මහ වන මැද උරුමය සොයාගිය අරසිමලේ ශ්‍රමදාන චාරිකාව

Arasimale monastery network renovation

අරසිමලේ යනු පුල්මුඩේ ආසන්නයේ ඇති රමනීය වෙරළ තීරයකි. එම වෙරළාසන්නව අරසිමලේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ. එම පුල්මුඩේ දිසාව එක්තරා කලකදී බෞද්ධ ජනතාව වාසය කල පලාතක් බැව් තැන තැන හමුවන පුරාවස්තු වලින් සනාත වේ. යුද්ධය හමාර වී වසර ගණනාවක් ගත වුවද තවමත් මෙම පුල්මුඩේ පලාත ජනශුන්‍ය පලාතකි. ඇතැම් කඩමන්ඩියක මුස්ලිම් ජනයා එකට පොදි ගැසී ජීවත් වුනද එයින් එහා ගම්මාන තවමත් එකිනෙකින් බොහෝ දුරස්ව පාලු ස්වභාවයකින් පවතී. මහා මාර්ග ගත්තද හොඳින් තනා ඇති මාර්ගයන්හි පැයකට වාහන තුන හතරකට වඩා ධාවනය නොවන තරම්ය. ඒ දුවන වාහනද ඇතැම් විට ත්‍රී රෝද රියකි නැත්නම් ට්‍රැක්ටර් රථයකි.

 

1. අරසිමලේ ආරණය ජාලය

Arasimale monastery network renovation

දමිල බසින් තේරුම හාල් කන්ද වූ අරසිමලේ වෙරලේ සහල් වන් වැලි මිටක් ( Amila )

අරසිමලේ නම් වූ සමුද්‍රාසන්න රමණීය ආරණ්‍ය සේනාසය මෙන්ම තවත් වන මැද පිහිටි ආරණ්‍ය සේනාසන කිහිපයක්ම මේ අරසිමලේ ආරණ්‍ය සේනාසන ජාලයට අයත්ය. යාන් ඔයෙන් පෝෂණය වන පුල්මුඩේ අසල වන බිම් වල පිහිටි මෙම සේනාසන වල භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරති. ඒ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන සෑම සියලු දෙයක්ම සැපයෙන්නේ අරසිමලේ ශාන්ති විහාරයෙනි. ශාන්ති විහාරය පුල්මුඩේ සිට බෝගස් හන්දිය දක්වා මාර්ගයේ පිහිටා තිබේ. වස්සාන කාලය වූ හෙයින් අපි ගිය අගෝස්තු මාසයේදී භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තැනූ කුටිවල ස්වාමින් වහන්සේලා වැඩිවශයෙන්  වැඩ සිටියේ නැත. එහෙත් අනෙක් කලට ස්වාමින් වහන්සේලා ඒ ස්ථාන වල වැඩවාසය කරයි.

 

2. ආරණ්‍යගත භාවනානුයෝගී ස්වාමින් වහන්සේලා

Arasimale monastery network renovation

ස්වාමින් වහන්සේට හීල්දානය පිලිගන්වන අවස්ථාව ( Amila )

බෞද්ධ භික්ෂූන් ගිහියන් හා සමව බොහෝ දේ වෙනුවෙන් පෙනී සිටින ආකාරයක් රූපවාහිනී සහ වෙනත් මාධ්‍යයෙන් නිතරම අප දකිනු ලැබේ. විවිධාකාර ලෞකික දේ රැකබලාගැනීම සහ හදාවඩාගැනීම පිණිස බෞද්ධ භික්ෂූන් මැදිහත් වෙති. නමුත් ආරණ්‍යගත සම්ප්‍රදාය තුල තවමත් භික්ෂුව යනු සාමාන්‍ය සමාජය හා නොගැටෙන කෙලෙස් ඇති තැනින් ඈත් වී හුදකලාව දිවිගෙවන යෝගාවචර සමාජයකි. ඒ භික්ෂූහු වන මැද සෙනසුන්හි කුටිවල සිට ත්‍රිපිටකය අධ්‍යයනය කරමින් භාවනා කටයුතු කරමින් එලොව වැඩ පිණිසම කටයුතු කරනු ලැබේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ ආරණ්‍ය සම්ප්‍රදායේ එන භික්ෂුවකගේ නියම ඇවතුම් පැවතුම් දැකීම පවා සාමාන්‍ය මිනිස් සිතට ඇතිකරන්නේ සුවදායී හැගීමකි.

 

3. ශාන්ති විහාරය හා එහි වගකීම

Arasimale monastery network renovation

අතරමගදි හමුවුනු ගව රංචුවක් ( Amila )

එක් කුටියක කලක් වැඩවාසය කිරීම පවා ඒ කුටියට කුටිය ආශ්‍රිතව ගොඩනැගෙන සමාජ වටපිටාවට ඇතිකරන අනවශ්‍ය ඇල්මක් වන හෙයින් එම ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලා සිය වැඩවාසය කරන කුටි සහ කුටි සහිත පළාත පවා විටින් විට මාරුකරනු ලැබේ. ඇතැම් ආරණ්‍ය සේනාසන වටා ගිහි පිරිස් එකතුව එවන් ස්වාමින් වහන්සේලා උදෙසා දානමාන පිරිකර සම්පාදනය සිදුකලත් අරසිමලේ සෙනසුන තුල ඒ කාර්යය පනාමුරේ තිලකවංශ ලොකුහාමුදුරුවෝ සහ පනාමුරේ ශාන්තවංශ පොඩි හාමුදරුවෝ නොපිරිහෙලා ඉටු කරති. පුරාවිද්‍යාව ගැනද හසල දැනුමක් ඇති තිලකවංශ ලොකු හාමුදරුවෝ පලාතේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන සොයාබලා ඒවා පිළිබඳ කටයුතුද සොයා බලමින් ඉටුකරනු ලබයි.

 

4. අපගේ ශ්‍රමදානය

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායමක් සමග එකතු වූ අපි 18 දෙනෙකුගෙන් සමන්විත මුළු පිරිස සිකුරාදා දින අලුයම වනවිට ශාන්ති විහාරයට ලං වූයේ කොළඹින් ජානකපුර බස්රියේ ගොස් බෝගස් හන්දියේ බැස එතැනින් නාවුක හමුදාවේ වාහනයක්ද සම්බන්ධ කරගනිමිනි. විහාරය ආසන්නයේ ශ්‍රමදානමය පිංකමක් යෙදී ඇති බැව් දැන සිටියද ඒ කුමක්දැයි අපි වැඩ ආරම්භ කරන තෙක්ම දැනසිටියේ නැත. අපි යන එන කැලෑබද ස්ථානවල අහල පහල කඩයක් තබා මනුෂ්‍ය වාසයක් දකින්නට පවා කිලෝමීටර ගණනාවක් රළු මාර්ගයන්හි ගමන් කල යුතුය. එබැවින් කෑම බීම පිසීප පිණිස අවැසි සියලුම කලමනා සහ ශ්‍රමදානයට අවශ්‍ය ආයුධ බාල්දි ආදිය සියල්ලම සකස් කරගන්නා ලදී. අපට වනයට යෑමට වාහනයක් එනතෙක් සියල්ලෝ දෑස් දල්වාගෙන සිටියත් පැමිණියේ මහේෂ් නැමැති කඩිසර වේගවත් රියදුරු මහතාගේ දෑතින් මෙහෙයවුනු මහ ට්‍රැක්ටරයකි. එම ට්‍රැක්ටරය නොමැති නම් මගක් හසරක් නොමැති මහ වනයේ අප වැනි විශාල පිරිසකට යා හැකි වෙනත් මගක් නොමැත.

 

5. ශ්‍රමදාන බිමෙහි කටයුතු

Arasimale monastery network renovation

ඇතා නැගි ගල ලෙස හදුන්වන මෙතැන ගල්තලාව මත පුරාණ චෛත්‍යයක නටඹුන් තිබේ ( Amila )

අප මුල් දිනයේ මිහිදුලෙන ආරණ්‍ය සේනාසන භූමියේ වූ කුටි පිරිසිදු කිරීමේ කාර්යයන් වල නිරත වූ අතර එක් ස්වාමින් වහන්සේ නමක් වැඩවාසය කළ යාන් ඔය අසල කුටියකට වැලි ඇතිරීමේ කාර්යයද සාර්ථකව සිදු කරනු ලැබීය.

දෙවන දින ඇතා නැඟි ගල නම් පුරාවිද්‍යා වැදගත්කමකින් හෙබි පැරණි චෛත්‍යයක නටඹුන් සහිත මනරම් ගල් තලාවක් වෙත ලගා වූයේ කිලෝමීටර දෙක තුනක් පයින්ම මග ගෙවාගනය. එතැන ගලේ පිිහිටි පොකුණක් හිස්කොට මඩ ඉවත්කිරීමට අප දායක වුනෙමු. ඊට අමතරව දාන ශාලාවේ සිට කුටි දක්වා වූ ජලනල පද්ධතියක්ද ස්ථාපනය කිරීම අප අතින් සිදු විය.

දෙවන දින රාත්‍රී ශාන්ති විහාරයට පැමිණ රැය පහන්කල අප කන්ඩායම තෙවන දින මෙහෙයුම පිණිස කුච්චුවේලි හි ඉදිකොට ඇති නව ලේවායෙන් එපිට වූ බඹරගල සහ දෙබරගල නම් වූ ආරණ්‍ය සේනාසන වෙත ලගාවුනෙමු. ලේවායේ ඉහල කොටසේ වූ දියතලා මතින් ට්‍රැක්ටර් රථය ගමන් කළේය. එහිදී නව කුටි සදහා බිම හෙළි කිරීමත් ඉදිකිරිම් පිණීස වැලි එකතු කිරීමත් අපි අතින් සිදු විය.

එදින සවස්භාගයේ අරසිමලේ ආරණ්‍ය සේනාසනය අසබඩ සෝබමාන වෙරළ තීරයට පැන අපි සියල්ලෝ හොදින් නාගෙන රාත්‍රීකොළඹ බලා එන බසයකට නැග ගතිමු.

 

6. දිවියට මහඟු අත්දැකීම්

Arasimale monastery network renovation

ගල්තලාවක් මත විසීරී ඇති තවමත් වැඩි විස්තර සොයානොගත් පුරාවස්තු ( Amila )

මෙම පළාතේ ගල් උඩ ඉපැරණි සිද්ධස්ථාන නටඹුන් තිබේ. ඒවා අසබඩ හිරිගඬු සෑයේ සම්බන්ධයක් ඇතැයිද සැලකේ. ත්‍රස්ථවාදී කලබල නිසා නික්මුනු ජනතාව නිසා තවමත් මේ පළාත් පාළුවී ගොස් ය.

අපට දින තුනේම හොදින් නාගැනීමේ පහසුව ලැබුණි. පළමු දින යාන් ඔයෙන්ද දෙවන දින යාන් ඔයේම කදිම වේල්ලක් අසලින්ද තෙවැනි දින අරසිමලේ මුහුදු වෙරලේද වශයෙනි. එහිදී පිරිස දිය ක්‍රීඩාවන්හි ද නිරත වුණා. පලමු දිනයේ රාත්‍රී ඒකුටියෙක වැඩවාසය කල සුදන්ත ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න විචාරීමේ අවස්ථාවක් අපිට ලැබුණි. පිරිස එල්ල කළ විවිධාකර ප්‍රශ්න වලට ස්වාමින් වහන්සේ සන්සුන්ව සෘජුව පිළිතුරු ලබාදුනි.

කැති උදලු සවල් බාල්දි වැඩ අපි කිසිවෙකුටත් හුරු නොවීය. විටෙක නායක ස්වාමින් වහන්සේම අපිට ආයුධ අල්ලන ආකාරය පවා කියා දුනි. එහෙත් සැලකිය යුතු වැඩකොටසක් අපගේ ශ්‍රමයෙන් ආරණය ජාලය වෙත දායාද කිරීමට අපිට හැකි විය.

 

7. චාරිකාවක් ලෙස

Arasimale monastery network renovation

දුෂ්කර මගෙහි ටොපිගල නොහොත් බඹරගල වෙත ඇදෙමින් ( Amila )

එකල රජදරුවන්ගේ මෙහෙයවීමෙන් වෙහෙර විහාර තැනුවත් ඒ සදහා වෙහෙස මහන්සි වූයේ අපගේම මුතුන් මිත්තෝය. පසුකලෙක ජේතවනය අභයගිරිය මහා චේතිය ආදී විහාරාරාම ප්‍රතිසංස්කරණයටද නූතන පරම්පරාවේ ජනතාවද ශ්‍රමයෙන් දායක විය. එක් පසෙකින් ඒ පැරණි නටඹුන් සහ බුදුදහම ගැන දැනුම ලබාගත හැකි මගකි. අනෙක් පසින් ආගන්තුක පළාතක දර්ශනීය භූමි දර්ශන ගස් ගල් වනපෙත් දැකිය හැකි මඟකි. ඒ ආරාමවලට, දායක සභාවට සහ අසල වැසියනට හිරිහැර නොවන පරිදි මෙවන් වූ දායකත්වයන් සංවිධානය කරගත හැකිනම් එයින් අපට අමුතුම ආකාරයේ අත්දැකීම් රැසක් ලබාගැනීමේ මාහැඟි අවස්ථාවක් ලැබේ. එය ජාතික උරුමයන් දැකබලාගෙන අනාගත පරපුර වෙත ඒවා රැකගන්නටද මනා පිටුවහලක් වෙනු නොඅනුමානය.

 
Cover Image Source – Amila Chaturanga
 

zvr
Your Reaction

Comments