මනමාලියෙක් සොයාගන්නට මෙහෙමවත් කරලා බලමු

things you can try to select a bride

නිසි වයස පසුවෙමින් යද්දී තනියම ඉන්න එක බෝරිං වෙලා අලුතින් ජීවිතයක් එක්ක සම්බන්ධ වෙලා විවාහ ජීවිතයට එන්න සාමාන්‍ය පෘථග්ජනයා ආසයි. යම් විදියකින් හැමදාම තනියම ඉන්න එකත් වාසියි කියල හිතුවත් ඒක එහෙම නෑ කියලා කියන්න එකතු වෙන නෑදෑ යාලු හිතමිත්‍රාදීන්ගෙන් ගැලවීම ලෙහෙසි නැහැ. තනිකඩ ජීවිතය වඩාත් සැහැල්ලු එකක් වුණත් වගකීම් වැඩිවෙද්දි වගකීම් දැරීමේ හැකියාව වැඩිවෙනවා. ඒ නිසා තනිකඩ ඒකාකාරී ජීවිතයක් ගෙවන අයට වඩා උත්සාහවන්තව නව අවස්ථාවන් හදාගෙන ඉදිරියට යෑමේ හැකියාව විවාහ උනාම වැඩිවෙනවා කියලා අධ්‍යයන වලිනුත් සොයාගන තිබෙනවා.

නෑදෑ මිතුරන් බලකලත්

කොපමණ උවමනා තිබුනත්

කාලය ගතවීල ගියත්

නැහැනේ කෙල්ලෙක් තවමත්

 

යැයි සිතමින් කල්ගතකරන තරුණයින් විවාහය පිණිස යුවතියක සොයාගන්නට නොයෙක් ක්‍රම හරහා උත්සාහ කරනවා. එයින් මනමාලියෙක ඉක්මනින්ම සොයාගන්නට හැකි ක්‍රම පිළිබදව අපි සොයා බලමු.

 

1. වැඩේට බහිමු

things you can try to select a bride

Source – mangala kinkini/ cbs.com

අපිට දැන් කැමතිම කෑම ටිකක් මේ මේසය උඩට මැවුනොත් හොදයි කියල හිතුවාම කෑම මැවෙන තැනක් තිබෙනවා. ඒත් මෙහෙනම් නෙමෙයි පිංකරලා මැරිලා ගියාට පස්සේ දිව්‍යලෝකයේදී තමයි එහෙම සිතු සිතු සම්පත් දැත මත මැවෙන වාසනාවක් උදා වෙන්නේ. ඉතිං අපිට මොන ම දෙයක් උනත් අපි සුලු හරි කැපකිරීමක් කට්ටක් ගන්නේ නැතුව අපිට ලබාගන්න බැහැ. කම්මැලි මිනිස්සු ලෝකේ වැඩි බව දන්න චිත්‍රපට සහ නවකතා ලියන අය එහෙම නිකංම ඉන්න තරුණයින්ට ලස්සන ගෑණු ළමයි හමුවෙන හැටි ගැන කතාන්දර නිපදවා තිබෙනවා. එහෙත් සැබෑ ජීවිත ඒ ෆිල්ම් සහ කතාන්දර වලින් බොහෝම දුරයි.

මනමාලියක සොයන්නට නම් මුලින්ම මනමාලියක අවශ්‍ය බව වටහා ගන්නටත් එය මිතුරන්ට නෑයින්ට පැවසීමත් කරන්නට ඕනි. එවිට ඒ අය දන්න කියන තැනක ගැලපෙන මනමාලියක සිටීනම් මිතුරා සහ ඥාතියා වෙනුවෙන් ඒ වැඩේ එකලාසයක් කරලා දෙන්න උත්සාහ ගන්නවා. පුවත්පත් දැන්වීම්, මගුල් කපු සේවා, වෙබ් අඩවි වගේ සේවාවන් හරහා වුනත් උත්සාහ කරල බලන එක හොඳ ප්‍රවේශයක්. අපිට ලැබෙන යෝජනා ප්‍රමාණය වැඩි නම් අපිට පුලුවනි. එයින් සුදුසු එකක් තෝරා ගන්න. පත්තර සහ වෙබ් කරා යොමු කළ විට සාමාන්‍යයෙන් කපුවන් යොදා සොයනවාට වඩා පුළුල් අවකාශයකට පණිවුඩය යන නිසා වැඩි මංගල යෝජනා ගණනක් හමු වෙනවා.

 

2. තනතුරු දේපල සහ පවුල් පසුබිම

things you can try to select a bride

Source – ab.nalv.in

ප්‍රමුඛ පෙලේ සමාගමක ඉහල රැකියාවක් කරනවා නම් ඒ වැනි අයගේ වටිනාකම සාපේක්ෂව වැඩියි. අපි හැමෝටම එහෙම රැකියාවන් හමු වන්නේ නෑ. එහෙත් කරන රැකියාව තරමක් හොඳට නිරූපණය කරන්න හැකියාව අපි හැමෝටම තිබෙනවා. කම්කරු කියන වචනයෙන් සේවකයින් හැඳින්වුවත් එය හොඳ තනතුරක් නෙමෙයි.  සහාකාර ඉංජිනේරු, ඉංජිේන්රු සහකාර, වැනි තනතුරු වලින් සහකාර තිබීම සෑම විටම අවශ්‍ය වන්නේ නෑ. අවශ්‍ය විටක සහකාර ඉංජිනේරු වලින් සහකාර ඉවත් කර භාවිතා කිරීම සුභපල උදාකරන්නට හේතු වේවි.

ෆේස්බුක් හි ඇතැම් පුද්ගලයින්ගේ විස්තර බැලූවිට ඇතමුන් ඔවුන්ටම අයිති සමාගම් වල විශාල තනතුරු දරන ආකාරයක් පෙනී යනවා. නූතනය යුගයේ ෆේස්බුක් යනුද මගුල් බැලීමට යොදාගන්නා හොද අවකාශයක්. එහි අලුතින් සමාගමක් හදාගෙන අලුතින් සංගමයක් හදාගෙන එහි ඉහල නිලයක් ගැනීම විශාල දත්ත පමාණයක් වියදම් වන වැඩක් නම් නෙමෙයි.

 

3. ග්‍රහයින් මාරු කිරීම

things you can try to select a bride

Source – Pinterest.com

රාජයෝග තිබෙන පුද්ගලයෙක් ට තමුන්ගේ දුව කරකාර බන්දා දෙන්න ජෝතිෂ්‍යය විශ්වාස කරන දෙමාපියන් කැමතියි. ක්‍රම කීපයකටම මංගල යෝජනා බලලා හෙම්බත්ම වෙලා ඉන්න තරුණයෙක්ට නම් රාජයෝගයක් දෙකක් තමුන්ගේ කේන්දරයට එකතු වෙන විදියට අලුතින් කේන්දරය්ක හදා එය මංගල යෝජනා වලට හීන්සීරුවේ භාවිතා කිරීම මගුලක් ඉක්මනින්ම හරියන්න හේතුවාසනා වේවි.

උපන් වෙලාව මදක් වෙනස් කලත් ඉන් පසුව ඔබේ කේන්දරය වන්නේ ඒ නව කේන්දරය. සුභ ඵල කේන්දරයක ඔබට තිබෙනනිසා ඔබ කරන සියලුම කටයුතු සාර්ථක වෙන්න එයින් විසාල පිටුබලයක් ලැබේවි. ඒ කේන්දරය හොද නිසාම ඔබට ඉක්මනින්ම මංගල යෝජනා වක් හරියන්නට ඉඩ තිබෙනවා. කේන්දරය හොඳ නැහැ කියමින් නොයෙක් ලෙස තැවෙමින් කල් ගෙවනවාට වඩා මඳකින් කාලය වෙනස් කොට හොද ග්‍රහයෝග සහිත කේන්දරයක් තනා ගැනීමත් මංගල යෝජනාවක් ඉක්මණින්ම පල දරන්නට හේතු වාසනා වේවි.

 

4. ඒජනත්වරුන්ට භාර දීම

“මහත්තයෝ ඔය ඒ ගමේ ස්කෝල මහත්තයාගේ දුව හොරාට විභාගේ ලියලා පොලිසි ගිහින් හිරෙත් උන්නා සති කීපයක්. ඒ කෙල්ල දීග දෙන්න බැහැ ඕ කතාව නිසා. මට ආව වැඩේ ඒ කෙල්ලට මගුලක් හොයාන්න.මම ඉතිං ලගපාත බැලුවෙ නැහැ. මොකෝ ඔය ස්කෝලයගේ කෙල්ල විභාගේ වංචා කරලා කියන එක අහල හතම දන්නවා. ඒ ගමන මම උඩහ පලාතෙන් එකක් සෙට් කොළා..දැන් දරුවොත් ඉන්නවා යසට..”

ඒ කපු මහත්මයෙකුගේ පුරසාරම් දෙඩීමක්. කපු මහත්වරු සහ එවැනි වැඩ වල නිරතවී ජෝඩු සෙට් කරන පිරිස් සිටිනවා. අප මිතුරන් අතර සහ නෑයින් අතර ඒ වගේ දෙන්නෙක් ගේ සුබ පැති බලලා සෙට් කරන්න දක්ෂ පිරිස් සිටිනවා. අපි ඔවුන්ගේ හැකියාවන්ට ගරහමින් සිටීම පලක් නැහැ. මංගල යෝජනාවක් හරියන්න කියලා සිතාගෙන ඒ අයටත් වැඩේ පොඩ්ඩක් කියලා තිබුනොත් එයාල අපිට හරියන ගෑනු ළමයා ඉක්මණින්ම අපිට හොයාගන්නට උදව් වේවි.

 

5. විවාහ යෝජනාවෙදි බොරු කරලා අනේ මන්දා ඉතිං

things you can try to select a bride

Source – youtube.com

විවාහ යෝජනාවක් සිදු වන්නේ විශ්වාසය මත. එය දෙදෙනෙක් අතර සදාකාලිකව තිබෙන බැදීමක්. එවැනි තැනකදී ලෝකයේ තිබෙන සියලු කාරණා ගලපලා විවාහ වෙන්නට සිටියොත් එය කරගන්නට අවස්ථාවක් නැහැ. නියමිත මුදල් මට්ටම් සමාජ මට්ටම් සහ කේන්දර වැනි ලෝකේ එහා කොනේ තිබෙන දේවල් සියල්ල එකවිට ගැලපීමටත් අමාරුයි. එවිට දෙදෙනා අතර විරසකයක් නැතිනම් ඒ දෙදෙනා කැමති නම් අනෙක් සාධක සෙමෙන් ඈත්කර ගනිමින් විවාහ දිවිය සකස් කර ගැනීම වැදගත්.

විවාහ වන්නට දෙමාපියන් නෑයින් මිතුරන් උදව් කළත්, කෙනෙක් සොයාගන්නට බොහෝ පිරිස් මැදිහත් වුනත් අවසානයේ එක වහලක් යට ජීවත් වනනේ ජීවිත දෙකක් පමණයි. ඒ නිසා දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය යම් තාක් දුරකට එකලස් කරගත හැකිනම් එතැනින් එහාට අනෙකුත් සාධක ගලපාගැනීම සෙමෙන් සිදුකළ හැකියි. ඉතිං ඔබ දන්නා අයෙක් සිටිනවා නම් මගුල් යෝජනා හොයන ඔවුන්ට මෙය වටිනා උපදෙස් ටිකක් වේවි.

 
Cover Image Source – amila chathuranga / films.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *