ලංකා දූපතේ දිගින් වැඩිම ස්ථානය ලෙස සැලකෙන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා. ඒ වගේම පළලින් වැඩිම තැන් දෙක සැලකෙන්නේ කොළඹ කොටුවේ සිට සංගමන් කන්ද තුඩුව දක්වාය. සමාජ අධ්‍යයනය පාඩමේදී ලංකාවේ පළල සහ දිග ඉගෙන ගත්තද මේ ස්ථාන හතර කොහිද එහි ඇති විශේෂත්වය කුමක්දැයි දන්නා පිරිස අඩුය. ලංකාව ලස්සන දූපතක් වීම නිසාම මේ ස්ථාන හතරම සුන්දර වෙරළබඩ පරිසර වේ. ඒ තැන් ගැන විස්තර ටිකක් අපි දැන් දැනගනිමු.
1. දෙවුන්දර තුඩුව

Source – Amila chathuranga
දෙවිනුවර තුඩුවේ තිබෙන ප්‍රදීපාගාරය ලංකාවේ උසම ප්රදීපාගාරයයි. මෙම ප්‍රදීපාගාරය අසල බිමේ ලංකාවේ දකුණු කෙළවර ලෙස සලකුණු කොට තිබේ. ප්‍රදීපාගාරය පිහිටි භූමියේ තුන් පසෙකින්ම ඇත්තේ රමණීය මුහුදු වෙරළය. තැනෙක සුදු වැල්ලය. තවත් තැනෙක ගලින් සැදි රැලි බිඳි පෙන විසිරෙන තැන්ය. ඈත බලන කල හොඳින් ඉර පායා ඇති දිනෙක නම් වර්ණ කිහිපයකින්ම මුහුද දිස්වේ. එම රැලි හැපී බිදෙන රැලි අතර තැනෙක නිසල මුහුදු ජලය පිරිසිදුය. එම නිසල ජලයේ අලංකාර මසුන් සහ මුහුදු ජීවින්ද දකින්නට පුළුවන්.
මාතර සිට හම්බන්තොට දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයේ දෙවිනුවර මහා දේවාලය අසලින් මුහුද දෙසට ගමන් කිරිමෙන් දෙවිනුවර ප්‍රදීපාගාරය වෙත ළගාවිය හැකිය. එතැනට ඈත මුහුදේ දිවෙන නැව්ද කිහිපයක් ඇතැම් විටක දැකබලාගැනීමට හැකිය. මෙම ප්‍රදීපාගාරය 1889 දී යටත්විජිත සමයේ නිර්මාණය කර ඇත. කොන්ක්‍රීට් භාවිතය ප්‍රකට නොවූ එකල තනි කලුගලින් මීටර 49ක් උසැති මෙම ප්‍රදීපාගාරය ඉදි වී තිබේ.ගුණදාස කපුගේ මහතා ගේ එක්ටැම් ගේ චිත්‍රපටයේ එන “තනිවේවි එක්ටැම් ගේ“ නැමැති සෝ බර ගීයේ රූප රචනාවටද දායක කරගෙන ඇත්තේ මෙම දෙවිනුවර ප්රදීපාගාරයයි.
2. සංගමන් කන්ද තුඩුව

Source – Amila chathuranga
නැගෙනහිර වෙරළ තීරයට සමාන්තරව දිවෙන A-4 ප්‍රධාන මාර්ගයේ පොතුවිල් සහ තිරුක්කෝවිල් අතර කෝමාරි නම් දර්ශනීය කලපුවකි. කඩොලාන පරිසරය, හොඳින් වැඩුණු පොල් ගස් සහ නිලට නිලේ පෙනෙන මුහුද දිස්වෙන කෝමාරි කලපුව පසුකර කිලෝමීටර 5-6ක් ගිය තැන මුහුද දෙසට යන්නට බොරලු පාරකි. එම බොරළු පාරේ ගමන් කොට සංගමන් කන්ද තුඩුව වෙතට ලඟා විය හැකිය. ස්මාට්ෆෝනයක් රැගෙන යන්නේ නම් ගූගල් මැප්ස් ආශ්රයෙන් පැහැදිලිවම සංගමන් කන්ද තුඩුව සොයාගත හැකිය. මෙහි විශාල ප්‍රදීපාගාරයක් නොමැති අතර මීටර දෙක තුනක් උස කුඩා මුර කුටියක් වැනි අත්හැරදමන ලද කුඩා ප්රදීපාගාරයක ලකුණක් තිබේ.
දීර්ඝ නිවාඩු සමයන්හිදී අරුගම්බේ සහ ඒ අවට සර්ෆින් කරන කිඹුලාගල (Crocadile Rock) දිහාවේ මුහුදේ බැසගත් මහ සෙනගකි. එවන් විටක සර්ෆින් කිරීම මුහුදේ නාන අයටද සර්ෆින් කරන අයටද හිරිහැරය. එම නිසාමදෝ සර්ෆින් වලට ලැදි සුදු ජාතිකයෝ අලුත් තැන් සොයා යති. සංගමන් කන්ද තුඩුව ඔවුන්ට හමු වූ කදිම සර්ෆින් නවාතැනකි. තවමත් සංචාරක ස්ථානයක් ලෙස ජනප්‍රිය වී නැතත් සර්ෆින් වලට කදිම මුහුදු වෙරළ සහ අලංකාර භූමි දර්ශන සහිත කෝමාරි කලපුව සංචාරකයින් ආකර්ශනය කරගත හැකි තිප්පොලවල් වේ. දැනට කුඩා හෝටල් කිහිපයක් ඉදි වී තිබෙන මෙම සංගමන් කන්ද තුඩුවට යන මග දෙපස ඇති කුඩා පස් කඳු වලද පුරාවිද්‍යා නටඹුන් හමුවේ. ඒ ඇතැම් තැනක ඒවා රක්ෂිත ලෙස සලකුණු කොට තිබේ.
3. කොළඹ කොටුව

Source – Amila chathuranga
කොළඹ කොටුවේ පැරණි ප්‍රදීපාගාරය දැන් ඇත්තේ බොහෝ සෙයින් රට තුලට ගොස්ය. ඉන් පසු සර් ජෝන් කොතලාවල මැතිඳාණන් විසින් තැනූ ප්‍රදීපාගාරය මෑත කාලයේ “ අති විශිෂ්ඨයි සර්“ යන ලෙමන් පෆ් දැන්වීමත් ඔස්සේ මිනිසුන්ගේ සිතට කා වදින්නට සමත් විය.
මෙම කොලොම්තොට මහ ජැටිය යනු ගුවන් ගමන් ජනප්‍රිය නොවූ කලෙක ලංකාවෙන් එපිට යන අයෙක්ට වූ ප්‍රධානතම මධ්‍යස්ථානයයි. මාර්ටින් වික්‍රමසිංහ ගේ යුගාන්තය නවකතාවේ ද මෙම ජැටියෙන් පිටත්වෙන පිරිස ගැන සඳහනක් තිබේ. කොන්ක්‍රිට් තාක්ෂණයෙන් ලොව පතල නමක් තැබූ ඒ එන් එස් කුලසිංහ මැතිඳානෝ එම නැවෙන් ලංකාවට ඒම ජනප්‍රිය කාලේ නොයේක දේට නැව් නැග දේශ දේශාන්තර තරණය කළ මැවිසුරෙකි. එවිට ඈත මුහුදට පෙනෙන කොළඹ කොටුව ආසන්න පල්ලි ආදිය දැක කොටුවේ චෛත්‍යයක්ද තිබුනොත් මැනවැයි කල්පනා කළේය.
කුඩාවට පොළොවේ චෛත්‍යයක් තැනුවත් එය ඈතට නොපෙනේ. එමනිසා විශාල කොන්ක්‍රිට් සැකිල්ලක ඉහල කෙළවරේ මෙමෙ චෛත්‍යය කර්මාන්තය නිමවිය. එවිට නැවෙන් ලංකාවට බහින්නට සහ නැව් නැග යන අයට උතුම් වූ බෞද්ධ සලකුණක් වන චෛත්‍යය කර්මාන්තය ඈත සිටම දැකගත හැකි විය. එම සාම චෛත්‍යයද මෙම කොළඹ කොටුව සීමාවේ පිහිටා තිබේ. ඒ ආසන්නයේ වර්තමානයේ දී නම් චීන දායකත්වයෙන් ඉදිවෙන මහා වරාය නගරයට වැසී යමින් පවතී. එහෙත් ඒ පැරණි කොළඹ වරාය තොටේ ඇතැම් ශේෂයන් තවමත් කොළඹ කොටුවේ වීදි වල සක්මන් කරන විට දකින්නට හැකිය. කොළඹ කොටුවේ යටත් විජිත සලකුණු සහිත වීදි, දැනට බාගයක් ගොඩ වී ඇතත් තවමත් පැරණි තේජසම විරාජමාන වන ගෝල්ෆේස් වෙරළ තීරය මෙම සීමාවේ තවත් නරඹන්නට ඇති තවත් ස්ථාන දෙකකි.
4. පේදුරු තුඩුව

Source – wikipedia.org
ලංකාවේ ඉහළම කෙළවර ලෙස හැඳින්වෙන පේදුරු තුඩුව කන්කසන්තුරය සහ වැලිවැටිතුරය අතර පිහිටා තිබේ. එහි ඇති ප්‍රදීපාගාරයේ සිට කිලෝමීටර 4ක් බටහිර දෙසට වන්නට කොන්ක්‍රීට් වලින් තැනූ ජාතික කොඩිය දැක්වෙන තැන ලංකාවේ ඉහළ කෙළවර ලෙස සැලකේ. පේදුරු තුඩුවේ කුඩා වරායක්ද පිහිටා තිබේ. 1665 දී ලන්දේසීන් විසින් ඉදිකරන ලද පැරණි කොටුවක්ද පේදුරු තුඩුවේ පිහිටා තිබේ. කීරමන්ඩි නමින් පේදුරු තුඩුවේ හැඳින්වෙන නාන පොකුණද සංචාරකයින් අතර ජනප්‍රිය වූ ස්ථානයකි.
5. කල්පිටිය වෙරළ

Source – Amila chathuranga
ලංකාවේ සිව් කොණ ලෙස මෙම ස්ථාන හතර ප්‍රකට වුවත් ලංකාවේ පළලින් වැඩි ස්ථානය ලෙස ඇතමුන් කල්පිටිය සහ සංගමන් කන්ද තුඩුවද සලකනු ලැබේ. කල්පිටිය වෙරළද ඩොල්ෆින් බැලීම සහ කළපු පරිසරය විඳින්නට කැමති අය රැස්වෙන තැනකි. කලපුවේ වෙසෙන සුදු ඩොල්ෆින් සහ මුහුදේ ගොස් දැකබලාගන්නට ලැබෙන මුහුදු ඩොල්ෆින් යන ආකාර දෙකම කල්පිටියේදී හමු වේ. පොකිරිස්සන්, ඉස්සන්, කකුලුවන් වැනි සතුන්ද කල්පිටියේ ධීවරයින්ට සිය ආදායම් මග සරිකරන වටිනා සතුන් වෙති. කල්පිටිය ආසන්න මුහුදේ ඩොල්ෆින් බලන්නට යන ගමනේ අතරමග කොරල් පර දැකීමේ අවස්ථාවද සංචාරකයින්ට ලැබේ.
ලංකාව දූපතක් වුවත් මේ සතර කොන එක දිනකදී මාර්ගයෙන් ගොස් දැකගැනීමට නොහැකිය. වෙරළබඩ පරිසරයේ චමත්කාරය විඳගත හැකි මෙම ස්ථාන 4-5 න් එක දෙකක් හෝ බලන්නට යෑම ලංකාවේ වෙරළ තීරය ගැන අපේ ආඩම්බරය තවත් වැඩිවන්නට හේතුවක් වේවි.
Cover Image Source – maps.google.com
Leave a Reply