දැන් ඔය රජාලා වගේ පාටියකට ගිහින් ගෙදර ගියාට ඉස්සර අපි පාටියක් ඉවර වෙලා ගෙදර යන්න කාපු කට්ට දන්නෙ අපි විතරයි. බිවුව විත්තිය තේරිලා අම්මට දුක හිතුණොත් බීපුවායින් වැඩක් නැති තරමට දුකක් හිතට එනව. මීටර් දෙසීයක් දුරින් ඇවිදගෙන එන විදිය දැකලා බීපු බ්‍රෑන්ඩ් එකයි බීපු ප්‍රමාණෙයි කියන්න පුළුවන් තාත්තගෙ එක්ස්පීරියන්ස් එකට අපිට ඒ කාලෙ අභියෝග කරන්න පුළුවන් මට්ටමක් තිබුණෙත් නෑ. ඒ වගේම එවුවට ගානට පිදුරු දාන්න සහෝදර සහෝදරියො කියලා වසවර්තියො ටිකකුත් ගෙදර හිටියා. මේ කියන්න යන්නෙ ඔන්න ඔහොම සීන් වෙද්දි රෙද්දක් ඇඳගෙන ගෙදර එන්න කොල්ලො විදියට අපි ගහපු දහම් ගැට ගැනයි.
1. පුසුඹ ලෝකයයි

Source – twitter.com
අම්බේ පුසුඹේ බැරුවා කියල කියවෙන්න තරමට දාගන්නව සෙන්ට් ඇඟට. ඉස්සර අපේ කොල්ලො ඔය ට්‍රික් එක කරන්න ගිහිල්ල පුදුම විදියට චාටර් වෙන සිද්ධි සිද්ධ වුණා. අම්මට බයේ සෙන්ට් වැඩිපුර දාගෙන ගියාම අම්ම හිතන්න ගන්නව වෙනිං හේතුවක්. සාමාන්‍යයෙන් අම්මා ඔය වෙනිං හේතුව ගැන තනියෙන් හිතල හිතල බයවෙලා අඬලා අඬලා අපෙන් අහන්න එන්නෙ ටිකක් රෑ වුණාට පස්සෙ. පස්සෙ ඇවිල්ල උඹ කවුරුහරි ගෑණියෙක් එක්ක ගියාද පුතේ කියල ඇහුවම කොල්ලගෙ පපුව හෝස් ගාල දාලා යනව. යකෝ නොකරපු වැරදි අකවුන්ට් එකට දාන්නවට වැඩිය හොඳයි කරපු වැරදි පිළිගන්න එක කියල හිතල පොර අම්ම ඉස්සරහ ඔක්කොම වමාරනව.
2. අඹ පේරේ

Source – sonnyphotos.com
කතාවට අඹ පේරේ කියල කිවුවට ඇත්තටම මේක දෙවිදියකටයි පාවිච්චි කරේ. සාමාන්‍යයෙන් මෙහෙම අඩියක් ගහන්න ගියාම ගෙදර එන්න බයට කර්තකොලොම්බන් අඹ ගෙඩියක් අරගෙන කට වටේම ගාගෙන කන එක සාර්ථක සිස්ටම් එකක්. කර්තකොලොම්බන් සුවඳ ටිකක් දුරට විහිදෙනවත්නෙ. හැබැයි ඔන්න පේර කන්නෙ නං ගෙඩි නෙමෙයි. පේර කොළ කාලා හොඳට ඕක් පාර දාලා කිසි බියක් සැකක් නැතුව ගෙදරට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනව. ඇත්තටම පේරකොල තමයි වැඩේ අහුනොවෙන්න තියෙන හොඳම ස්වභාවික විසඳුම.
3. තැඹිලි

Source – twitter.com
සාමාන්‍යයෙන් කතාවට කියනවනෙ සේලයින් වගේ නිසා වෙරි බහින්න තැඹිලිවලින් ලොකු වාසියක් ගන්න පුළුවන් කියල. දැන් ඉතිං අපි අඩියක් ගහලා පහුවදා උදේට තියෙන මුස්පේන්තු ගතිය යවාගන්න තැඹිලි බිවුවට ඉස්සර තැඹිලි බිවුවෙ අවුලක් නැතුව ගෙදර යන්න පුළුවන් වෙන්න හිතාගෙන. අපේ එක ඩයල් එකක් අවුලක් නැතිවෙන්න කියල තැඹිලි ගෙඩි තුනක් බීලා පොරට සෙම තිබ්බ දවස් පහක් යනකං.
4. පූර්ව අවසර

Source – youtube.com
මෙන්න මේකත් බීලා චාටර් නොවී ගෙදර එන්න හොඳ විදියක්. ඒකට හොඳම විදිය තමයි යාලුවෙක්ව පාවලා දෙන එක. ඒකත් නිකංම නිකං අපත යාලුවෙක්ව පාවලා දීලා වැඩක් නැහැ. පාවලා දෙන එකේ අම්මලාගෙ හොඳ නම දිනාගත්තු සුදු පුතා ටයිප් යාලුවෙක්ම පාවලා දෙන්න ඕන. ඒකෙදි පොරගෙ ප්‍රශ්නයක් නිසා උගෙ හිත හදන්න ගිය සීන් එක ඉස්මතු කරලා බොරුව ගහන්න ඕන. ඒ වගේම ඔය බොරුව තාත්තාගේ කණට යන්න දෙන්නත් හොඳ නෑ.
5. ඔන්ද කෝල්

Source – movietechgeeks.com
මේ වැඩේ කරන්න පුළුවන් හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන ඩයල්ස්වලට විතරයි. හරිම සරලයි. ගේ ගාවදි ෆෝන් එක සයිලන්ට් දාගෙන තියාගන්නව බොරුවට කණේ. ඊටපස්සෙ ඉතාමත් වේගයෙන් ගෙදර අනතුරු දායකම ඒරියා එක වෙන සාලය පාස් කිරීම සිද්ධ කරන්න ඕන. එතනදී ඉතා වැදගත් අධ්‍යාපනික කරුණක් ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නං හොඳයි. ඒත් එහෙම කතා කරන්නවත් අධ්‍යාපනික දැනුමක් නැත්තං සමාජ අර්බුදයක් ගැනවත් කතා කරන්න අපි ඒ දවස්වල ප්‍රැක්ටිස් පිට හිටියා. එහෙම්ම කාමරේට ගියා තුවාය ගත්තා, වොෂ්රූම් ගියා. වෙරි බහිනකං නාන්නයි තියෙන්නෙ.
6. ඔළුබක්කා

Source – desk7.net
මේකත් වැඩේට සාර්ථක ක්‍රමයක්. ඒ තමයි ඔළුබක්කා සිස්ටම් එක. මේක කරන්න පුළුවන් බයිසිකලේ යන එන ඩයල්වලට තමයි. හෙල්මට් ඔළුවෙ දාගෙනම ගේ ඇතුළට සේන්දු වීම තමයි සිස්ටම් එක. මේක බැලූ බැල්මට සරලයි කියල පෙනුණට අපේ කොල්ලෙකුට සිද්ධ වෙච්ච කතාව ඇහුවම වැඩේ සංකීර්ණ බව ඔයාලටත් වැටහේවි. අපේ බුවා හෙල්මට් එක දාගෙනම කාමරේට ගියාලු. වැඩේ සාර්ථකයිලු. හෙමින්ම තුවාය අරන් වොෂ්රූම් රිංගුවලු. හොඳට නාලා, සාලෙට ඇවිල්ල ටිකක් වෙලා වාඩි වෙලා හිටියලු. මල්ලි එක්කත් වචනයක් දෙකක් කතා කරලා බඩගිනි නෑ කියල හොරාට ඇඳට ගිහින් නිදාගත්තලු. උදේ ඇහැරෙනකොට බෙල්ල හොඳටම රිදෙනවලු. බලද්දි මල්ලි තමයි රෑ තාත්ත එක්ක කාරේට ඇවිල්ල හෙල්මට් එක ගලවල තියෙන්නෙ. මූ සාලෙට ඇවිල්ල කතා කරල තියෙන්නෙ, නාලා තියෙන්නෙ, නිදාගෙන තියෙන්නෙ ඔක්කොම හෙල්මට් එක දාගෙනමයි. ඔයාල නං ඒ විදියට චාටර් වෙලා නැතුව ඇති. අපිටත් කියන්න ඔයාලගෙ අත්දැකීම් කමෙන්ට් එකකින්.
Cover Image Source – lifehack.com
Leave a Reply