු ලැබුණි. එය දරුවන්ට නම් සුබ ආරංචිවක් වුවද පවතින අහිතකර තත්වය අනුව එලිමහනේ බැස සෙල්ලමක් කිරීමටවත් දිල්ලි දරුවන්ට ඒ නිවාඩු සමයේ අවකාශ නැත. එළිමහනේම නිතර වැඩකරන ඉදිකිරීම් වැඩබිම්වල සේවකයිනගේ සෞඛ්‍යය තත්වය සලකා බලා සියලුම ඉදිකිරිම් නැවැත්වීමටද දිල්ලි පරිපාලනය ක්‍රියා කළේය. ඊට අමතරව දීවාලී උත්සවය සදහා රතිඤ්ඤා ඇතුළු දුම ජනනය වන ගිනිකෙළිද මෙවර දිල්ලියට තහනම් විය.  වාහන අංකය ඔත්තේද ඉරත්තේද යන්න අනුව නගරයේ ධාවනයට ඉඩ ලැබෙන වාහන සලාක ක්‍රමයක්ද අලුතින් හඳුන්වා දෙන ලදී. එහෙත් කෙටිකාලීන මෙම පියවරට වඩා එහා ගිය දීර්ඝකාලීන වායු ශෝධක වැඩපිලිවෙලක් දිල්ලි නගරයට අවශ්‍ය වී තිබේ.

 

7. දීර්ඝකාලීන වැඩපිලිවෙල වල පමාව

Delhi air Pollution

Source – vox.com

ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ගොවින්ගේ ඡන්ද පදනම ඉන්දීය දේශපාලනය කෙරෙහි ප්‍රබල ලෙසම බලපාන සාධකයකි. ඊට අමතරව දුප්පත් ජනතාව විසින් පැරණි ක්‍රමයට කරන ලබන දර ලිප් සහ අඟුරු ලිප් වලින් වාතයට ලැබෙන දුම සුළු පටු අගයක් නොවේ. එහෙත් මෙම දුප්පත් ජනතාවට සහ ගොවීන්ගේ සාම්ප්‍රදායික වායු දූෂණ ක්‍රියාවලියට එරෙහි වන යම් පියවරක් බළධාරින් විසින් ගතහොත් එය ඔවුන්ගේ ඡන්ද පදනම කෙරෙහි බලපාවි යැයි බියක් ඉන්දීය දේශපාලකයින් තුල පවතී. එක් අතකින් සිය මහජනයාගේ සුබසිද්ධිය තකා ප්‍රජාතන්ත්‍රවාදීව පාලකයින් තෝරාපත්කර ගත්තද ඔවුන් සැබැවින්ම ජනතාව වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගතහොත් සිදුවන්නේ දේශපාලක පුටුවෙන් බැසයෑමටය.

මෙම වායු දූෂණය හේතුවෙන් මිනිසුන් වඩාත් ගෙතුලට වී සිටීමට පෙළඹෙන අතර එම නිසා නිවෙස් තුල වායුසමන, පංකා සහ කෘත්‍රිම ආලෝකය පිණිස තව තවත් බලශක්තිය වියදම් වේ. බලශක්තියෙන් 60%කට අධික  ප්‍රමාණයක් ගල් අඟුරු දහනය කර ලබාගන්නා ඉන්දියාව ඉන් පසු වැඩිපුර බලශක්තිය නිපදවන්නට යළිත් ගල් අඟුරු දහනය කොට විදුලිය ජනනය කළ යුතු වේ.

 

8. වායු දූෂණය අවම කරන්නට බැරිද?

කාර්මීකරණය සමග ලැබුණු තෑග්ගක් වන වායු දූෂණයට මුහුණ දෙන පලමු නගරය දිල්ලිය නොවේ. මෙක්සිකෝව 80 දශකයේදී වායු දූෂණයෙන් වැඩිම රටක් ලෙස විරුදාවලි ලත් අතර ඔවුන් දීර්ඝකාලයක් තිස්සේ ගත් ක්‍රියාමාර්ග ඔස්සේ 2012 දී හොඳම වාතාශ්‍රය සහිත නගරය බවට පත්වීමට ඔවුනට අවස්ථාව ලැබුණි. මහා බ්‍රිතාන්‍යය, බටහිර යුරෝපය, ඇමරිකාව පමණක් නොව ජපානයේ නගරද කලක් වායු දූෂණයෙන් පිඩාවට පත් විය. එහෙත් ඔවුන් පරිසරය ගැන සිතා ගත් දීර්ඝකාලීන පියවර හේතුවෙන් වායු දූෂණයෙන් තොර නගර බිහිකරගන්නට ඔවුනට හැකිවිය.

 
Cover Image Source – mediabarbar.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *