අවුරුද්දට වරක් ලංකාවේ හතරදිග්බාගේ ඉන්න පොත් කියවන, කියවන්නැති හැමෝම කොළඹට කැන්දන පුල් මාවලස් ඉවෙන්ට් එකක් නොවැ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ. පොත් ගන්න විතරක් නම් බැරියැ. ප්‍රදර්ශනේ කාලෙටත් වඩා මේකේ රැස් අන්නසෝත්රගත වෙන්නේ ප්‍රදර්ශනේට කලිනුයි පස්සෙයි. ඒ රැස් වළල්ලට අහු වුණා කියන්නේ මේන් මේ කතන්දර දවසට අටෝරාසියක ප්‍රමාණයකින් අහන්න වෙනවා කියන එක. අලුතින් ම නිර්මාණය වෙන උපසංස්කෘතියක ගතියකුත් මෙතන නැතුවම නෙවෙයි. පොත්වලටත් වඩා රහ මේ කතන්දර සිරා සිද්ධි ඈ!
1. අස්වැන්න
නෑ නෑ දෙක වසරේ විතර ඉඳන් රචනා ලිව්ව ගොවිතැන එක්ක සම්බන්ධ වචනේ නෙවෙයි මේ. මේක මේ පොත් අස්වැන්න ගැන. ඒ කිව්වේ මෙහෙමයි. ප්‍රදර්ශනේ දවසට ගත්ත පොත් ටික පෙන්නලා “මෙන්න මේ පාර මගේ අස්වැන්න” කියන්න පුළුවන්. වත්කම කියලත් කියන්නේ මේකටමයි. පොඩි ආලවට්ටම් ගතියක් තිබ්බට මොකෝ මිනිස්සු පොත් ගන්නේ ආසාවෙන්. ඒ සතුට ප්‍රකාශ කරගන්න අස්වැන්න කියනවාට වෙන මහප්‍රාණ වචනයක් තියෙනවද?
2. මට විතරද?
ඩෙල්ෆ්ට් දූපතේ වගේ ජීවත් වෙනවා නම් දෙයියනේ කියලා ප්රදර්ශනේකට කියලා තකහනියක් කොළඹ එන්න බැහැනේ. එතකොට “මේ පාර ප්‍රදර්ශනේට එන්න වෙන්නැත්තේ මට විතරද?” කියලා අහලා දුක පොඩ්ඩක් දිය කරලා ගන්න පුළුවන්. “පොත් ගන්න සල්ලි නැත්තේ මට විතරද?” කියන එකත් තාර්කික ප්‍රශ්නයක්. ප්‍රදර්ශනයක් උනත් පොත් නිකන් දීලා දාන් නෑනේ. හැබැයි ඉතින් මේක කොමන් සෙන්ස් ගෑවිලාවත් නැති ප්‍රශ්නයක්. කෝටි දෙකක් ඉන්න රටේ එක මනුස්සයෙක්ට විතරක් කිසිම ගිනිවිජ්ජුම්බරයක් වෙන්න විදියක් නැහැනේ.
3. ඔය යන්නේ නූඩ්ල්ස් කන්න
බලන් ගියාම පොත් ප්රදර්ශනේත් එක්තරා විදියක පොතක් තමයි. චරිත ගොඩයි. කතා ගොඩයි. සම්පූර්ණ වෙන්න බලාගෙන කියවන්නම මිනිස්සු එයි කියලා මතයක් ඉදිරිපත් කරන්න බැහැ. මොකද රුචි අරුචිකම් වෙනස්නේ. පොත් ගන්න බලාගෙන ම දත කට මැදන් ඉන්න ඈයෝ අස්සේ ඉන්නවා යාළුවෝ එක්ක එකතු වෙලා සතුටු වෙන්න (පොඩි සොමියක් දාන්න) මෙතෙන්ට එන අය. ඒක මහා ලොකු වරදක් නෙවෙයිනේ. පොතක් කියවලා ලබන විදියේ සතුටක් ම ඒකෙන් ලැබෙනවා. ඒත් පොත් විතරක් අරන් එන්න ගිය උගත් බුද්ධිමත් අය අනික් මිනිස්සුන්ව හංවඩු ගහන්නේ “ඔය යන්නේ නූඩ්ල්ස් කන්න” කියලා.
4. තේරීම අන්තිමයි
මේක මේ සෙට් පිටින් බහින ප්රබුද්ධ විචාරක අය කියන දෙයක්. “මල් කතන්දර විතරයි ගන්නේ කිසිම රසවින්දනයක් නැති අන්තිම අස්වාභාවික තේරීමක්” වගේ ලෝකේ නැති කතන්දර ගොඩක් මේ කාලෙට අහගන්න පුළුවන්. මල් උනත් මොකෝ ඉතින් පොතක් නම්. අඩුම තරමේ ලියපු මනුස්සයා පුංචි හරි දිරියක් ලබනවා. එදාට හැමෝම ශබ්දකෝෂයි, විසිතිස් වතාවක් කියෙව්වත් තේරෙන්නැති කතන්දරයි ගත්තොත් මිනිසා සම්පූර්ණ වෙන එකක් නෑනේ.
5. නියමයි! අජූවයි!
දැන් පොත් ටික අරන් ඉවරයි. ගන්න හිතන් හිටපු පොත් ටික ගන්න බැරිවුණ, හිතාගෙන හිටපු විදියට ඩිස්කවුන්ට් හම්බ වුණේ නැති සෝකෙන් ප්‍රකාශකයන්ට දෙස් දෙවොල් තියන කාණ්ඩයට පොත් ප්‍රදර්ශනය අප්‍රසන්න අත්දැකීමක්. ඒත් හොඳම පොත් ටිකක් මිලට ගත්ත, යාළුවෝ එක්ක සතුටින් ගෙවුණු දවසක් මතකයට ඉතිරි කරලා දුන්න නිසා ප්‍රදර්ශනේ පුල් මාවලස් කට්ටියකුත් ඉන්නවා. ඊළඟ පාර ප්‍රදර්ශනේ සාර්ථක කරගන්න නම් මේ දෙගොල්ලම ඉන්න ඕනි.
ලබන අවුරුද්දට මතුසම්බන්ධයි..
Leave a Reply