ආමීර් ඛාන් ගේ හොඳම සිනමා කෘති 10

Best movies of aamir khan

ලංකාවේ අපි කවුරුත් හින්දි සිනමාවට දක්වන්නේ සුවිශේෂ ලැදියාවක්. සමහරවිට කතාව නිසා, එහෙමත් නැත්නම් සංගීතය නිසා, එහෙමත් නැත්නම් රංගනයෙන් දායක වෙලා තියන නළු නිලියෝ නිසා වගේ මොනවහරි හේතුවක් නිසා අපි කවුරුත් හින්දි සිනමාවට ආදරෙයි. නළු නිලියෝ ගැන කියද්දීම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ  බොලිවුඩයේ සුපිරි ඛාන් ලා තුන් දෙනා ගැන. ශාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ ආමීර් ඛාන්: බොලිවුඩ් සිනමාවේ නම තියපු තවත් ඛාන් ලා කිහිපදෙනෙක් ම හිටියත් මේ සුපිරි ඛාන් ලා සිනමාවේ තියපු මතක හිටින සටහන් නම් කවදාවත් අමතාක වෙන එකක් නෑ. ඒ අතරිනුත් ආමීර් ඛාන් කියන්නේ නළුවෙක් විදිහට වගේම චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් සහ නිෂ්පාදකයෙක් විදිහටත් නමක් තියපු කෙනෙක්.

මොහොමඩ් ආමීර් හුසේන් ඛාන්, එහෙමත් නැත්නම් ආමීර් ඛාන් සිනමාවට එකතු වෙන්නේ 1973 දි. ඒ “යාදොන් කි බාරාත්(Yadon Ki Baarat)” චිත්‍රපටයෙන්. ප්‍රථම වතාවට ඔහු  ප්‍රධාන චරිතයක් නිරූපණය  කරන්නේ  1988 දි කයාමත් සෙ කයාමත් තක්(Quamat Se Quamat Thak) චිත්‍රපටයේ. බොහෝ දෙනෙක් ආදරෙන් වැළඳ ගත් උදිත් නාරායන් සමගින්  අල්කා යාග්නික් ගයන  “අයෙ මෙරේ හම්සෆර්” ගීතය ඇතුලත් වෙන්නේ මේ චිත්‍රපටයේ. එතනින් පටන් ගත් ආමීර් ගේ සිනමා ගමන අද වෙද්දි ඉන්දියානු රාජ්‍ය සිනමා සම්මාන, ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනූ, ඒ වගේම ඇකඩමි සම්මානයට පවා නිර්දේශ වුණු ලෝකයට ම මතක හිටින ගමනක් වෙලා හමාරයි.

පනස් දෙහැවිරිදි මේ අසහාය නළුවා ගේ සිනමා ගමනේ මතක හිටින මග සලකුණු කිහිපයක් ගැනයි මේ කතාව.

1. ත්‍රී ඉඩියට්ස් (3 Idiots)

 

මේ චිත්‍රපටය නම් නොබලපු කෙනෙක් හොයාගන්නත් බැරි තරම්. 2009 දි තිරගත වුනු මේ චිත්‍රපටය රාජ් කුමාර් හිරානි ගේ අධ්‍යක්ෂණයක්. එතෙක් කලක් තිරගත වී පළමු සතිය ඇතුලත වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය විදිහටත්, පළමු දිනයේ සහ පළමු සති අන්තයේ වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය විදිහටත් ත්‍රී ඉඩියට්ස් වාර්තා තබන්නට සමත් වුණා. පෙරදිග ආසියානු කලාපයේ සහ චීනය තුල තිරගත වී සාර්ථකත්වයට පත් වූ අතලොස්සක් හින්දි සිනමාපට අතරටත් මෙය එක් වුණා. විදේශ රටවල ප්‍රදර්ශනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 65ක් උපයන්නට සමත් වූ මෙයට  චේතන් භගත් ගේ five point someone කියන නවකතාව පාදක වෙලා තියෙනවා. 2012 දි නන්බන් නමින් කොලිවුඩ් සිනමාවටත්, 2017 දි මෙක්සිකානු නිෂ්පාදනයක් විදිහටත් ත්‍රී ඉඩියට්ස් නැවත තිරගත වී තියෙනවා.

මුල් නිර්මාණයේ ආමීර් ඛාන් රංගනයෙන් දායක වෙන්නේ රන්චෝදාස් ශාමල්දස් චන්චාද් එහෙමත් නැත්නම් හැමෝම දන්නා විදිහට රංචෝ ගේ චරිතයට. කතාවේ විදිහට රංචෝ ඉංජිනේරු විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තට පසුව වසර 10 ක් තිස්සේ කිසිම තොරතුරක් නැහැ. ඔහුගේ යාළුවන් දෙදෙනා, ෆර්හාන් සහ රාජු රංචෝ සොයාගෙන යන ගමනේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන කාලයේ මතක දිග හැරීමක් විදිහටයි කතාව ගලාගෙන යන්නේ.

හාස්‍යය, ආදරය වගේම මිත්‍රත්වයේ අගයත් කැටි වුණු, ඒ විතරක් නෙවෙයි, ජීවිතයේ හරයත් එකතු වුණු බොහොම අපුරු නිර්මාණයක් තමා ත්‍රී ඉඩියට්ස් කියන්නේ.

 

2. පීකේ(PK)

 

2014 වසරේදී තිරගත වුනු පීකේ චිත්‍රපටයත් ඉහල ආදායම් වාර්තා තබන්නට සමත් වුණා. කොතරම් ඉහල ද කිව්වොත් පීකේ තමයි බොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටයේ වාර්තාව තියලා තියෙන්නේ. ඒ වගේමයි ලෝකයේ වැඩිම අදායම් ඉපයූ චිත්‍රපට අතරින් 70 වෙනි ස්ථානයට හිමිකම් කියන්නෙත් පීකේ. රාජ් කුමාර් හිරානි සහ ආමීර් ඛාන් සුසංයෝගය අදායම් වාර්තා වෙනුවෙන්ම නිර්මාණය වෙලා වගේ කියලත් හිතෙන තරම්. විචාරක ප්‍රසාදයට පාත්‍ර වුණු පීකේ, උපහාසයත්, ආදරයත්, කැටිවුණු තරමක විද්‍යා ප්‍රබන්ධ රසයකුත් කැටි වුණු හරවත් විනෝදාත්මක චිත්‍රපටයක්. ඉන්දියානු සමාජය තුල මුල් බැසගෙන තියන ඇතැම් හරයක් නැති විශ්වාසයන්ට තදබල පහරක් එල්ල කරපු චිත්‍රපටයක් විදිහටත් පීකේ හඳුන්වන්න පුළුවනි.

ආමීර් ඛාන් මෙහි රංගනයෙන් දායක වෙන්නේ පීකේ කියන නමින්ම ඉන්න මනුෂ්‍ය ස්වරූපයක් තියෙන පිටසක්වල ජීවියෙකුගේ චරිතයකට. පීකේ ගේ පෘථිවි සංචාරයේදී ඔහු මුහුණ දෙන විවිධාකාර අත්දැකීම් සමුහයක් අවසානයේ ඔහු විසින් ආදරය හඳුනාගන්න ආකාරයත්, අන්ධ විශ්වාසයන් හි ඇලී ගැලී ඉන්න ඉන්දියානු ජන සමාජයක ඇස් අරවන ආකාරයත් කතාව පුරා දිවෙනවා.

ස්ටාර් ගිල්ඩ් සම්මාන 5ක් සහ 60 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ නිර්දේශ 8 ක් සහ සම්මාන දෙකකට හිමිකම් කියන්නට මේ සිනමා කෘතිය සමත් වුණා. ඒ හොඳම තිර රචනය සහ හොඳම දෙබස් රචනය වෙනුවෙන්. ඒ වගේම හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශිත නම් අතරටත් එක් වුණා.

 

3. රංග් දේ බසන්ති(Rang De Basanthi)

 

රංග දේ බසන්ති 2006 දි තිරගත වුණු රාකේෂ් ඕම්ප්‍රකාශ් මෙහ්රා ගේ චිත්‍රපටයක්. බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලමින් තිරගත වූ තවත් ආමීර් ඛාන් රඟපෑ විශිෂ්ටතම චිත්‍රපටයක් තමයි මේ. ඉන්දියානු හමුදා සේවාවන් වල නිරත වෙන නිලධාරීන් ගේ ජිවිත වල වගකීම රජය විසින් ඉතාමත් නිර්දය විදිහට පැහැර හැර ඇති බවට රජයට තදබල පහරක් එල්ල කරන කතා තේමාවක් වටා ගෙතුණු රංග දේ බසන්ති, තිරගත කිරීම සඳහා නිදහස් කරගැනීමට විශාල සටනක් දියත් කරන්නටත් සිදු වෙලා තියෙනවා. 2006 වසරේ ජනවාරි 26 වැනිදා, ඉන්දියානු ජනරජ දිනයේදී තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටය අවසානයේ සිය ප්‍රදර්ශනය අවසන් කරන්නේ, විචාරක ප්‍රසාදයත්, ජනප්‍රියම චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මානයත්, 2006 BAFTA සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානයත් දින ගනිමින්. ඒ වගේමයි එම වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සහ ඇකඩමි සම්මාන උළෙලේ විදේශ චිත්‍රපට අංශය නියෝජනය කරන්නටත් වරම් ලැබුවා. ඉන්දියානු ජන සමාජයට ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරන්නටත් මේ චිත්‍රපටය සමත් වුණා. විශේෂයෙන් ම දේශාභිමානය ගැන කතා කරන හින්දි චිත්‍රපට අතරේ මතක් වෙනකොටත් ගතේ හිරිගඩු පිපෙන තරම් සියුම් විදිහට හදවතට කතා කරන චිත්‍රපට අතරේ රංග දේ බසන්ති ඉදිරියෙන් ම ඉන්නවා.

කතාව ගෙතෙන්නේ අතීතයත් වර්තමානයත් සම්බන්ධ කරමින්. ඉන්දියානු නිදහස් සටනේ තරුණ ජවයෙන් දිවි පරදුවට තබා සටන් කරපු චන්ද්‍රසේකර් අසාද්, භගත් සිං, රාම්ප්‍රසාද්  බිස්මිල් සහ අශ්ඵඛුල්ල ඛාන් කියන වීරයන් 4 දෙනාට දක්වපු උපහාරයක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්. සැබෑ වීරයන් සදාතනික බව පසක් කරන මේ චිත්‍රපටයත්, මිත්‍රත්වය, ආදරය, දේශාභිමානය වගේ ම, ආත්මාභිමානයත් කැටි වුනු සංවේදී චිත්‍රපටයක්.

ආමීර් ඛාන් මෙහි ද්විත්ව චරිත නිරුපණයෙන් දායක වෙනවා, දල්ජිත් සිං(ඩීජේ) සහ චන්ද්‍රසේකර් අසාද් විදිහට. ඊට අමතරව, ආර්. මාධවන්, සිද්ධාර්ත් නාරායන්, කුණාල් කපූර්, අතුල් කුල්කර්නි, ශෝභා අලි ඛාන් සමගින් ඇලිස් පැටෙන් මෙහි රංගනයෙන් දායක වුණා.

 

4. අන්දාස් අප්නා අප්නා (Andaz Apna Apna)

 

අන්දාස් අප්නා අප්නා කියන්නේ ආමීර් ඛාන් ගේ රංගන දිවියේ තවත් විශේෂ කඩ ඉමක්. 1994 දි රිදී තිරයට එක් වුනු අන්දාස් අප්නා අප්නා, රාජ්කුමාර් සන්තෝශි විසින් අධ්‍යක්ෂණය කරන ලද හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්.

මේ චිත්‍රපටයේ සුපිරි ඛාන් ලා තුන් දෙනා අතරින් තවත් ඛාන් කෙනෙක් රංගනයෙන් දායක වෙනවා. ඒ තමයි සල්මාන් ඛාන්.

සල්ලිකාර ගෑනු ළමයෙක් තමන්ගේ අනාගත බිරිඳ කරගන්න දවල් හීන දකින තරුණයෝ දෙන්නෙක් වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නේ. පැහැරගැනීම්, ත්‍රාසය වගේම ක්‍රියාදාම අතරේ හාස්‍ය කැටිවුණු චිත්‍රපටය අවසන් වෙන්නේ කොල්ලෝ  දෙන්නා දවසේ වීරයෝ බවට පත්වෙලා ගෑණු ළමයින්ගේ හිතත් දිනාගෙන. හිනා වේවි බලලා හොඳට ලේ පිරිසිදු කරගන්න පුළුවන් කතාවක් තමයි මේ.

40 වෙනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ නිර්දේශ 4ක් මේ චිත්‍රපටයට හිමි වුණේ, ආමීර් ඛාන් ට හොඳම නළුවා නිර්දේශයත් හිමි වෙන අතරෙයි.

 

5. ලගාන් (Lagaan)

 

“Lagaan: Once Upon a Time in India” විදිහටයි මේ චිත්‍රපටය නම් කෙරුණේ. අධ්‍යක්ෂණය කළේ ආශුතොශ් ගොවාරිකර්. ආමීර් ඛාන් මෙහි රංගනයෙන් දායක වුණා පමණක් නෙවෙයි, චිත්‍රපටයේ නිෂ්පාදක වරයාත් ඔහුයි. තිරගත වුණේ 2001 දි. විචාරක සම්භාවනාවට පාත්‍ර වුණා වගේ ම සම්මාන ගණනාවක් දිනා ගන්නටත්, ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ චිත්‍රපටයට නිර්දේශ වුණු තුන්වැනි ඉන්දියානු සිනමා පටය වුණෙත් lagaan. Empire සඟරාව මගින් නම් කෙරුණු ලෝකයේ හොඳම චිත්‍රපට 100 අතරේ 55 වැනි තැනට පත් වෙන්නටත් lagaan සමත් වුණා. Time සඟරාව මගින් නම් කෙරුණු ලෝකයේ හොඳම ක්‍රීඩා ආශ්‍රිත චිත්‍රපට 25 අතරටත් lagaan එක වුණා.

යටත් විජිත ඉන්දියාවේ කුඩා ගම්මානයක සිදු වුණු සිද්ධියක් විදිහටයි කතාව ගලාගෙන යන්නේ. අධික බදු බරත්, නියගයත් දරාගන්න බැරිව ඉන්න ගැමියන්ගේ ගැලවුම්කාරයා වෙන්නේ භුවන් කියන තරුණයා. අවසානයේ සුද්දන්ගේ සෙල්ලමෙන් ම සුද්දන්ව පරාද කරලා ගැමියන්ට පටවලා තිබුණු බදු බර ඉවත් කරන්නට භුවන් සමත් වෙනවා. ඒ අතරේ භුවන් ට ආදරයේ පහසත් දැනෙන්නේ නැතුවම නෙවෙයි. බොහොම සංවේදී කතාවක් වගේ ම, ඒ. ආර්. රහ්මන් ගේ අපූරු සංගීතයත් නිසා ලගාන් කියන්නේ අමතක නොවෙන සිනමා ලකුණක්.

ආමීර් ඛාන් ට කලින් භුවන් ගේ චරිතය සඳහා බොලිවුඩයේ සුපිරි නළුවන් වන ශාරුක් ඛාන්, රිතික් රෝෂන් වගේම, අභිෂේක් භච්චන් සහ බොබී දියෝල් ගේ නම් යෝජනා වෙලා තිබුනත් අවසානයේ ආමීර් ඛාන් භුවන් ට උපරිම සාධාරණය ඉෂ්ට කරලා තියෙන බව, අදායම්, විචාරක ප්‍රසාදය සහ චිත්‍රපටයේ ජනප්‍රියත්වයෙන් හොඳටම පැහැදිලි වෙනවා.

 

6. ජෝ ජිතා වෝහි සිකන්දර් (Jo Jeeta Wohi sikandar)

 

1992 දි තිරගත වුනු ජෝ ජිතා වෝහි සිකන්දර්, මන්සූර් ඛාන් අධ්‍යක්ෂණය කරපු තවත් ක්‍රීඩාවට සම්බන්ධ චිත්‍රපටයක්. 38 වැනි  ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වුණේ මේ චිත්‍රපටය. ඇමරිකානු සහ තෙලිඟු චිත්‍රපට දෙකක අභාෂයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටයේ අභාෂයෙන් පසු කලෙක ද්‍රවිඩ, කන්නඩා සහ බෙංගාලි චිත්‍රපටත් නිර්මාණය වුණා.

පොහොසත් තරුණයෙකු සහ දුප්පත් තරුණයෙකු තරුණියක් දිනා ගැනීමට කරන අරගලයක් අතරේ පාපැදි සවාරියක් ජය ගන්න තියෙන පරම්පරාගත උවමනාවක් ගැන කියවෙන සරල තේමාවක් වටා ගෙතිලා තිබුනත් මිහිරි සංගීතයයි, රංගනයයි එකතු වුණාම මේ චිත්‍රපටයත් විශිෂ්ටයි. අපි කවුරුත් දැනටත් ආදරය කරන “පෙහෙලා නා ශා” ගීතය ඇතුලත් වෙන්නෙත් මේ චිත්‍රපටයේ.

ආමීර් ඛාන් මේ චිත්‍රපටයේ සංජේ ලාල් ශර්මා එහෙමත් නැත්නම් සංජු ගේ චරිතයට පණ දෙමින් ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා සම්මානයටත් නිර්දේශ වුණා.

 

7. දිල් චත්තා හේ(Dil Chahta Hai)

 

2001 වසරේදී තිරගත වුණු මේ චිත්‍රපටයට ආමීර් ඛාන් සමගින්, සායිෆ් අලි ඛාන්, අක්ෂේ ඛන්නා, ප්‍රීටි සින්ටා, සොනාලි කුල්කර්නි සමගින් ඩිම්පල් කපාඩියා රංගනයෙන් දායක වුනා. අධ්‍යක්ෂණය කළේ ෆර්හාන් අක්තාර්. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන 13 කට නිර්දේශ වෙමින් ඉන් 7ක් දින ගන්නට මේ චිත්‍රපටය සමත් වුණා. ඒ වගෙ ම අයිෆා සම්මාන උළෙලේ නිර්දේශ 14ක් අතරින් 4ක්, ඉන්දියානු ජාතික සිනමා සම්මාන දෙකක් සහ තවත් සම්මාන රාශියක් මේ චිත්‍රපටය දින ගත්තේ ඒ බොහෝ අවස්ථා වල ආමීර් ඛාන් හොඳම නළුවා සම්මානය වෙනුවෙන් නිර්දේශ වෙද්දි.

ඉන්දියානු තාරුණ්‍යයේ ග්‍රාමීය සහ නාගරික පැතිකඩ දෙකම සියුම් ලෙස විග්‍රහ කිරීම සම්බන්ධයෙන් දිල් චතා හේ චිත්‍රපටය විචාරක ප්‍රසාදයට ලක් වුණා. වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාවට ලිපියක් ලියන බෙත් වොට්කින්ස් කියන්නේ  “චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙන හාස්‍යය සහ මනුෂ්‍ය හැගීම් වල එකතුව ඉතා විශිෂ්ට” බවයි.

කුඩා කාලේ ඉඳලම එකට ඉන්න යාලුවෝ තුන් දෙනෙක් තරුණ අවධියට පත් වුණාට පස්සේ ඔවුන්ගේ ජීවිත වල සිද්ධ වෙන විවිධ හැලහැප්පීම් අතරේ ඔවුන් ජිවිතයට මුහුණ දෙන අයුරු  ගැන කතාවක් තමයි මේ.

 

8. තාරේ සමීන් පාර් (Taare Zameen Par)

 

මේ චිත්‍රපටය නම් නොදන්නා කෙනෙක් නෑ. 2007 දි තිරගත වුණු තාරේ සමීන් පාර් සඳහා ආමීර් ඛාන් රංගනයෙන් දායක වුණා පමණක් නෙවෙයි, අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනයත් ඔහු ගේ. සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ මේ චිත්‍රපටය 2008 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයයි.

අඩුපාඩු තිබුණත්, හැම දරුවෙක් ම විශේෂ බවත්, ඇතැම් වෙලාවට ඔවුන්ගේ හැකියාවන් ලෝකයම මවිත කරන්නට සමත් වෙන බවත් කියවෙන සංවේදී නිර්මාණයක් වුණු මේ චිත්‍රපටය විශේෂයෙන්ම දෙමාපියන් විසින් නැරඹිය යුතුම චිත්‍රපටයක්. විචාරක අවධානයට වැඩියෙන්ම ලක් වුණු චිත්‍රපටයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඩිස්ලෙක්සියා රෝගයෙන් පෙලෙන දරුවන් ගේ දෙමයියන් අතරින් මේ චිත්‍රපටය නැරඹූ දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන පෙරටත් වඩා ආදරයෙන් සහ දයාවෙන් යුතුව කටයුතු කරන්නට පටන් ගත් බව කියවෙනවා.

 

9. ගජිනි(Ghajini)

 

2005 දි දමිල චිත්‍රපටයක් ලෙස එළිදැක්වුණු ගජිනි චිත්‍රපටයේම නැවත නිර්මාණයක් තමයි 2008 වසරේදී එම නමින් ම හින්දි සිනමාවට එක් වන්නේ. අධ්‍යක්ෂණය කළේ ඒ. ආර්. මුරුගදෝස්. සංගීතය ඒ. ආර්. රහ්මාන් ගේ. ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් වන ගජිනි ඉන්දියානු රසික ප්‍රජාව ආදරයෙන් වැළඳගත් බව නොරහසක්. ඒ බව ආදායම් වාර්තා වලින් හොඳටම පැහැදිලි වෙනවා. ස්ටාර් ඩස්ට් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයක් දිනගන්නටත් ගජිනි සමත් වුණා.

කතාව ගලා යන්නේ අමතක වීමේ රෝගයකට ගොදුරු වුණු ව්‍යාපාරිකයෙක් සහ ඉන් අනතුරුව ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවක් ඔස්සේ. ත්‍රාසය, භීතිය සහ කුතුහලය සමගින් ප්‍රේක්ෂකයාට හොඳ වින්දනයක් ලබා දුන් චිත්‍රපටයක් විදිහට ගජිනි නම් කරන්න පුළුවන්.

 

10. දංගල්(Dangal)

 

මේ චිත්‍රපටය තිරගත වුණේ 2016දි. ආමීර් ඛාන් මෑත කාලීනව ඉතාමත් සාර්ථකත්වයට පත් වුණු චිත්‍රපටයක් විදිහට දංගල් නම් කරන්න පුළුවනි. අධ්‍යක්ෂණය කළේ නිතේෂ් තිවාරි. ආමීර් රංගනයට අමතරව මේ සඳහා සම  නිෂ්පාදනයෙනුත් දායක වෙලා තියෙනවා. මේ කතාවට පාදක වෙන්නේ තමන්ගේ දියණියන් දෙදෙනාම ලෝක මට්ටමේ මල්ලවපොර ශූරියන් බවට පත්කරන්නට කැපවුණු ඉන්දියානු මල්ලවපොර ක්‍රීඩකයෙකු වන මහාවීර් සිං පොගත් ගේ ජීවිත කතාව. මහාවීර් ගේ කැපවීම ගොඩක් ඉන්දියානු තරුණියන් ට මල්ලවපොර ක්‍රීඩාවට යොමු වෙන්නට බලපෑමක් වුණා. කතාවේ මූල බීජය වශයෙන් යොදාගත් සංකල්පය විචාරකයන් ගේ විශේෂ ප්‍රසාදයට ලක් වුණා. 62 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ක්‍රියාදාම චිත්‍රපටය යන සම්මාන චිත්‍රපටය විසින් දිනාගනිද්දී ආමීර් ඛාන් මෙහි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.

ආමීර් ඛාන් කියන්නේ හුදෙක් ප්‍රේම ජවනිකා වලට පමණක් සීමා නොවුණු රංගනයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරමින් ඔහු නිරූපණය කළ සියලු චරිත වලට සාධාරණය ඉටු කළ සුපිරි නළුවෙක්. වීරයා විතරක් නෙවෙයි, දුෂ්ටයාගේ චරිතය වුණත් ඉතාම අපුරුවට නිරූපණය කරන්නට ඔහු සමත්. අනෙක් නළුවන් ගෙන් ඔහු වෙනස් වෙන්නෙත් ඒ නිසයි. ඔහුගේ කුසලතාව වටහා ගන්නට ඉහත කි සිනමා නිර්මාණ වලින් එකක් වුනත් සෑහේවි. මේ අතරින් කීයක් ඔබ නරඹා ඇතිද කියන එක ගැන හිතලා බලන්නත්, මෙතෙක් නරඹපු නැති සිනමා පට නරඹන්නත් මේ ලිපිය උදව්වක් වේවි.

 
Cover Image Source – bollywoodhungama.com , wikipedia.org, gaana.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *