ගායනාවට වඩා කතා කියන ගීත පහක්

Sinhala songs with true incidents

මතකනේ අපි කලින් බොරු කියන සිංදු ගැන ලිපියක් කළා. බොහොමයක් ගීතවලට සමස්තයක් විදියට ඕනිම සිද්ධියක් සම්බන්ධ කරගන්න පුළුවන්. “බඹරා වගේ විසේකාරයා” කියලා ඕනිම කොල්ලෙක්ට කියන්න හැකියාව තියෙනවා. ඒත් සමහර ගීත තියෙනවා කිසියම් සුවිශේෂ සිදුවීමක් නිසා ම ලියැවුණු. මේ කියවීම ඒ වගේ ගීත කීපයක් ගැන.

1. කඳු අතරින් (දහ අට වංගුව) – කුමා අත්තනායක

ගීත රචකයා වෙන අශෝක කෝවිලගේ ඒ කාලේ රැකියාවට ගිහින් තියෙන්නේ දහ අට වංගුව පාරේ. ඔහු හැමදාම එන එක්තරා පුද්ගලික බස් රථයක් තිබිලා තියෙනවා. ඒකෙ රියදුරු මහත්තයා බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. මේ බස් එක වංගුව අද්දනකොට එක්තරා වංගුවක් ළඟ පොඩි කඩේක හිටපු තරුණියක් කඩෙන් එළියට එනවා. රියදුරු තැනත් මේ දැරිවි දිහා බලලා මල් මල් හිනා දාලා තියෙනවා. කොහොමින් හරි කාලයක් යද්දී මේ තරුණිය කලින් වගේ දකින්න ලැබිලා නෑ. මේක රියදුරු තැනට දරාගන්න බැරි සිදුවීමක් වෙලා තියෙනවා. ඒක මගීන්ටත් තේරිලා තියෙන්නේ ඔහුගේ වෙනදා තිබුණු ප්‍රසන්න බව නැතිවීමෙන්. අන්තිමේ වෙනත් රියදුරෙක් බස් රථය පදවන තත්වයට පත්වෙනවා. මේ සිදුවීම දැකලා ඇතිවුණු සංවේදීකම මත තමයි මේ ගීතය ලියවෙන්නේ.

 

02. සුරංගීට දුක හිතුණා – නන්දා මාලිනී

තාත්තා කෙනෙකුයි දුවෙකුයි අතර තියෙන බැඳීම මහා පුදුමාකාර දෙයක්. අම්මා කෙනෙක් වගේ ආදරේ නොපෙන්නුවට තාත්තා කෙනෙක්ගේ හිතේ මහා ගොඩක් ආදරේ පිරිලා තියෙනවා. ප්‍රේමකීර්ති ද අල්විස් ලියපු මේ ගීතය ඒ ආදරේ තියෙන ගැඹුර සරල සිදුවීමක් එක්ක මුසු කරපු අවස්ථාවක්. ප්‍රේමකිර්තිගේ දුව වන සුරංගිගේ කන විදලා කරාඹු පළඳවන දවස ළඟ එනවා. ගෙදරට ගෙනාපු කරාඹු ජෝඩුව දැකලා දුවට හරි සතුටුයි. මේ ගැන හිතනකොට තාත්තාට නම් හරිම වේදනාවක්. ඇයි ඉතින් කන විදිනකොට දුවට රිදෙනවනේ.

 

03. පෙරුම් පුරාගෙන ආ සංසාරේ – සේනානායක වේරලියද්ද

මහකණුමුල්ලේ වජිර ස්වාමීන්වහන්සේ දුම්රියෙන් වඩින වෙලාවක එක පාර කෝච්චිය නවතිනවා. පස්සේ කරුණු කාරණා විමසනකොට පෙම් යුවළක් දුම්රියට පැනලා ජීවිතය නැති කරගෙන කියලා උන්වහන්සේ දැනගන්නවා. මේ සිදුවීම පාදක කොටගෙන ලියැවුණු මේ ගීතය පිටුපස තියෙන්නේ මේ වගේ වේදනාත්මක කතාවක්. ඒ බව නොදැන ප්‍රසංගවල කොල්ලෝ මේකට නටනවා

 

04. සිංහල සින්දු කියන – ගුණදාස කපුගේ

කිරුළපන පොලිසියට අනුයුක්තව සේවය කරන විනීතාට නඩේෂන්ව මුණ ගැහෙනවා. ඔහු දමිළ තරුණයෙක්. විනීතා සිංහල. ඒත් මේ බාධයක මැඩගෙන දෙන්නාගේම හිතේ එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. නඩේෂන්ට සිංහල බැහැ. විනීතාට දෙමළ හසුරුවන්න බැහැ. දෙන්නාගේ ම පවුල්වලින් කැමැත්තක් ලැබුණෙත් නැහැ. කොහොමහරි මේ දෙන්නා විවාහ වෙලා යාපනයට යනවා. එහිදී දෙමළ වර්ගවාදයට නතුවෙන්න මේ දෙපළට ම සිද්ධ වෙනවා. දෙන්නා ම කොටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් වෙනවා. කරුණු කාරණා එහෙම වුණත් රත්න ශ්‍රී විජේසිංහයන් අතින් මේ පදවැල් ලියවෙන්නේ මේ දෙන්නගේ ආදරය ගැන පමණයි.

 

05. මගේ පුංචි රෝස මලේ – අමරසිරි පීරිස්

ලංකාවේ එක්තරා ජනප්‍රිය ගායකයෙකු එක්තරා ප්‍රදේශයක සංගීත පන්තියක් කරා. මේ පන්තියට ආපු එක්තරා ගැහැණු ළමයෙක්ට මේ පුද්ගලයා ආදරේ කරන්න පටන් ගන්නවා. නමුත් මේ දෙදෙනාගේ වයස් පරතරය වැඩි නිසා ඔහු ඒකපාර්ශ්වික ආදරයේ සුවය විඳිමින් ඉන්නවා. දවසක් ධම්මික බණ්ඩාර මොහුගේ නිවසට යනවා ගීයකට තනුවක් නිර්මාණය කරගන්න. නමුත් ගෙදර ඔහු ඉඳලා නැහැ. පස්සේ ඔහුව අවන්හලක හොඳටම වෙරිමතින් ඉන්නවා ධම්මික බණ්ඩාර දකිනවා. අර ගෑණු විවාහ වෙන්නයි යන්නේ. ආරාධනා පත්‍රයකුත් ගුරුතුමාට එවලා. මේ සිදුවීම නිසා තමයි මේ නිර්මාණය බිහිවෙන්නේ.

 
Cover Image Source – youtube.com / alamy.com
 

zvr
Your Reaction

Comments