අපේ ළමා සාහිත්‍ය කලාවේ මහා පහන් කණු

legends who made up lankan literature for children

පුරාතනයේ ගැමි ගෙදර හැදුණු වැඩුණු දරුවා කතාන්දර කවි ඉගෙන ගත්තේ දෙමාපිය වැඩිහිටියන්ගෙනි. එයිනුත් මහළුවියේ පසුවන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෝ රස මවමින් දරුවන්ට කතාන්දර කවි කියාදෙන්නට රුසියෝ වූහ. පිල මත හෝ මිදුලේ වාඩි වූ කුඩා දරුවන්ට රස කතා කියමින් තාලෙට කවි සින්දු කියමින් ඔවුන්ට ආදර්ශමත් කතා මෙන්ම සාහිත්‍ය රසාංගද ඉදිරිපත් කරන්නට වැඩිහිටියෝ ඉදිරිපත් විය. එය වාචිකව කලාව සාහිත්‍යය දරුවන්ගේ මනසට ගිය ක්‍රමයකි. අපගේ ජාතක පොත, පඤ්ච තන්ත්‍රය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලිය ආදී පොත පත වල වූයේ එක් කතාවක් දෙකක් නොවේ. එකිනෙක බැඳුනු කතා සිය ගණනකි. උතුම් වූ සද්ධර්මය වඩාත් සරල කරන්නට යෙදූ ඇතැම් කතාන්දර තුලින් මනා සාහිත්‍ය රසයක්ද විහිදෙන්නට විය. එහි ආශ්වාදය කුඩා දරුවන්ගේ මනසට කාවද්දන්නට එවකට වූ වැඩිහිටියෝ සමත් වූහ .

1. කුමාරතුංග මුණිදාස

legends who made up lankan literature for children

Source – lifie graphics / wikipedia.org / godage books

සිංහල භාෂාව ගැන ගැන ඇතැම් පාර්ශව වලදි දැඩි මතධාරියෙකු වුවද කුමාරතුංග මුණිදාස මහතාගේ ළමා කතා නම් කුඩා දරුවන්ට නූතන කාලයේ පවා උචිත වූ කතාන්දරය. කතාන්දර පමණක් නොව ඉතාම කෙටි කවි පබැඳීමටද කුමාරතුංගයෝ දක්ෂයෙක් වූයේය.

ගස අගනා

අර රඳනා

මලට මනා

බොහොම හිනා

නා මල විස්තර කරන මෙය දරුවාට කීමට මෙන්ම අරුත අතින්ද පොහොසත් කවියකි. කෙටි වුවද කුමාරතුංග මහතාගේ කවි  දරුවනට ආදර්ශ ලබාදෙන කවි පන්තීන්ම විය. යහපත් දරුවෙකුගේ හැසීරීම දක්වන සිරිමත් ගැනවූ කවි පංතියද කුමාරතුංග මහතාගේ නිමැවුමකි.

මඟුල් කෑම සහ හීන්සැරය කුමාරතුංග මහතා ලියූ ප්‍රකට ළමා සාහිත්‍ය පොත් දෙකකි. අලි රාලහාමිට වන්නට වුනු නස්පැත්තියක් විස්තර කරන හීන්සැරයේ කොටසක් පාඩම් පෙළපොත්වලද කලක් යනතෙක් රැදී තිබුනි. හිසත් දෙපතුලත් එකවර සීතල වුවහොත් මරණය ලගා වෙනවා යැයි ඇදහූ නූගත් මිනිසෙකු වටා ගෙතුන හත් පණ ද කුමාරතුංගයන්ගේ වටිනා ළමා සාහිත්‍ය කෘතියකි. කුමාරතුංග මුණිදාස මහතා කවි ලිවූ බස මෙන්ම ළමා පොත පත ලියූ බසද ඔහු විසින් විවාද වාද වලට භාවිතා කළ බසට වඩා බෙහෙවින් සරල එකකි. එම නිසාම එතුමාණෝ ගේ ළමා කවි කතාන්දර අදටත් අප සමාජයේ වැජඹේ.

 

2. මාර්ටින් වික්‍රමසිංහ

legends who made up lankan literature for children

Source – lifie graphics / goodread.com

මඩොල් දූව මාර්ටින් වික්‍රමසිංහ ගේ ජනප්‍රියම ළමා පොතය. වැඩෙන ළමයාට ගැලපෙන මඩොල් දූවෙන් කොග්ගල වූ දූපතක් සහ ඒ තරණයට යන දරුවන් දෙදෙනෙක් ගැන කතා වේ. එය තරමක රහස් පරික්ෂක ළමා කතාවක ස්වරූපයද අත් කරගත් කතාවකි.

මාර්ටින් වික්‍රමසිංහ ගේ සාහිත්‍ය තුල ඔහු කිසිවිටක පොත පත තුලට හරසුන් ලිංගික ආලිංගන ආදිය ඇතුලත් කරන්නේ නැත. එනම් ඒ කාරණා දරුවන්ට තේරුම් යන්නෙ නම් මාර්ටින් වික්‍රමසිංහගේ කවර කෘතියක් වුවද දරුවන්ට කියවන්නට දීමට බිය විය යුතු නොවේ. අපේ ගම සහ ගමේ විස්තර අලලා ලියූ මාර්ටින් වික්‍රමසිංහගේ කෘති කිහිපයකි. එසේම විද්‍යාව, ඉතිහාසය, කලාව ආදී විෂයයන් ගැනද එතුමා පොත් රැසක් ලියා තිබේ. ගැඹුරු මට්ටමේ සමාජ විනිවිද යන නවකතා ලියූවද වික්‍රමසිංහයෝ යම් දෙයක් ගැන සරල බසින් උපමා සහිතව පැහැදිලි කිරීමේ සමතෙකි. එබැවින් ළමා සාහිත්‍ය කෘති ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ මඩොල්දූව මෙන්ම ඔහුගේ අනෙක් විචාර, කෙටිකතා, නවකතා ආදී පොතපත ද දරුවන්ට රුචි නම් කියවීමට දීමට දෙවරක් සිතිය යුතු නොවේ.

 

3. ටී බී ඉලංගරත්න

legends who made up lankan literature for children

Source – lifie graphics / godage books

කටු අකුලේ මල් ඇහැරේ රළු අහසේ තරු හිනැහේ  යන තේමා ගීතයෙන් ඔපවත් වූ අඹ යහළුවෝ රූපවාහිනියේ ගිය ළමයින්ට ගැලපෙන ටෙලි නාට්‍ය අතලොස්සක් අතරින් එකකි. කිහිපවරක්ම නැවත විකාශය වුවද අද වැඩිහිටියන් වී ඇති එදා දරුවන් සහ යෞවනයින් නැවත නැවත අඹ යහලුවෝ නැරඹීමට කැමතිය.

අඹ යහළුවෝ කතාව අද කියවන විට නම් ටෙලි නාට්‍යයේ රූප රාමු වලින් චිත්‍රය මැවෙන්නේ වුවද එය වෙනමම රස විඳිය හැකිනම් කදිම නවකතාවකි. ටීබී ඉලංගරත්න මහතා ක්‍රියාකාරී දේශපාලනයේද නිරත වූ දක්ෂ ලේඛකයෙකි. හපනා නවකතාවද දරුවන්ට සුදුසු ඉලංගරත්නයන්ගේ පෑන් තුඩින් ලියැවුණු නවකතාවකි.

අඹ යහළුවෝ ටෙලි නාට්‍යය නිපදවන අවස්ථාව වනවිටත් අඹයහළුවෝ කෘතිය පිටපත් තිස්දාහකට වඩා විකිණී තිබුණි. මුද්‍රණයට සුදුසුදැයි බැලීමට බාර දි තිබුන අඹ යහළුවෝ කෘතිය ළමුන්ට නුසුදුසු එකකැයි සටහන් යොදා කොන්කර තිබුණි. එහෙත් පසුකලෙක ඉලංගරත්න සූරින් ඇමතිවරයෙකු වූ පසුව ඇමති පට්ටමේ අනුහසින් ම අඹ යහළුවෝ 1957 දි ප්‍රථම වරට මුද්‍රණය වන්නට විය.

 

4. සිබිල් වෙත්තසිංහ

legends who made up lankan literature for children

Source – lifie graphics / godage books

දියුණු රටවල නම් දරුවන් බහතෝරන අවධියේ සිට කියවිය හැකි,  වචන එතරම් නොවූ අලංකාර පිංතූරයන්ගෙන් ගහන කතාන්දර පොත් තිබේ. අපේ රටේ එම අඩුව වඩාත් පුළුල් ලෙසම සපුරාලිමට දායක වූයේ සිබිල් වෙත්තසිංහ නැන්දාය.

ඇයගේ කතාවල ඇත්තේ කතාකරන චිත්‍රය. ඇයම කතාව ලියා ඇයම සිත්තර ඇඳ කතාන්දර ඉතිරිපත් කරන සිබිල් වෙත්තසිංහ මහත්මිය 1956 දී සිය මුල්ම ළමා කතාන්දර පොත එළි දැක්වීය. ඒ අනුව පරම්පරා 4කවත් කුඩා දරුවෝ සිබිල් නැන්දාගේ කතා රසවිඳ ඇති බවට සැක නැත. එම කතා බලන විට බොහොම සරලවට පෙනුනාට එවැනි සිත්තර කතා බිහිකිරීම අමාරුය. දරුවාට මනසේ සිතුවම් මැවෙන ආකාරය ගැන සිතා නිර්මාණ කිරීමේ අසමසම හැකියාවක් සිබිල් වෙත්තසිංහ මහත්මියට විය. ඇය පළකර ඇති ළමා පොත් සංඛ්‍යාව 200කට අධික වේ.

 

5. නූතන ළමා සාහිත්‍ය නැඹුරුව

legends who made up lankan literature for children

Source – doleintcsr.com

අමෙරිකාවේ වෙසෙන ලාංකිකයෙකු මෑත කාලයේ ලංකාවේ රූපවාහිනී චැනලයක විකාශය වෙන කාටුන් චිත්‍රපට දැක පුදුමයට පත් වි තිබුණි. එනම් ඇමරිකාවේ දරුණු බිහිසුණු චරිත කපන කොටන මරන දර්ශන ඇතුලත් කාටුන් චිත්‍රපට දැන් දැන් දරුවන්ට නැරඹීමට ඉඩ නොදේ. දරුවන්ගේ වැඩෙන මනසට ගැලපෙන පරිදි ළමා නිර්මාණ තිබිය යුතුයැයි දැන් දැන් ඒ රටවල ජනයා සිතන්නට පටන් ගෙන ඇත.

අලංකාර චිත්‍ර ඇතුලත් කදිම කවරයක් තිබූ පලියට, ප්‍රසිද්ධ පරිවර්ථනයක් වූ පලියට ඒ කෘති ලමයින්ට සුදුසු වන්නේ නැත. ඇතැම් නවක පිරිස් පරිවර්තනය කරන සහ ලියන ළමා නවකතා කෙටිකතා රූප කතා ආදීයේ ඇත්තේ නූතන ලෝකයේ ළමුන්ට ගැලපෙන කතාන්දර නොවේ. එකිනෙකා කෙරෙහි වෛරය අවුළුවන තරහකාරයින්, කුමන්ත්‍රණකාරයින්, සතුරන් සමග ගැටුම් ඇතිකරන කතා වෙනුවට නූතන යුගයේ දී දරුවන් අතට දිය යුත්තේ දරුණු පුද්ගලයින් සමග පවා මනුෂ්‍ය ගතිගුණ වලින් ගනුදෙනු කරන, කරුණාවෙන්, මෛත්‍රියෙන් නපුර මෙල්ල කරන චරිත ඇතුලත් කතාන්දරය.

කුමාරතුංග, වික්‍රමසිංහ. ඉලංගරත්න, සිබිල් වෙත්තසිංහ ආදී පිරිසගෙන් කතා අද ද දරුවන්ට ගැලපෙන ගති ලක්ෂණ වලින් හෙබි කෘතීන්ය. කියවීමට සුදුසු පොත පත අඩුනම් ඒ පැරණි කෘතින් හෝ දරුවන් අතට දී කියවීම හුරුකරවීම දෙමාපිය වැඩිහිටියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුකමෙකි.

 
Cover Image Source – wikipedia.org / goodread.com / alamy.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *