90 දශකයෙන් කැපීපෙනන පරිදි වෙනස්වූ ස්මාට්ෆෝන් යුගයේ ප්‍රේමය

difference of love affairs in 90s and today

කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැන පිය කතේ

කල්පනා කළ තරම මට කල්පනාවක් නැතේ..

ඇඳිරියෙද මැණික හමුවෙන ඇස් දෙකක් මට ඇතේ

එනු මැනවි රස බලනු සෙවණක එකම පැල්පතේ..

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත

ඔබෙ සුවඳ පමණි මිහිපිට ඇති එකම සම්පත

difference of love affairs in 90s and today

Source – shadetreesl.com

වික්ටර් රත්නායකයින් විසින් ගායනා කරනු ලබන මෙම ගීතයෙන් පෙම් හසුන සහ පෙම්හසුනක වූ එකල වටිනාකම මැනවින් නිරූපණය වේ. සාහිත්‍යමය බසකින් ලයාන්විත රිද්මයකින් ලියවී බොළඳ වදනින් සැරහූ පෙම්හසුන 90 දශකය අවසානය තෙක් පෙම්වතුනගේ මූලිකම අදහස් හුවමාරු ක්‍රමය විය. පෙම්වතා සමග වරුවක් දෙකක් ගතකර නැවත පැමිණියද ඒ පැමිණි තැන පටන් ඔහුගේ රුව ගුණ ඇයට මතක් වේ. පෙම්වතාටද එසේමය. ඒ හද තුල ලියලන ආදර හැඟුම පෑන් තුඩින් කොලයක ලියා එයට සුවඳද ගල්වා පෙම් හසුන් යැවීම එකල පෙම්වතුන්ගේ සුලබ අත්දැකීමක් විය. සතියකින් හමාරකින් හමුවන පෙම්වතුන් නම් සිය නිවසේ සමාජයේ තත්ත්වය කරදර හිරිහැර කම්කටොළු ලියා එවූ ඒ පෙම්පතට පිළිතුරු ලැබෙන්නේ ඊළඟ සතියේදීය. එය තරමක් ප්‍රමාද වූ සන්නිවේදන ක්‍රමයක් වුවද සංයමයෙන් දීර්ඝව කෙරුණු ලියවීමක් බැවින් නිතරම පෙම්පත් ලියන පිරිස තුළ සාහිත්‍යමය රසාස්වාදයක් ගැබ්ව තිබුණි.

 

1. නූතන එස්. එම්. එස්.

difference of love affairs in 90s and today

Source – odessey.com

SMS මෙන්ම වයිබර්, වට්සැප් ඉමෝ ආදී මාධ්‍යයන් ඔස්සේ සිය පෙම් පණිවුඩ හුවමාරු වන මෙකල එවැනි දීර්ඝතර වචන සිය දහස් ගණනේ ලියුම් හුවමාරුවක් සිදු නොවේ. ඇතැම්විටක දීර්ග මැසේජයක් ටයිප් කරන්නට අකමැති පෙම්වතා එක් ඉමෝජියකින් පමණක්  පෙම්වතියට සිය අදහස ප්‍රකාශ කරති. කලක් තිස්සේ පෙරුම් පුරමින් ලිපිය ලැබෙනතෙක් බලාසිටීමේ ඉවසීමේ ගුණය ඉක්මවා බොහෝ කල් ගතවී ඇති සෙයින් එසැණින්ම යවන මැසේජයට පිළිතුරක් නොලැබුනේ වී නම් එතැන ඇතිවන්නේ අවුලකි.

ජංගම දුරකථන වඩාත් ජනප්‍රිය වීම මෙන්ම ලාබදායී වීම නිසාම පෙර පරිදි ලියමන් ලියමින් කොළ නාස්ති  නොකරන නූතන පෙම්වතුන් රාත්‍රියේදී පැයක් දෙකක් මල් කැඩීම සිදු කරති. මුල් කාලයේදී හමුවූ තැන් සිට මසක් දෙකක් යනතෙක් පැය ගණනාවක් දක්වා මල් කැඩීම් සිදුවන අතර කාලයත් සමඟ මල් කඩන කාලයේද දිග අඩුවීම සිදු වේ. ලිපි ලියූ යුගයේ එකිනෙකාගේ හඬ ඇසීමට මගක් තිබුණේ එහෙමත් මහේෂාක්‍ය දුරකථන හිමි පැලැන්තියක පෙම්වතුන් ට පමණි. එහෙත් මෙම මල් කැඩීම් මැසේජ් ආදිය යැවීම් නම් අද රුපියල් දෙදාහකට විතර මිලදී ගන්නා ෆෝනයකින් වුව කළ හැකි දේය. මෙම ජෝඩු එකතු වී මල් කඩන කාර්යයට උල් පන්දම් දෙන්නාක් මෙන් එයට ම සැදුනු සිම් වෙලෙන්දෝද වෙති. ප්‍රේම කරන වයසේ යයි සැක කරන සෑම අයෙක්ටම කපල් පැකේජ් බලෙන් මෙන් විකුණන්නට හදන වෙළද ප්‍රජාවක්ද ඇතැම් බස්නැවතුම් ප්‍රදර්ශන ආදී ජනාකීර්ණ ස්ථානවලදී අපිට හමු වේ.

 

2. ප්‍රේමයට මුල පිරීම

difference of love affairs in 90s and today

Source – lunchactually.com

එකල චාරිකාවක් යන කල නාඹර ඉලන්දාරින්ගේ සාක්කු වල කුඩා චිට් කැබලි රැසකි. සිය ඇඩ්‍රසය ලියූ කොල කැබලි දුටු දුටු කෙල්ලන් වෙත විසික් කරන ඔවුහු ඒවා එකක් හෝ වැඩකරාවිය යන සිතුවිල්ලෙන් පසුවෙති. එසේම එකල පල වූ පුවත්පත් වලද මංගල යෝජනා වලට අමතරව මල් පුවත්පත් වල මිතුරු මිතුරියන් හඳුනාගන්නා තීරුද පළ විය. අද තත්ත්වය වෙනස්ය. යුවතියක හමු වී නම් ඇයද යම් රුකුලක් දෙන්නේ වී නම් ඊළඟට සිදු වන්නේ නම්බර් හුවමාරුවයි.

නම්බර් එකක් ගැනීම යනු පෙම් කතාවෙන් සෑහෙන කොටසක් සම්පූර්ණ වූවාක් වැනි සිද්ධියකි. එතැන් පටන් බයෙන් බයෙන් යාන්තමින් පටන් ගන්නා ඇමතුම හෝ මැසේජ් කිරීම වැඩිදියුණු වී පෙම් කතාවක් බවට පත්වන්නට දින කිහිපයක් ගතවන්නේද නැති අවස්ථා තිබේ. එහි වරදක් ඇතැයි සැලකිය නොහේ.

 

3. බැඳීම් ඇති වීම සහ වේගය

difference of love affairs in 90s and today

Source – huffpost.com

ඇතැම් පෙම්වතුන් කතාන්දර වල කියන්නාක් මෙන් සංසාරගත බැදීම් නිසා හෝ දුටුවනම එකිනෙකා කෙරෙහි ඉක්මනින් බැදෙති. එය එකලද මෙකලද එසේය. එහෙත් සන්නිවේදනයේ වේගය වැඩිවීම නිසා පෙම් සබදතා ඇතිවීමට යන විශාල කාලය අද වනවිට අඩු වී තිබේ.

මෙය නරක අන්තයට ගියද එයද එසේමය අනියම් සබදතා ඇතිවීමටද නූතන ස්මාට්ෆෝන් තාක්ෂනයේ දියුණුව වැදගත් වී තිබේ. එතැනද සිදුවන්නේ ස්මාට්ෆෝන් නිසා අයථා සම්බන්ධකම් ඇතිවීමකට වඩා අනියම කෙරෙහි නැඹුරුවන අයට ස්මාට්ෆෝන් නැමති උපාංගය හමු වීමකි. එය වේගවත් මෙන්ම විශ්වාසනීය පණීවුඩ හුවමාරු ක්‍රමයක් වන බැවින් සත්‍ය ප්‍රේම භෘංග රාජයින්ට මෙන්ම කාම රාජිණියන්ට සහ රජුන්ටද නූතන සන්නිවේදනය ඇති කර දෙන්නේ කදිම වේදිකාවකි.

 

4. ප්‍රේම කතා බිඳ වැටීම

difference of love affairs in 90s and today

Source – odessey.com

ලියුම් ලියන කාලයේදී  “මම ලියුම් නම් එකක් දෙකක් කියලා නෙමෙයි, දහයක් විතර මේ මාස දෙකට එවලා ඇති. ඒත් ඔයාගෙන් කිසිම උත්තරයක් මේ වනතෙක් නැහැ.. වටෙන් පිටෙන් ආරංචි වෙන විදියට දැන් ඔයා ඉස්සර හිටපු කෙනා නෙමෙයි. මටත් ඒක කිහිප විටක්ම ඇඟවිලයි තිබුණේ. කොහොම වුනත්  ඔබ මගෙන් ඉවතට පොලා පනින මේ වේගය තුළ මට සිතෙන්නේ මා මුලාවීම පමණක් මට ඉතිරි වන්නට නියමිත බවකි. “ ආදී ලෙසින් ලියුම් ගනුදෙනු වලට උත්තර නොමැති වී ඒවා බිඳවැටීම සිදුවිය.

අද සිදුවන්නේ දිගින් දිගටම ෆෝන් එකෙන් මැසේජ් යවන ආකාර සියල්ලටම පාහේ උත්තර නොමැති වේ. නැතිනම් වෙනදා පැය ගණන් කතා කරන ඇය හෝ ඔහු අධික ලෙස ජනාධිපතිටත් වඩා බිසී වේ. එවිට අදාල පාර්ශව විසින් නිසියාකාර පරීක්ෂණ පවත්වා හේතු සොයාගෙන ඒවා මැඬගෙන යන අවස්ථාද වේ. එසේම “ඔබ යන්නම යනවා ඔබ ඒ දෙසටම යන්න..” කියමින් යන අයට යන්නම දෙන අයද සිටී. 90 දශකයේ මෙන් ලියුම් වලට උත්තර නොලැබී මාස ගණන් සිටින්නට අවශ්‍යතාවයක් අද නොමැත. අද දිනක් දෙකක් තුනක් යනවිට යම් වෙනසක් හොඳින්ම හඳුනාගත හැකිය.

 

5. ස්මාට් ෆෝන් හොඳ ද? නරක ද?

difference of love affairs in 90s and today

Source – Amila chathuranga

මිනිසුන් ප්‍රේම කිරීම යනු ස්වාභාවික සංසිද්ධියකි. එය ලියුම් ගනුදෙනු වූ යුගයේ දී ලියුම් මගින් හුවමාරු වූ අතර අද කාලයේ ජංගම දුරකථන තුලින් ප්‍රේම කතා ලියලා වැඩී ඇතැම් විට විනාශ වීද යනු දකින්නට හැකිය. ඒ කාලයේ තිබෙන සන්නිවේදන මාධ්‍යය අනුව ප්‍රේම කතාවන්හිද ස්වරූපය නිරන්තරයෙන් වෙනස්වීමට බඳුන් වේ. එය නිවැරදි ද වැරදි ද යන්න විග්‍රහ කිරිමට වඩා ඒ අයහපත් යම් දෙයක් වෙත්නම් එය මැඬගෙන සාර්ථක සම්බන්ධතාවයන් පිණිස ස්මාට්ෆෝන් සහ සන්නිවේදන ක්‍රම පාවිච්චි කිරීම කළ යුතුය. එසේ නොමැතිව ස්මාට්ෆෝන් බම්බුව නිසා ලවු එකත් ඉවරයි කියා නැවතත් ලියුම් යුගයට ගමන් කිරීමට අප දැන්නම් හොඳටම පරක්කු වැඩිය.

 
Cover Image Source – raptj.ucoz.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *