මධ්‍ය කඳුකරයේ හෝටන් තැන්නේ සිට පහල බැලූවිට පේන්නේ බලංගොඩ පලාත බැව් අපි කවුරුත් දන්නා කරුණකි. මෙම බලංගොඩ බෙලිහුල් ඔය සීමාවේ කොළඹ බදුල්ල මාර්ගයෙන් ගොස් තරණය කළ හැකි කඳු වැටි රැසක්ම තිබේ. සුන්දර බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ සබරගමු විශ්ව විද්‍යාලය මෑත ඉතිහාසයේ ඉදිවිය. එහි මිනින්දෝරු විද්‍යාව ( Geomatics ) සදහාද විද්‍යාර්ථීන් බිහිකරන තැනකි. ඒ සමගම විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය සිසුන්ද මිනින්දෝරු විද්‍යා සිසුන්ද නිරන්තරයෙන් අසල කඳුවැටි තරණය කරන්නට විය. ඊට පෙරත් මේ පලාතේ යකාගේ පඩිපෙල, නන්පේරියල් ආදී තරනයක් ජනප්‍රිය වී තිබුනද ආදර කන්ද, හාගල, දෙතන ගල, ආදී කදු මුදුන් නිතරම මිනිස් පහස ලැබූයේ සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ගේ ආගමනයත් සමගය.
1. හාගල තරණයට පෙරාතුව
අපි කන්ඩායම හාගල තරණය ආරම්භ කලේ බලංගොඩිනි. බෙලිහුල් ඔය පහන්තුඩ ඇල්ල අසලින්ද ගමනාරම්භ කළ හැකි මුත් ඒ පළාතේ හරිහමන් පාරක් දක්නට නැත. අප බැස්සේ ඒ එදිසාවෙනි. හාගල වැනි තරනයක් ආරම්භ කිරීමට මත්තෙන් හැන්දෑවේ කොළඹින් ගොස් බෙලිහුල්ඔය බලංගොඩ දෙසින් නවාතැන් ගෙන යා හැකි නම් මනාය.
හාගල අපි ගිය දිනයේ වර්ෂාව සහිත වූ නිසා එතරම් ජල හිඟයක් දැනුණේ නැතිමුත් මුලු නැග්මේදීම ජල මූලාශ්‍රයක් නම් හමු නොවීය. එනිසා ජලය සහ කෑම ඉහලට රැගෙන යා යුතුය. අපි ගිය දිනයේ වැස්ස නිසා ඉහලම මුදුනතේ ස්ථාන කිහිපයක වතුර කඩිති ඇති වී තිබුනි.
2. හාගල තරණය
උදේ 9 වනවිට බලංගොඩට ආ අපි බොගවන්තලාව හරහා හැටන් බස් රියට ගොඩ වූයේ දිවා ආහාරය පිණිස සුුලු කෑම ටිකක්ද මල්ලට දාගෙනය..බස්රියේ සිටි සෑමසියළු දෙනාම අපගේ මිතුරන් මෙනි. කඳු තරණයට සාමාන්‍යයෙන් ගෙනයන විසාල මළු බැඳගත් අප කණ්ඩායම දුටුතැන බස්රියේ අය යන්නේ කොහිද? ආ ඒකද? වැස්ස නිසා කූඩැල්ලෝ ආදි පිළිතුරු දෙති. ඈත ගම්මාන ආදියේ කඳු නැගීම් වලට යෑමේදී ගැමියෝ සාමාන්‍යයෙන් එසේය. ඔවුන් හැකි පමණ ආගන්තුකයින් හා දොඩමළු වෙති. උපදෙස් දෙති..
බස් රිය පින්නවල පසුකොට මාරතැන්න ආසන්නයේදී කුඩා කඩයක් අසල නැවැත්වීය. සම්පූර්ණ ගමනම පෑ 3-4ක් විය හැකි වුවත් එම බස්රියේ ගමනේදී මග තැනක තේ බොන්නට නැවැත්වීම සිරිතක් වන්නට ඇත. වංගු සහිත මාර්ගයේ බස්රිය ධාවනය මෙන්ම බසයේ වාඩි වී යෑමද දුෂ්කරය. මගී පිරිස සෙමෙන් බැස කඩයට ගොස් සෝකේස් එකට අතදමා සමෝසාවක් ගන්නේය. ප්ලේන්ටියක් ද ඕඩර් කරන ඔවුන් ඒවා සෙමෙන් බුදින්නේ අවට සිටින අය සමග කතාවක්ද දමාගෙනය. අප කණ්ඩායමද සමෝසා වලින් සන්තර්පනය වුනෙමු. බහින්නට පවා කම්මැලිව සීට් වලට ඇලී සිටිය මිතුරෝ එක් අයෙකු ගොස් රියට ගෙනත් දුන් එක් සමෝසාවක් කා දිරි ගෙන තවත් එකක් ගැනීමට බස්රියෙන් බැස කඩය තුලටද ආවේය. නයිමිරිස් දමා සැරට රසට හදා තිබූ හෙයින්, සෝකේස්සුවෙ තිබූ සමෝසා සියල්ලම පාහේ ඉවර කරන්නට අපි 7 දෙනාට සහ බස් රියේ පිරිසට හැකි විය.
3. ගමන
ගල්ගැමඩ ට්‍රාන්ස්පෝමරය අසලින් බැස බස්රිය යන දෙසට මුහුණලෑවිට දකුණු අත පැත්තේ මාර්ගය හාගල දක්වා මාර්ගය වන්නේය. ඒ අසලින් වතුර බෝතල් පුරවාගත් අපි ගමන ආරම්භ කළෙමු. එම මාර්ගයේ මඳ දුරක් ගොස් හැරී දිගටම ගමන් කළ විට වනය මැදින් ඇති අඩිපාර හමු වේ. එම අඩිපාර මුදුනත දක්වාම තිබේ. එක් එලිමහන් තැනකදී වනයත් තේ වත්තත් අතර සීමාවක් හමු වේ. එතැනදී වමට හැරී ඉහලට ගමන් කළ යුතුය. ෆයිනස් කැලයක් හමු වන අතර එහි මුදුනට නැග ඉන් පසු මුදුනෙන් මාර්ගය ඔස්සේ වනයට අවතීර්ණ විය යුතුය. සැලකිය යුතු ලෙසින් කලක් භාවිතා කල අඩිපාර බොහෝ තැන්වල පැහැදිලිව තිබේ.
උඩට නැග්මට ප්‍රථම වර්ෂාවකට මුහුණ දෙන්නට සිදු විය. ගල්ගෑමඩ සිටම නැගීමේ ආනතිය අනෙක් කදු වලට සාපේක්ෂව අඩුය. සැබැවින්ම මේ කන්දේ මේ මාර්ගයේ නැගීමේදී සිදු ව්න්නේ අපි බසයෙන් සෑහෙන දුරක් ගොස් ඉතිරි කොටසක් නැග මුදුන කරා ළඟාවීමක් පමණි. එහෙත් එයට වුවද කිලෝමීටර දෙක තුනක් වනය මැදින් කූඩැල්ලන් සහිත පාරේ ගමන් කළ යුතුය. අප පැය දෙක තුනකින් මුදුනට ළඟා වුනෙමු. අසල ඇති කඳුයායවල් මනරම්ව පෙනුනි. වර්ෂාව නිසා ඈත කන්දකින් ඇද හැලුණු තාවකාලික දිය ඇල්ලක්ද දර්ශනය විය. කූඩැල්ලන් සිටියද සාමාන්‍යයෙන් කැරළි පිටින් දැඩි ප්‍රහාර එල්ල කරන මට්ටමේ කූඩැල්ලන් ගහනයක් හමු වූයේ නැත. එකා දෙන්නා සෑම අයෙකුගේම කකුලේ එල්ලී සිටියහ.
4. බැසීම
ඉහල බැලුම් ස්ථාන හෙවත් වීව් පොයින්ට් කිහිපයකි. ඒවා සියල්ලටම මනරම් භූමි දර්ශන හතර අතින් ම දිස් වේ.. හාත්පස විසිතුරු හෙයින්ම වනය අඩු හෝටන් තැන්න මෙන් තණ ඇතිරිය ඇති බෑවුම පෙදෙසෙන් පහලට බහින්නට අපි සිතුවෙමු. එය අති දුෂ්කර මගකි. අංශක 80ටත් වඩා ආනතිය ඇති ගල් මතින් ඉතා අපහසුවෙන් රූටමින් පැය 5කට ආසන්න කාලයක් දල බෑවුම් මතින් පහල බෙලිහුල් ඔය පාහන්තුඩ ඇල්ල අසලට ළඟා වුනෙමු. එතැන නාන තොටුපලකි. බැසීමේදී කකුල් වලට වූ වේදනාවත් සීරීම් සහ අතරමග වැටිම් වලින් ඇති වූ වේදනාවනුත් සමනය වන්නට අපි පාන්තුඩ ඇල්ල නම් වූ බෙලිහුල් ඔය ඉහල තොටකින් හොඳින් නා ගතිමු. එතැන මිනිසකු යාන්තමින් ගිලෙන නොගිලෙන තරමේ ජලය ඇති කදිම නාන තොටුපලකි.
5. සැලකිය යුතු කරුණු
අවශ්‍ය කෑම සහ ජලය රැගෙන යා යුතු අතර ගල්ගෑමඩින් නැග බෙලිහුල් ඔය අසලින් බහින්නේ නම් මාර්ගය යන්තමින් හෝ දන්නා අයෙක් සිටීම යෝග්‍යය වේ. මන්ද බහින මාර්ගය දුෂ්කරය ඇතැම් තැනක මාර්ගය සොයාගන්නට අපහසුය. දොල පාර අසල අපි ඒමට මත්තෙන් පිරිසක් මත් වතුර පානය කරමින් සිටි අතර අප “පොලිතින් දාන්න එපා අයියේ “ යැයි ආයාචනා කළද ඔවුන් සියල්ලම මල්ලක දමා වනයට විසි කළේ අප දෙසට අවඥා සිනාවක් පාමිනි. මීට පෙර මේ ලක්ෂණ අඩවි වලට ගිය පිරිස පොලිතින්, ප්ලාස්ටික්, බෝතල්, කැලිකසල දමා ආවේ නම් අපිට විඳින්නට සුන්දර පරිසරය වෙනුවෙට ඇත්තේ ගඳගසන කාලයක් ගියත් නොදිරන කුණුගොඩ රැසකි. එබැවින් සුන්දර මතකයන්, අත්දැකීම් සහ සේයාරූ හැර, රැගෙන යන ආගන්තුක සියල්ල මේ වන භූමි වලින් රැගෙන ඒම සොබාදහමට ආදරය කරන සියලුම පුරවැසියන්ගේ වගකීමකි.
Cover Image Source – Amila
Leave a Reply