අපේ ආහාරයේ ප්‍රධානම කොටසක් වන ව්‍යංජනවල අඩුව සපුරන එළවළු කඩෙන් ගන්න ගියාම එකේක දවසට එකේක ගණන්. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා ලයිෆි කණ්ඩායමේ අපි සොයා බැලුවා.
ස්වභාවික ව්‍යසන
මෑතක සිට ලංකාවේ වසරකට ඇතිවන ස්වභාවික ආපදා ප්‍රමාණය වැඩිය.මෙය ලංකාව පමණක් ලොව ලෝකයේ බොහෝ රටවල් මුහුණපාන ගැටළුවකි. එහෙම ස්වභාවික ව්‍යසන වෙද්දි අපට ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන්නේ මිනිස් ජීවිත හානි සහ දේපල හානි වේ. ස්වාභාවික විපත් වලින් ඒ වැනිම දැඩි හානි ප්‍රමාණයක් ගොවිතැන් කටයුතු වලටත් සිදු වේ. ලංකාවේ ගොවිතැන් කටයුතු ආදිය ගැන තවමත් ඉහළ මට්ටමේ සිතියම්කරණයක් භාවිතා වෙන්නේ නෑ. ඒ නිසා යම් ආපදාවකින් හානිවන එළවළු වගාවන් සහ ඒ ආශ්‍රිතව ඇතිවන තත්වයන් ගැන හරිහැටි කියන්නට හැකියාවක් නැහැ.
ස්වාභාවික විපත් වළක්වන්නට අමාරුයි. එහෙත් ස්වාභාවික විපත් කලින් හඳුනාගන ඒ සඳහා පිළියම් යෙදීම් කරන්නට හැකියාව තිබෙනවා. එසේම නිසියාකාර වගා සිතියම්කරණයක් තිබෙනවා නම් වගා හානි පිළිබද දත්ත ආදිය කලින් දැනගෙන ඒ නිරන්තරයෙන් හානි සිදුවන පළාත් හඳුනාගෙන වැඩපිළිවෙලවල් දියත් කරන්නට හැකියාව බලධාරින්ට ලැබෙනවා.
ගොවීන්ගේ අධික නිෂ්පාදන වියදම
කලකට පෙර ගොවීන් එළවළු බීජ ලබාගත්තේ ඵලදාවේ කොටසක් එළවළු බීජ සදහා යොදාගනිමින්. බටු, මිරිස්, තක්කාලි, කරවිල, පතෝල, වැටකොළු ආදී බොහෝ ගොඩ බෝගවල ඇට ලබාගත්තේ එසේ සරු ඵල ආරක්ෂා කර ඒවායේ බීජ ලබාගැනීමෙන්. එහෙත් අද කාලේ තාක්ෂනයෙ දියුණුවත් සමගම සෑම කිනිත්තකම සරු ඵල ලැබෙන පැහැයෙන් අලංකාර ඵල ලැබෙන, අඩු කාලයකින් අස්වනු ලැබෙන වගේම වරකට විශාල අස්වනු ප්‍රමාණයක් ලැබෙන විවිධාකාරයේ බීජ ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව වැනි රටවලින් ලංකාවට එනවා.
එම බීජ තුළින් වඩාත් සාර්ථක අස්වැන්නක් කෙටි කාලයකදී ලබා ගත හැකිවුවත් එම බීජ වලට ගෙවන්නට සිදුවන මිල සරල නැහැ. ඇතැම් විට එක් බීජයකට රු 5-10ත් අතර මිලක් බීජ වෙනුවෙන් පමණක් වියදම් වෙනවා. ඒ වගේම දින 45 කුකුළන් මෙන් වූ මෙම වැඩිදියුණු කළ බීජ වලින් කෙරෙන වගාවන් වලට පොහොර සහ කෘමිනාශකද වැඩිපුර ඉසින්නට සිදු වෙනවා.
එසේ කෘමිනාශක සහ පොහොර යෙදුවේ නැතිනම් මෙම බීජවලින් සැලකිය යුතු අස්වනු ලබාගන්නට අපහසුයි. මේ අනුව බැලූ කල පෙරට වඩා බීජ වලට, කෘෂි රසායන වලට සහ ජලය සැපයීමට වගේම ශ්‍රමයටත් වියදම් වන මුදල වැඩියි. එනම් අස්වනු නෙලන කාලයේදී ගොවිතැන් වල ලැබෙන අස්වනු අතිරික්තයක් තිබුණත් ගොවියාට මිල අඩුකර සහනයක් ලබා දිය නොහැකි වී ඇත්තේ මේ නිශ්පාදන පිරිවැය වැඩිවීම නිසාය.
අතරමැදි ජාලය
ඕනෑම පළාතකදී ගොවීන්ට කිලෝවකට ලැබෙන මිල සහ පාරිභෝගිකයාට ලැබෙන මිල සසඳා බැලුවහොත් ගොවීන්ට අතට ලැබෙන මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලක් පාරිභෝගිකයාට දරන්නට සිදුවන බවක් පෙනී යනවා. එය එළවළු මිල ඉහල යන්නට සාධකයක් වෙනවා. ඇතැම් විට එළවළු විකුණාගන්නට නොහැකිව එළවළු ඉවත ලන අවස්ථා අපි මාධ්‍යවල දුටුවත් ඒ එළවළු මිල අඩුවීමක් දකින්නට නැත්තේද මේ අසාමාන්‍ය අතරමැදි ජාලාව නිසා වේ.
මේ අතරමැදියන් යනු එක් පාර්ශවයක් පමණක් නොවේ. ගොවියා සිටින පසුබිමට බැස බැලූ විට එළවළු මිලට ගන්නේ ප්‍රාදේශිය එක්රැස් කරන්නෙකි. ඉන් පසු ලොරිවලින් ඒ ප්‍රාදේශීය එක්රැස් කරන අයගෙන් එළවළු මිලට ගන්නා තවත් පිරිසකි. ඉන් පසු නගරයේ සිටින තොග වෙළෙන්දෙකි. ඉන් පසු එළවළු කඩමැහි වල සිටින වෙළෙන්දන් අතරට එළවළු පත්වේ. මේ අතරමැදි ජාලයේ එක් පිරිසක් විසින් සියයට විස්සක කොටසක් තබාගත්තේ වුවද එළවළු වල ගොවියාට ලැබෙන මිලට වඩා සෑහෙන වැඩි මිලක් පාරිභෝගිකයාට දරන්නට සිදු වේ.
මෙම අතරමැදි ජාලය විසින් ගිලගන්නා එළවළු මිල අවම කරගැනීමට ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන දඹුල්ල මීගොඩ ආදී ප්‍රදේශවල පිහිටුවාලූ නමුත් ඒවා මගින්ද අද වනවිට එදා ඒවා ඇතිකිරිමේදී අදහස් කරගන තිබූ ඉලක්කවලට ම ගමන් කරන බවක් නොපෙනේ.. ගොවියාගෙන් කෙලින්ම එක් පාර්ශවයක් විසින් මිලදී ගෙන ඔවුන්ම අලෙවි කරන්නේ නම් එළවළු මිල එයින් යම්තාක් දුරකට අඩුකළ හැකි වන්නේය. අප රටේ රාජ්‍ය අංශයට සම්බන්ධ ලක් සතොස වැනි ආයතන මෙන්ම පුද්ගලික සුපිරි වෙළද ජාලාවන්ද පවතින අතර සෑම පළාතකම ඒවායේ ශාඛාවන් තිබේ. සියලුම බඩු කොළඹින් හතර අතට බෙදෙන ජාලාවන් වෙනුවට ඒ ඒ පලාත්වලින් එළවළු මිලට ගෙන ඉන් පසු විකිණීමට නිසි ක්‍රමයක් සකස් වන්නේ නම් ගොවියාට වැඩිමිලක් සහ පාරිභෝගිකයාට වැඩි සහනයක් හිමි වනු ඇත.
ප්‍රවාහන වියදම
රටේ එළවළු වැවෙන නුවරඑළිය වැලිමඩ බදුල්ල දිසාවෙන් හෝ පහතරට එළවළු වවන දඹුල්ල සහ ඇඹිලිපියට දෙසින් එළවළු කොළඹට එනවිට ඒ එළවළු කිලෝමීටර සිය ගණනක් ලොරිවල පටවාගෙන ඒමට සිදු වේ. සාමාන්‍ය ලොරියකින් එළවළු කිලෝ තිහක් පමණ කිලෝමීටර 100ක් දුර ගෙනයෑමට මල්ලකට රු 200ක මිලක් හෝ ඒ ආසන්න මුදලක් වැය වේ. ඊට අමතරව එළවළු බෑමේ නාටාමි ගාස්තුද එකතු වේ .මෙය අතරමැදියන් කිහිප දෙනෙකු එක එළවළු මල්ලක් එහා මෙහා කරන විට තවත් ප්‍රවාහන ගාස්තු වැඩිවේ. එනම් කිලෝවකට රුපියල් 5-10 කට ආසන්න මුදලක් එළවළු ප්‍රවාහනය පිණිස වැය වේ.
යුරෝපීයන් ලංකාවේ දුම්රිය මඟ තැනීමේ එක් ප්‍රබල අරමණක් නම් ඔවුන්ගේ වෙළඳ බෝග අස්වනු කොළඹට රැගෙන ඒම වේ. දුම්රිය බඩු ප්‍රවාහනය යනු තවමත් මෙලොව ඇති ලාභදායකම ප්‍රවාහන ආකාරය වේ. එළවළු වැවෙන බණ්ඩාරවෙල බදුලු සීමාවට මෙන්ම පොලොන්නරුව හිගුරක්ගොඩ දිසාවටද දුම්රිය මග දිවෙන මුත් වර්තමානයේ අප රටේ එළවළු සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු පිණිස දුම්රිය යොදාගන්නේ නැත. දුම්රියෙන් එළවළු ප්‍රවානය කිරීම මගින් ඉක්මණින් කාර්යක්ෂමව මෙන්ම ලාබදායීව එළවළු තදාසන්න පෙදෙස් කරා ගෙනයා මේ හැකියාව තිබේ. එසේම අතරමැදි පිරිස අඩුවුවහොත් ඒ හා සමානුපාතිකව වැයවන ප්‍රවාහන පිරිවැයද අඩු වේ.
ඉහත කරුණු සඳහන් කළ පරිදි සතොස එළවළු බෙදාහැරීමට මැදිහත් වුවොත් සතොස බඩු ප්‍රවාහනයකට එක් පසෙකට පාවිච්චි වන ලොරි දෙපසටම බඩු ප්‍රවාහනයට යොදා ගත හැකිය. සරලවම එයින් කොළඹින් යන සහල් පිටි, පරිප්පු වැනි වියළි ආහාර රැගෙන ගොස් ඒ එන හිස් ලොරිය එළවළු හෝ පොල් වැනි දේ පටවාගෙන ඒම කළ හැකිය.
ඇසුරුම් නාස්තිය
ප්ලාස්ටික් කූඩ ගැන විවිධාකාර වාද විවාද, තීරණ ගැනීම සිදුවුවත් තවමත් පිටකොටුව මැනිං වෙළඳ පොල පුරා ඇත්තේ පොලිසැක් කවරවල දැමූ එළවළුය. එළවළු තැලීම, හානිවීම, එළවළු බාලවීම මෙම අනාරක්ෂිත ඇසුරුම් මගින් සිදු වේ. මෙමගින් එළවළු කිලෝ තිහ හතලිහක එළවළු මල්ලක එළවළු කිලෝ කිහිපයක් අපතේ යෑමද සිදු වේ.
ගොවියා වගාකිරීමේ සිට වෙළඳපොලට පැමිණීම දක්වා යම් ආකාරයකෙන් ක්‍රමවත්ව කළමනාකරණය වන්නේ නම් එළවළු නාස්තිය මෙන්ම අතරමැදියන් වැනි එළවළු මිල වැඩිවීමට බලපාන අහිතකර සාධකද පාලනය කරන්නට හැකියාවක් ලැබේ. එවැන්නක් රාජ්‍ය අංශයෙන් මැදිහත් වීමකින් මෙන්ම පුද්ගලික අංශයේ මහාපරිමාණ මැදිහත්වීමකින්ද කල හැකි ක්‍රියාදාමයකි. එහෙත් එවැනි යාන්ත්‍රණ ඇතිවන තෙක් අපිට ගෙදර පොඩියට හෝ එළවළු පැලයක් දෙකක් හදාගන්න පුලුවනි නම් එතනින් යම්තාක් දුරකට හෝ එළවළු අවශ්‍යතාවය පිරිමහගන්න අපිට හැකියාවක් ලැබේවි.
Cover Image Source – commons.wikimedia.org
Leave a Reply