බොරු කියන සින්දු

Lies in Sinhala songs

සාහිත්‍යය කියන්නේ ම ගොඩක් වෙලාවට ප්‍රකෘතියට එහා ගියපු දෙයක්. දැන් ඔය ඉර පායනවා හඳ පායනවා වගේ මාර ස්වාභාවික දෙයක් උනත් සාහිත්‍යයේ කියන්නේ මහා අමුතු විදියට. ඒ විදියට සිංදුවල කතාවල උපමා රූපක වගේ දේවල් පාවිච්චි වෙනවා. හැබැයි සමහර සින්දු තියනවා කරුණක් විදියට ගත්තොත් ඒක පට්ටපල් බොරුවක් වෙන තත්වයේ. ඒ සින්දු අපි අහනවා. ඒත් ඒකෙ රහ නිසාම ගොඩක් දේවල් අපිට මග හැරෙනවා. මේ ඒ වගේ සින්දු කීපයක්.

1. සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් – මිල්ටන් මල්ලවාරච්චි

මිල්ටන් මල්ලවාරච්චිගේ අමරණිය ප්‍රේම ගීතයක් වුණ මේකේ එක කොටසක් මෙන්න මේ විදියට ගැයෙනවා. “මහපටැඟිලි බැඳ අතපැන් වත් කර” කියලා. ඇත්තට ම ලංකාවේ විවාහ චාරිත්‍රවලට අනුව බොහෝ ප්‍රදේශ වල බඳින්නේ මහපටැඟිල්ල නෙවෙයි සුළැඟිල්ල.

 

2. බැරි බර කරේ තියන් – මැක්සි ජයවීර

මැක්සි ජයවීරගේ හඬ පෞරුෂයෙන් ගැයුණු මේ අතිසංවේදී ගීතයේත් පුංචි පරහක් තියනවා. ආරම්භයේදී ම “බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපේ බඩ කට පුරවනවා” කිව්වම ප්‍රශ්නයක් එනවා මේ බර අදින ගොනාට කකුල් කීයක් තියෙනවද කියන එක.

 

3. සෙව්වන්දි නීල ජලාශේ – මොරිස් දහනායක

සෙව්වන්දි කියන්නේ රෝස මලට. ඉතින් රෝස මල් නිල් පාට ජලාශයක තියා කිසිම ජලාශයක පිපෙන්නේ නැහැ. ඉතින් මේ සින්දුව නමෙන් පටන් ගත්තම ම අවුල්.

 

4. සඳ කිඳුරු කිඳුරියන් – අනුර සේනානායක

මේ වගේ සින්දු අද ඇහෙන්නේ නැති තරම්. ඒත් වරක් ඇහුවොත් කවදාවත් අමතක කරන්නත් බැහැ. මේ සින්දුවේ ආරම්භයේ “සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ” කියලා කියනවා. ඒත් සඳ කිඳුරෝ ඉන්නවා කියලා සැලකෙන්නේ කැලෑවල. චන්ද්‍ර කින්නර ජාතකය වුණත් මූදක් අයිනක වුන දෙයක් නෙවේ. වෙරළ දිහාවේ ගැවසෙනවා කියලා සලකන්නේ දිය කිඳුරියෝ.

 

5. මහ මුහුදු විමානේ – ෂෙල්ටන් පෙරේරා

“මහ මුහුදු විමානේ රණ තිසරු උදා වේ” කිව්වට මහා මුහුදේ හංසයෝ ඉන්න විදියක් නෑ. ඇත්තටම ඩෝල්ටන් අල්විස් කියන ගේය පද රචකයා මේක ලියලා තියෙන්නේ “මහ මුහුදු විමානේ රණ කිඳුරු උදානේ” කියලා.

මේවා කරුණු විදියට බොරු උනාට මෙතනට ඇත්ත තත්වය දාන්න ගියා නම් ඒක නීරස වාර්තාවක් කියවනවා වගේ දෙයක් වෙන්න තිබ්බා.  සින්දුවක රසය තියාගන්න ගිහින් ව්‍යාකරණ වැරදිත් ගොඩක් සිද්ධ වෙනවා. මෙතන හැම සින්දුව ම පරණයි. රසවින්දනයට කිසිම විදියක බාධාවක් මේ සින්දුවලින් වෙලා නැහැ. ඒ අතින් බැලුවම අද කාලේ රැල්ලට අහු වෙච්ච සින්දුවලට වඩා අමූලික ඇත්තක් මේ සිංදුවල තියනවා.

ඔයාලා දන්නා මේ වගේ තවත් සින්දු කමෙන්ට් කරගෙන ම යමු.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *