ගංගා මෑණියන්ට අපි විහිළු නොකළ යුත්තේ ඇයි?

Ganga Maniyo

මේ දිනවල අන්තර්ජාලයේ සහ ෆේස්බුක් හී කළඹන මාතෘකාවක් වන්නේ ගංගා මෑණියන්ගේ සිදුවීමයි. ගංගා මෑණියන් යනු මේ දිනවල ඕනෑම ආකාරයේ මාතෘකාවකට ඈ‍ඳෙන චරිතයකි. ඇයගේ නම වැඩිපුරම ඈ‍ඳෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමගිනි. ඒ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඈ සිදු කළ කාර්යභාරයෙන් බිඳක් පිටතට නිකුත් කිරීම නිසා සිදුවූ අපහාස රැල්ලත් සමගිනි. ගංගා මෑණියන් යනු කිසිසේත්ම අපහාසයට ලක්කළ යුතු චරිතයක් නොවේ. ඇය පමණක් නොව සියළු ජ්‍යෝතිෂවේදීන් වැන්නවුන් උපහාසයට ලක් නොවිය යුතුය. මේ ඔවුන් වෙනුවෙන් අපගේ නැගී සිටීමයි. මේ ඔබ ගංගා මෑණියන්ට අපහාස නොකළ යුත්තේ ඇයිද කියා අප කළ විමසීමයි.

1. ආරම්භය

Ganga Maniyo

Source – dailymirror.lk / gettyimages.com

ඉන්දියාවේ ගංගා ග‍ඟේ මළ මිනී පාකර හරින ඉවුරු අගින් දියට බැසි කුඩා දියණියක් මළ පහ කර පශ්චාත් භාග සෝදන ඉවුරෙන් ගොඩට ආ වගත්, ඈ පිළිබඳ වෙනත් ආරංචියක් නැති බවත් නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට ගිය සිරස්තලය තිබූ පුවත්පතේ දෙවැනි ප්‍රධාන පුවත බවට පත්වූ සිදුවීමයි. ඒ ගංගා සුදර්ශනී මෑණියන්ය. ඇය හට දේව වරම ලැබුනේ එතැන් පටන්ය. කිසිකලෙක සිය හැකියාවන්ගෙන් මුදල් උපයා නොගත් ඇය තමන්ට රැකියාවක් ලබා දුන් මහා නරේන්ද්‍රයාණන් වන පර්සි රාජපක්ෂයානන්ට මතු රජකම පතන්නේ සිය මවු තෙදැති ආශිර්වාදීය සෙනෙහසිනි. ඇගේ බලය පසක් කරමින් රාජපක්ෂයාණෝ මිහිඳු නමින් රජ වූ තැන ඇය පිළිබඳ කිතු ගොස සඟවා තැබිය නොහැකි විය.

 

2. ටෙස්ට් මැච් ටිකවත් දිනවා දෙන නිසා

අප හැමදාමත් කතා කළේ අපට නැතිවුණු ටික පමණි. ඒ නැතිවුණු ටික ගැනම පසු තැවි තැවී සිටිද්දී අපට දිනාගැනීමට ලැබුණු ටික සහ  ඒ වෙනුවෙන් ලැබුණු ආශිර්වාදයන් සහ පන්නරයන් අපට අමතකව ගොසින්ය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය රැඳී ඇත්තේ ටෙස්ට් ක්‍රීඩාවේ බව ඕනෑම ක්‍රිකට් ජගතෙකු පවසන කරුණයි. දින පහක් මුළුල්ලේ ඉවසීම සහ කැපකිරීම මැද ටෙස්ට් තරගයක් ජයගැනීම පහසු නැත. එය අප වැනි ජයග්‍රහණය මෑත භාගයේම නුපුරුදු කණ්ඩායමකට, අනුන්ට පුරුදු අනුන්ගේ පසක, ජයග්‍රාහී කණ්ඩායමකට එරෙහිව සිදුකිරීම කිසිසේත්ම අපහසු කරුණකි. දැන්වත් ටෙස්ට් මැච් පසුපස ඇති සාර්ථකත්වය වටහා ගන්න. රටක් ලෙස ඇයගේ ශ්‍රී නාමයට අවමන් කිරීමෙන් එක් දින තරග අමු අමුවේ පරාජය වීම වගකීම ඔබේ කර මත තබාගන්න.

 

3. ඈ ජෑ මා කාලී

Ganga Maniyo

Source – lifie.lk

ඔබ සිතා සිටින්නේ තත්ත්වය ලෙහෙසි යැයි කියා විය හැක. ඔබේ විහිළුව ඔබ ෆේස්බුක් හී ටයිප් කළද, තවත් අයෙකු සමගින් පැවසුවද, ඔබේ සිතින් පමණක් සිතුවද එය දැනගන්නා තැනැත්තියක වෙයි. ඒ ශ්‍රී කාලී මෑණියන්ය. කාලී මෑණියන් ඔබගේ සිතෙහි දකින දූෂිත දෑ  දැක කම්පිතව සිටියද ගංගා මෑණියන් පිළිබඳ ඇතිවන පරිභවීය සිතුවිලි ඇය ඉවසා වදාරන්නේ නැත. යම් කිසි මොහොතක මෑණියන් ‍මට සතුරන් නැති වේවා යැයි ප්‍රාර්ථනා කර ජෑ මා කාලී කියූ සැනින් අප නින්දෙන් වුව මිය යා හැක. පසුව පසුතැවිලි නොවන්න. ඔබට පසුතැවිලි වන්නට වන්නේ පෙට්ටියේ සිට විය හැක.

 

4. දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා

ගීත සාහිත්‍යයේ එන සිදුවීමවල සැඟවුනු අරුත් කිසිකලෙක තේරුම් නොගන්නා ජාතියක් නම් කරන්න යැයි පැවසුව හොත් සිහල ජාතිය ඉහළින්ම තැබිය හැක. සුරංගනාවී නම් වූ ගීතයක් තරුණියක් පිළිබඳ ගයනවා යැයි කියා අප ඇන්දී සිටිමු. එය සුරංග නමැති තරුණයා නාන දෙස තොටුපලේ සිට බලාසිටි අන්ගැහැනුන් ලියූ ගීයකි. ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ යනු කඩයක් පටන් ගෙන අන්තෙට වැටුනු බිරින්දෑගෙන් සුවාමියා අසන පැණයකි. චන්දනගේ නිවසේ වතුර මලෙන් නාන ගමන් සිය පරපුරුෂයා වූ අංජන සොයා ගැන පරහැතිරිය පිළිබඳවද අප සිටියේ වෙනස් මතයකය. ඒ සියල්ල දරාගත හැක. අප උත්තම ශ්‍රී ගංගා සුදර්ශණී මෑණියන්ද මේ ගොඩට වැටීම ඉවසා සිටිය නොහැක. මෙහි වගකීමක් රෝහණ බෝගොඩයන්ද සතු බව සිහිපත් කළ යුතුය.

 

5. ආශිර්වාද අමාත්‍යාංශය

ඔබ තවම දකින්නේ මෙරටේ නායකයින් හොරෙන් හොරෙන් නිවසට ගොස් ගංගා මෑණියන් මුණගැසීම පමණකි. අනාගතය ඊට වෙනස් වනු ඇත. හැමදාමත් තමුන්ගේ බඩ වඩවා ගැනීම පමණක් සිදු කළ දේශපාළුවන්ට ගංගා මෑණියන්ගේ සරණ සිරි ලක්දිවටම පතල කරවන්නට සිදුවනු ඇත. එය නවතින්නේ විශාල ආශ්‍රමයකින් නොව ආශිර්වාද අමාත්‍යාංශයකින් බව අපට සක්සුදක් සේ පැහැදිලිය. ඕනෑම කටයුත්තක් ඇගේ ආශිර්වාද ලියවිල්ලකින් සුපෝෂණය වී සිදුවන විට කරන කරන කටයුත්ත සාර්ථක වීම නැවැත්විය නොහැක. ඇය මෙම ලියවිල්ල ලියන අප දෙසද කුළුණු ඇසින් බලාවියැයි අපගේ බලාපොරොත්තුවයි.

 

6. ඩේලි රිචුවල්

Ganga Maniyo

Source – alamy.com / youtube.com

ඔබ උදෑසන ඇහැරීමෙන් පසු සිදු කරන්නේ කුමක්ද? නිදිමතේම තේකක් පානය කිරීම, ටොයිලට් ගතව සිටීම, නිදි මරගාතේ ඇඳුම් හැඳ බසයට නැගීම විය හැක. එහෙත් අනාගතය මීට වඩා වෙනස් වනු ඇත. එය ප්‍රබෝධමත් සේම ධනාත්මක වනු ඇත. මළ පාන්දර රාජ්‍ය නාලිකාවක් හරහා ගංගා මෑණියන්ගේ ආශිර්වාද ලබාගැනීම අනාගතයේ උදේ තේක බීම වැනි ඩේලි රිචුවල් එකක් වීමට ඉඩ ඇත. ඔබට දැන් සිනහා නැගුණද එදිනට ඔබ පෙර සිට ඇයගේ ආධාරකරුවකු‍ නොවීම පිළිබඳ දුකක් දැනෙනු ඇත.

 

7. කෙළවුණු සියල්ලෝ යන්නේ ගංගා ගාවට නිසා

මෙතෙක් කල් ඔබ ජ්‍යොතිශය හෝ නොපෙනෙන බලවේග සම්බන්ධයෙන් දුටු යථාර්ථය කුමක්ද? බොහෝ දෙනෙකු එවැනි නක්ෂත්‍රකරුවන් ප්‍රකට කර පසුපස ඇදී යන්නේ ඔවුන්ට කරදරයක් සිදුවී ඇති කලෙක නොව, ඔවුන් සෞභාග්‍යයෙන් සිටින සමයේ බව ඔබ දැක නැතිද? සියල්ලන් නොපෙනෙන දෙයෙහි ‍පිහිට පතන්නේ හොඳින් සිටිනා කාලයේය. ඔවුන්ට කෙළවූ පසු කිසිවකු ආශිර්වාද ගන්නා අයුරු කොතැනකවත් දකින්නට ලැබුනේ නැත. එවැන් අවස්ථාවක් එළියට එන්නේ ගංගා මෑණියන්ගෙනි. ඇය ලඟට යන්නේ කෙලුවුනු දරුවන්ය. චන්දිමාල් යනු කෙළ වුණු දරුවෙකු බව අමුතුවෙන් කිව යුතු නැත. හිටපු රාජෝත්තමයාණන්ද දැන් කෙලවී සිටින්නෙකු බව අමුතුවෙන් කිව යුතු නැත. ඔබ මොකෙක් ගාව සිට දිනුවද කම් නැත, කෙලවුනු දා ඔබට සත්‍ය වැටහෙනු ඇත. ජයග්‍රහණයට පියවරු දහසක් ඇත. පරාජයේදී ඔබට ඇත්තේ ගංගා තුරුළ පමණි. ඇය ඔබව ජයග්‍රාහකයෙකු කරනු ඇත.

 
Cover Image Source – online memes / dailynews.lk / alamy.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *