ජොබ් එකක් ගන්න කෝස් එකක් හොයනකොට මේ ගැනත් බලමු නේද?

how to select course for higher education

ඉගෙනගැනිමේ මූලිකම පරමාර්ථය රැකියාවක් කිරීමම නෙමෙයි. එහෙත් අපි යම්තාක් මට්ටමකට ඉගැනගැනීමෙන් පසු අපිට රැකියා අවස්ථාවක් සොයාගන්නට අපහසු වුණොත් එතනින් පසු වැඩිදුර ඉගෙනීමත් ජීවිතේ අනික් කාරණා සම්පූර්ණ කරගැනීමත් නවතිනවා. ජොබ් එකක් බලාපොරොත්තුව කෝස් කරන අය අතර, තිබෙන රැකියාවේ උසස් වීම් ගන්න, කරන රැකියාවෙන් අලුත් රැකියාවකට යන්න සහ ඉගෙනගන්න ජිවිතේ  නවත්වලා අලුතින් රැකියාවක් සොයාගන්න කැමති පිරිස් එකතුවෙලා ඒ පාඨමාලා හදාරනවා. අපි ඒ පාඨමාලා තෝරාගැනීම ගැන මදක් සලකා බලමු

1. කෝස් එක කළ ආදි සිසුන් ගේ තත්වය බැලීම

how to select course for higher education

Source – echelon.lk

පාඨමාලාවක් තෝරාගන්න අදහසින් යම් ප්‍රදර්ශනයකට හෝ අධ්‍යාපන ආයතනයකට ගොඩ වූ කල ඒ ස්ථානවල සිටින පිරිස නොයෙකුත් උපක්‍රම මගින් අපේ හිතේ එම පාඨමාලාවන් ගැන අලංකාර චිත්‍රයක් මවාපෙනවා. ඒ චිත්‍රය දෙස වගේම පාඨමාලාව හදාරපු අය ඉන්න තැන් ටිකත් හොයලා බැලුවනම් සත්‍යයම තෝරාගන්නට පුලුවනි. ඇතැම් ක්ෂේත්‍ර වල රැකියාවන් අඩුයි. තව පැතිවල රැකියාවන් තිබෙනවා අවශ්‍ය සුදුස්සන් නැහැ. අමාරුවෙන් ණයතුරුස්වෙලා කෝස් එකක් කරනවා නම් වඩාත්ම සුදුසු දේ තමයි රැකියා අවස්ථාවන් සොයාගත හැකි කෝස් එකක් හදාරන එක. කෝස් එක කරපු අය දැන් ඉන්නේ කොහේද සහ ඒ අයගේ ජීවන තත්වය කොහොමද කියලා හොයල බලන්න පුලුවනි නම් කෝස් එකෙන් පස්සේ ඇතිවෙන අයියෝ සල්ලි අදහසින් බොහෝම කලිං ගැලවෙන්න වාසනාව උදා වෙනවා.

 

2. තියෙන සම්පත් මොනවද?

how to select course for higher education

Source – carepoint.lk

කාර්මික පාඨමාලාවක් වගේ හදාරන අවස්ථාවකදී ඒ කාර්මික යන්ත්‍රෝපකරණ ආදිය තිබෙන තැනක් තෝරාගැනීම අවශ්‍යයි. ජලය නොමැති තැනක පිහිනීම ඉගෙනැගැනීම විහිළුවක් එසේම යම්  යන්ත්‍රෝපකරණයකට ආසන්න හෝ යන්ත්‍රයක් නොමැති තැනක එම යන්ත්‍ර හැසිරවීම ඉගැනීම තේරුමක් නැති දෙයක්. විශාල මට්ටමේ පාඨමාලාවන් නම් ඒ පාඨමාලාවන්ට අදාල විද්‍යාගාර පහසුකම් පුස්තකාල පහසුකම් ආදියත් තිබෙනවාද බැලීම වැදගත්. කවර පාඨමාලාවක් හැදෑරුවත් උගන්වන ගුරුවරු, සහ මෙහෙයවන පිරිස මත පාඨමාලාවේ කරුණු වල සාරවත් බව තීරණය වනවා. ක්ෂේත්‍රයේද පළපුරුද්ද ඇති උගත් සුදුසුකම් ඇති ගුරුවරුන් සිටින තැනක් තරමක් මිලෙන් වැඩි වුවත් එවැනි තැනකින් අධ්‍යාපනය ලැබීම දැනුමට වගේම කුසලතාවයටත් ලොකු ගැම්මක් එක් කරාවි.

 

3. උගන්වන දේවල් තියෙන්නේ මොන යුගේද?

how to select course for higher education

Source – alamy.com/ hellogiggles.com

ලංකාවේ කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රෙය් බොහෝ තැන්වල පවතින එක්තරා අඩුවක් ලෙස විෂය මාලාවන් යාවත්කාලීන නොවීම දැක්විය හැකිය. නූතනයේ තාක්ෂණය යනු  වේගයෙන් දියුණු වන අංගයකි. මෙවන් යුගයක මීට වසර 10කට පෙර පැවති තාක්ෂණික අංග ගැන ඉගැනීම යාන්ත්‍රික විද්‍යාවන්, සිවිල් ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන් වලදී ලොකු අවුලක් නැති වුවත් පරිගණක විද්‍යාව වැනි වේගවත් විශයයකදී ඉතිහාසය ගැන ඉගැනීමේ දී හැර වසර දහයකට එපිට වූ මෘදුකාංග සහ දෘඩාංග ගැන හැදෑරිම තේරුමක් නැහැ. පාඨමාලා වක් හදාරන විට එහි  විෂයමාලාව හෙවත් සිලබස් එක මොකද්ද ඒකේ කරුණු තියෙන්නේ අලුත්ම ඒවද කියලත් හොයා බලන එකත් හොඳ පාඨමාලාවක් තෝරාගත හැකි තවත් ක්‍රමයක්.

 

4. සහතිකයට ලැබෙන තැන

how to select course for higher education

Source – slideshare.com

ඔයාලගේ සහතිකේ පිලිගන්නවාද කියා පාඨමාලාව සංවිධානය කරන තැන්වලින් ඇසුවොත් බොහෝවිට ඔවුන් ඒ ගැන විවිධ ගෙනහැරපෑම් දක්වාවි. කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රෙය් දී නම් NVQ සහතිකය ගැනත් අන්තර්ජාතික පිලිගැන්ම ගැනත් සොයාබැලිය යුතුයි. කුසලතාවයක් උපයාගත්තේ වුවද එය එසේ යැයි ඔප්පු කරගැනිමට නම් ලංකාවේ බොහෝ ආයතන වලදී සහතිකයක් තිබීම අනිවාර්ය දෙයක්. එවැනි අවස්ථාවකදී අනාගතයේ ලැබෙන සහතිකයේ වටිනාකමත් කෝස් එක පටන් ගන්න කලිං ටිකක් ආරංචි කරලා බලන එක වැඩි පරිස්සමට කෝකටත් හොදයි.

 

5. කෝස් එකේ මිල

how to select course for higher education

Source – bbc.com

එකම විෂය වුවත් විවිධාකාර මිල ගණන් වලට විවිධ ස්ථානවල පැවැත්වෙන අවස්ථා තිබෙනවා.  දුරබැහැර සිට කොළඹ පැවැත්වෙන පාඨමාලාවකට යොමුවන්නේ නම් ඒ සඳහා මග වියදම් ආහාර වියදම් සහ ඇතැම්විට නවාතැන් සදහා වියදම්ද එකතු වෙනවා. සිටි ඇන් ගිල්ඩ්ස් වැනි කාර්මික පාඨමාලා වලදී පාඨමාලා පැවැත්වෙන ස්ථානවලදී පාඨමාලා ගාස්තුව පමණක් සඳහන් කරන අවස්ථා තිබෙනවා. එහෙත් ඒ අවසන විභාගයට පෙනී සිටීමට තවත් ගාස්තුවක් ගෙවන්නටද සිදු වෙනවා. පාඨමාලා සදහා ආයතනයකින් ගාස්තුවක් නියම කළ පසු ඒ ගාස්තුවට පසු තවත් ගාස්තු තිබේද? ඒ ගාස්තුවට ඇතුලත් වන්නේ මොනවාද නොවන්නේ මොනවාද කියාත් තහවුරු කරගැනීම අනාගතයේ ඇතිවන ආර්ථික ගැටලු වලින් මිදීමට හේතු වේවි.

 

6. අවට පරිසරය

how to select course for higher education

Source – durable.co.uk

උසස් පෙළ හැදෑරු වයසේ සිසුවෙකු හෝ සිසුවියක පාඨමාලාවකට යොමු කරන්නේ නම් පාඨමාලාව පැවැත්වෙන පරිශ්‍රයේ සහ ඒ අවට සමාජය ගැනත් සැලකිලිමත් විය යුතුයි. තදබල ලෙස විනය පාලනය යොවුන් වයසට යම් පීඩනයක් එල්ල කළත් කිසිදු විනයක් නොමැති පරිසරයක් දරුවන් විවිධ දුරාචාර වලට යොමුවන්නට මග හසර විවර කරන්නට ද ඉඩකඩ තිබෙනවා. එසේම හොද පරිසරයක පිහිටි අධ්‍යාපන ආයතනයක් නම් ඒ පරිසරයේ සිසුන්ට අධ්‍යයන පාඩම් කටයුතු කිරීම පහසුයි. ආගමික ඝෝෂාවන් ඇති, කාර්මික හෝ අපද්‍රව්‍ය සහිත පලාත්වලින් ඈත්ව පිහිටි නවාතැන් සහ අධ්‍යාපන ආයතන පිළිබදවත් අවධානය යොමුකිරීම වටිනවා.

 

7. සිසුන්ගේ මට්ටම සහ පාඨමාලාවේ තත්වය

how to select course for higher education

Source – rootssalonandacademy.com

පාඨමාලාවන් හැදෑරීමේදී ඒ පාඨමාලාවන්ට ඇතුලත් වීමට මූලික සුදුසුකම් බොහෝ පාඨමාලාවන් හි දක්වා තිබෙනවා. මූලික සුදුසකම් සේම සිසුන්ට ඒ සදහා ඇති රුචිකත්වයත් පාඨමාලාවක් සාර්ථක වන්නට බලපානවා. දෙමාපියන් යාලුවන් මිතුරන් විසින් නිර්දේශ කළ පමණින් හෝ තමුන්ගේ මූලික සුදුසුකම් මත පාඨමාලාව හැදෑරිය හැකි පමණින්ම පාඨමාලාවක් හැදෑරිමට යොමු වීම නුවණට හුරු නෑ.. පාඨමාලාව හරහා ආවරණය කෙරෙන ක්ෂේත්‍රය සහ  ඉන් පසු එයින් පසු නිරතවිමට සිදුවන රැකියා කේෂ්ත්‍රය පිළිබඳ කුඩා අධ්‍යනයක් කොට කෝස් එක ගැන නැවත සිතා බැලිය යුතුයි.

 

8. නව නිපැයුම් ට්‍රේනින් සහ බාහිර වැඩ

how to select course for higher education

Source – media.cmgdigital.com

ව්‍යාපෘති, නව නිපැයුම් පර්යේෂණ ආදී දේ සිදුවෙන තැනකට යොමුවුනොත් ඉබේම වාගේ ඉගෙන ගන්නා අය තුල එම කුසලතාවයන් වර්ධනය වෙනවා. හුදෙක් දැනුමෙන් පමණක් සන්නද්ධ නොවී නව දේ සොයායන සිසුන් ට රැකියාවන් සොයාගැනිමේදී වඩාත් වාසිදායක පසුබිමක් උදා කරනවා. රැකියා අවස්ථාවක් සොයා යද්දි තමුන්ගේ ම ව්‍යාපෘතියක්, තමුන්ගේම යම් ආකෘතියක්, නිමැවුමක් ගැන වාර්ථාවක් තිබීම හෝ එවන් කුසලතා තිබීම අමතර සුදුසුකමක් වෙනවා.

ඇතැම් රැකියා පාදක පුහුණු පාඨමාලා වලට ක්ෂේත්‍රගත පුහුණු කාලයක්ද ඇතුලත් කොට තිබෙනවා. එම පුහුණු කාලය එම උගත් දේ යෙදෙන ස්ථාන ලැබෙන එකක් නම් එවිට පාඨමාලා කුසලතාවය මෙන්ම වැඩ කිරීමෙන් ලැබෙන දෑතේ කුසලතාවයද සිසුවාට නිරන්තරයෙන්ම ලැබෙනවා.

තවමත් පැරණි මතිමතාන්තර දරන පිරිස් සිසුන් සිදුකරන සමාජීය වැඩ, පොදු වැඩ, ශ්‍රමදාන. චාරිකා, දන්සැල් ආදිය දෙස වපරැසින් බැලුවත් සිසුන් සමාජය හා එකතුව කරන සත්කාර සහ වැඩසටහන් ඔස්සෙ ඔවුනට ලැබෙන සමාජීය හුරුව සුලුකොට තකන්නට බැහැ. හුදෙක් කෝස් එකක් හදාරා පිටවෙන පිරිසක් බිහිකරන ස්ථානයකට වඩා සිසුන්ගේ සමාජීය කුසලතාවයන් වඩවන ඔවුන්ට එවැනි ක්‍රියාකාරකම් සදහා ඉඩදෙන කෝස් එකක් තිබෙන තැන වටිනාකමින් වැඩියි.

කෝස් එක්ක තෝරාගන්න යන විට මේ කාරණා ගැනත් ටිකක් හොයා බැලුවොත් කෝස් එකෙන් පස්සේ ගොඩක් අපහසුවක් නැතිව රැකියාවක් වෙත හෝ උසස් වීමක් වෙත පානගන්න හැකියාව ලැබේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *