කොළඹ ඒම යනු ඈත ගම සිටින ලාංකිකයකුට අලුත් අත්දැකීමකි. කොළඹට පැමිණ තදබද සහිත මගක පැයක් දෙකක් සෙමෙන් අදින වාහනයක රස්තියාදු වන්නට වූ කල කොලොම්පුරේ පිටස්තරයින්ගේ සිත ඇඳි බොහෝ දේ හදිසියේ හුළං බැස්සාක් මෙන් නැති වීයයි. කොළඹ සිටින අයෙක්ට නිතරම දැකීම නිසා වෙනස එතරම් තදින් නොදැනුනේ වුවද කොළඹ යනු සීඝ්‍රයෙන් එහි පැහැය වෙනස්කොට ගන්නා නගරයකි. අපි ඒ වෙනස්වුනු හැඩහුරුකම් කිහිපයක් දෙස අවධානය යොමු කරමු .
නෙලුම් කුළුණ සහ අහස සූරන බිල්ඩින්
අනාදිමත් කාලයක සිට ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුනේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි යුග්මයයි. එහෙත් අද වනවිට එහි උස පරයමින් ගොඩනැගිලි කිහිපයක්ම ඉදිවෙමින් පවතී. ඒ අතර කොළඹ සන්නිවේදන කුළුණ (නෙළුම් කුළුණ) ප්‍රධාන තැනක් ගනී. සන්නිවේදන අවශ්‍යතාවය කෙසේ වුවත් නෙළුම් කුළුන කොළඹට ඇතුළු වන සෑම මාර්ගයකටම දිස්වෙන තරම් උසකින් යුතු කුළුණකි. වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී ගියත් දැන් නෙළුම් කුලුණේ වැඩකටයුතු හමාර වෙමින් පවතී.
ඒ නෙළුම් කුළුණට සහාය දැක්වීම පිණිස දෝ තවත් ඒ අවටම සෑදෙන තට්ටු ගොඩනැගැලි රැසකි. එයින් ඇලවෙන ස්වරූපයක් ඇති අලිටෙයාර් බිල්ඩිම අලුත් තාලේ හැඩයකි. මූද ආසන්නයේම ඇති ෂාන්ග්‍රිලා සංකීර්ණය උසැති ටවර් හතරකින් යුක්තය. ඒ ආසන්නයේම ඉන්දියානු බිල්ඩිමක්ද ඉදි වේ. ඒ ආකාරයෙන් කොළම ස්ථාන කිහිපයකම සුපිරි සාප්පු සංකීර්ණ, සුපිරි නිවාස ආදියෙන් සැදුම් ලත් ගොඩනැගිලි වෙති. අල්ටෙයාර් නිවාස සංකීර්ණයේ විශාල නිවාස ප්‍රමාණයක් මේ වනවිට විකිණී අවසන්ය. එහි එක් නිවාස ඒකකයක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න වේ. එනම් එහි එක් නිවාස ඒකකයක් රුපියල් මිලියන සියයකට පමණ අලෙවි වී තිබේ. සුඛෝපබෝගී නිවාස නම් ඒ තරම්ම මිලෙන් අධිකය.
පිටකොටුව අවට සිරිය
හරස්වීදී පසුකොට පිටකොටුවේ කෙළවරක වූ ශාන්ත ජෝන් මාලු වෙළඳ පොල කලකට පෙර ඒ අවට දුර්ගන්ධය නිසාම අන්ධයෙකුට වුවද පහසුවෙන් හඳුනාගත හැකි පළාතක් වූයේය. පසුගිය රජයේ වැඩපිළිවෙල අනුව ශාන්ත ජෝන් මාළු වෙළඳපොල වෙනුවට එතැන රන් ආභරණ වෙළඳ සැල් බිහිවිය. මාළු වෙළඳපොල පෑලියගොඩට ගියේය. පිටකොටුවට එළැඹි කල අද ‘පාවෙන වෙළඳ සැල’ නම් මනරම් දර්ශනයකි. ඈත බසයක සිට බලන කල දුම්රිය ගමනාගමනයද මැනවින් පෙනේ. ඇතැම් කාලවලදී දැඩි දුර්ගන්ධයක් පැතිරුණද පාවෙන වෙළඳ සැලේ දසුන පිටකොටුවේ ජනාකීර්ණ කලබලකාරී ස්වභාවයෙන් ජනයාට මඳකට හෝ ඈත්වී විවේක ගැනීමට හැකි වටපිටාවකි.
පිටකොටුවේ මැනිං වෙළඳ පොළද පෑලියගොඩට යා යුතුයැයි කලක පටන් කියන දෙයකි. එහෙත් යටත්විජිත සමයේ සිට තවමත් එය එතැනමය. බෝධිරාජ වීදියේත් අවට වීදියක දෙකකත් වසර කිහිපයකට පිහිටවූ පදික වෙළඳ සැල්ය. පෙර මෙන් පදික වෙළඳුන් සෑම සියලු තැනම සුලබ නැති අතර එම සකසා ලූ බිම්වල වෙළඳාම් කටයුතු කරගෙන යති. පිටකොටුවෙන් කොටුව දෙසට එත්ම තවත් විශාල බිල්ඩිමක් අලුතින් ඉදිවී විරාජමාන වී තිබේ. ඒ කස්ටම් බිල්ඩිමයි.
උයන් සහ පදික වේදිකා
කෝට්ටේ දෙසට ගිය විට දියත උයනද පාර්ලිමේන්තුව අසල කලාපද බොහොමයක් තැන් ගල් අල්ලා විවේකයට ගැලපෙන ලෙස නිර්මාණය කොට තිබේ. සවසක ඒවායේ ගියහොත් කොට කලිසම් හැඳගෙන ව්‍යායාම පිණිස ඇවිදන ශෝබමාන ස්ත්‍රීන් තරුණයන් මහල්ලන් ආදී පිරිසද දැකිය හැකිය. මෙම ව්‍යායාම මංතීරු පසුගිය කාලයේ ඇති කළ සුන්දර උද්‍යාන පසුබිම්ය. නිදහස් චත්‍රරශ්‍රය ආසන්නයේද එවැනි අලංකාර මංතීරු සහිත උයනක සිරිගත් භූමිභාගයක් තිබේ.
නිදහස් චතුරස්‍රයට යාබද ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් විවෘත කළ දිනවල ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ආප්පය වෙබ් ගොසිප් සිසාරා පැතිර යන්නට විය. රුපියල් දෙසීයක් ආප්පයකට ගෙවීම මැජික් එකක් වූ බහුතරයක් සිටින මුත් ආප්ප වෙළෙන්දාට ආප්පේ දෙසීයට විකුණා ගත හැකි නිසා එවැනි වෙළඳාමක් ඔහු එතන සිදුකරයි. විදෙස් සංචාරකයෝ මෙන්ම දේශීය ප්‍රභූ පැලැන්තිය විඳින දේ පිළිබඳ ඉරිසියා කිරීම හොඳ නැත. මුදල් ඇත්තෝ විසින් වියදම් කරන තරමට දුප්පතුන්ට රැකියා අවස්ථාවන් ජනිත වේ. නැතහොත් ඔවුන් ඒ මුදල් වෙන රටකට ගොස් වියදම් කළහොත් ලංකාවට කිසිත් නැත.
නෙළුම් පොකුණ
අන්තර්ජාතිකව සමුළු පවත්වන්නට බණ්ඩාරණායක අනුස්මරණ ශාලාව හැරුනු කොට ඉහල මට්ටමේ රසඥතාවයකින් යුතු නාට්‍ය ප්‍රේමීන්ට සංගීත ලෝලීන්ට එකතුවිය හැකි හරිහමන් තැනක් 2000 දී කොළඹ නොවීය. ඒ අඩුව මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහල මගින් අද සම්පූර්ණ වේ. නෘත්‍ය ශාලා, සිනමාහල්, විනෝද උයන් යනු නගරයක තිබිය යුතු අත්‍යාවශ්‍ය අංගයෝය. චීන මාදිලියට නිර්මාණය වූ එකක් වුවද දැන් අපිට තවදුරටත් සුපිරි සංධ්වනියක් සඳහා සුගතදාස ක්‍රීඩාංගණය ලබාගැනීමට උවමනාවක් නැත. ඒ වෙනුවෙන්ම සැකසූ නෙළුම් පොකුණ රඟහල පවතී.
අධිවේගී මාර්ග ජාලය
කොළඹින් එලියට ගුවන් තොටුපලට යෑම දැන් හිසරදයක් වන්නේ පෑලියගොඩ දක්වා පමණි. එතැන් සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයක් තැනී තිබේ. එසේම කොට්ටාවට පිවිසිය හැකිනම් එතැනින් ගාල්ල මාතර යනු දැන් පැයේ හමාරේ ගමනකි. පිටත වටරවුම් මාර්ගය සම්පූර්ණ වීමෙන් පසු ගුවන් තොටින් කටුනායකට බහින අයෙකුට පැය දෙකකින් මාතරට ළඟාවීම සිහිනයක් නොවනු ඇත.
ගාලු මුවදොර
ගාලු මුවදොර යැයි කියන විට කුඩා කල අතැම් දරුවෝ සිතන්නේ එය ගාල්ලේ පිහිටි තැනකි කියාය. එහෙත් ගෝල්ෆේස් එක ඇත්තේ කොටුවේ යැයි බොහෝ දෙනා දනිති. ගාලු මුවදොර සුප්‍රකට “අති විශිෂ්ඨයි සර්” (ලෙමන් පෆ්) දැන්වීමේ සඳහන් ලයිට් හවුස් එක ආසන්නයටම මීට වසර 10-15කට පෙර මුහුදු රළ කඩාවැදුණි. එකල ජනාධිපති ලේකම් කාර්යාලයේ මුහුණතේ සිට ගාලු පාර පැන්න විට තිබුණේ හැපී බිඳෙන රළ සමගින් ඉන්දියන් සාගරයේ ජල තලාවයි. එහෙත් අද එතැනට මුහුද බොහෝ දුරය. මුලින්ම කොළඹ දකුණු චීන වරාය ඉදිවිය. වර්තමානයේ චීන ආර්ථික නගරයක් ඉදිකිරීම පිණිස ගෝල්ෆේස් එකෙන් බාගයක් පමණ දිගට කෘත්‍රීම ගොඩබිමක් තනාගෙන යයි. ගෝල්ෆේස් එකේ සිට බැලූවිට එක් පසෙක ඉදිවෙන ඉන්දියානු සහ චීන සුවිසල් බිල්ඩින්ය. අනෙක් පස චීනයෙන් ගොඩකර තනනු ලබන නව ගොඩබිමකි.
වැඩිදියුණු වෙන්නට තිබෙන දේවල්
කොළඹින් පිට වීමට අධිවේගී මාර්ග ජාලයක් ඉදිවෙමින් පැවතුනද කොළඹ ඇතුලත ගමන් පහසුව එන්න එන්නම නරක අතට හැරෙමින් පවතී. විදෙස් රටවල භාවිත වන ගුවන්ගත හෝ යටිබිම්ගත මාර්ග ඔස්සේ මෙට්‍රො හෝ මොනෝ රේල් පද්ධතියක් ගැන දැන් වසර ගණනාවක සිට කතාන්දර කියවෙන මුත් ඒවා මහපොළවට ළඟාවෙන ආකාරයෙක් පෙනෙන්නට නැත.පසුගිය කාලයේ ඔරුගොඩවත්ත, නුගේගොඩ, කැළණිය දෙහිවල ආදී තැන්වල අලුතින් ගුවන් පාලම් ඉදිවූ අතර කෝට්ටේ දැන් දීර්ඝ ගුවන් පාලමක් ඇතිවෙමින් පවතී. එහෙත් ඒ ඇතිවුවද එයින් කොළඹ නගරයේ ප්‍රවාහනයට ලැබෙන රුකුල සුළු ප්‍රමාණයකි.
කොළඹ නගරය තුල තැනකින් තැනකට යෑමට ඇති අපහසුව නගරය මුහුණ දෙන ප්‍රබලතම ගැටළුවකි. එසේම ජලය, විදුලිය, මලාපවහන පද්ධති, සහ ජලය බැසයෑමේ කානු පද්ධති ආදියද ඉදිරියේදී වැඩිවන ධාරිතාවයන්ට ගැලපෙන සේ කාලානුරූපීව වර්ධනය විය යුතුය.
තව යන්න දුර තිබෙනවා
අප රටට ආසන්න දකුණු ඉන්දියාවේ බැංගලෝරය සිඝ්‍රයෙන් දියුණු වන නගරයකි. එහි මුලින්ම ඇතිවූයේ ජනතාවට ආදායම ගෙනෙන තොරතුරු තාක්ෂණික කර්මාන්තය. ඉන් පසුව විවිධාකාර සේවාවන් සලසන ආයතන නගරය වසාගන්නට විය. අද උතුරු ඉන්දියාවට වඩා දකුණු ඉන්දියාව යනු වේගයෙන් දියුණු වන පළාතකි. කොළඹ නගරයද ලෝකය සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යායුතුය. එහෙත් භෞතිකව ඇතිවන දියුණුව සේම සමස්ථයක් ලෙස ජනතාවගේ ආර්ථික සහ ජීවන මට්ටමද දියුණු විය යුතුය. රටේ සංවර්ධනය ජනතාව සමග ඉදිරියට ඇදෙන්නේ නම් මහජනතාව උස බිල්ඩින්, අලුත් ඉදිකිරීම් දෙස බලා “මේකෙනුත් කියක් ගැහැව්වද දන් නෑ” යි කියමින් හීල්ලීම නවතිනු ඇත.
Cover Image Source – yamu.lk
Leave a Reply