වයිෆ් පෙග්නන්ට් කාලෙ කට්ටිය කියන්නෙ දැන් අමාරු වුණාට දරුව ලැබුනට පස්සෙ ඔය කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. දරුව හම්බුනාම කියන්නෙ දරුවට අවුරුදු දෙකක් තුනක් වුනාට පස්සෙ ඔය ප්‍රශ්න ඇරිලා යාවි කියලා. හැබැයි දරුවට අවුරුදු දෙකක් තුනක් ලැබුවට පස්සෙ හැමෝම හිතුවට කටු අඩු වෙනව කියල කටු වැඩි වෙන එක විතරයි වෙන්නේ. මේ කියන්න යන්නෙ හැදීගෙන එන පොඩි උන් ඉන්න තාත්තලට කන්න වෙන් සුන්දර කටු ගැන. සුන්දර උනත් මේවා කටුනෙ.
1. වර්ඩ්ස්
දැන් ඉතිං ඉස්සර වගේ යාලුවෙක් එක්ක ෆෝන් එකෙන් වුනත් නිදහසේ කතා කරන්න බැහැ. මෙන්න කතා කර කර ඉද්දි කියපු නරක පැය දෙක තුනකට පස්සෙ කොල්ලා කිය කිය ඇවිදිනවා. ඉතිං ඔලුවෙ අත ගැස්සෙනවා. ඕක කියන්නෙපා කිවුවොත් ඒකම කියනවා. ඒ හින්දා ලොකුවටම වචන පරිස්සම සිද්ධ කරගන්න වෙනවා. අවුරුදු දෙකක දරුවෙක් හිටියට තාත්තා අඩු වයසක කොල්ලෙක් නං මේ ප්‍රශ්නෙ ඒ තාත්තට ලොකුවටම දැනෙනවා සිකුරුයි.
2. ප්‍රශ්න
අලුතෙන් දේවල් තේරුම් ගන්න දරුවෙක් ඉන්න තාත්ත කෙනෙකුට තියෙන අනිත් ප්‍රශ්නෙ තමයි අහන ප්‍රශ්නවලට දෙන්න වෙන උත්තර. ඇයි තාත්තෙ අර ආන්ටි අම්මට වඩා මහත? ඇයි කපුටො කළු? ඇයි මගෙ නම කසුන් කියන්නෙ? මට නිදිමත ඇයි? තාත්ත ඇයි හිටගෙන ඉන්නෙ? තාත්තට වාඩි වෙලා ඉන්න අමාරු නැද්ද? ඇයි ඔච්චර ගොඩක් කන්නෙ? අර අංකල් ඇයි වැනෙන්නෙ? ඇයි තාත්තා වැනෙන්නෙ නැතුව ඉන්නෙ?
3. ආතල් කුඩු
ඔන්න ඉතිං හීනියට අඩියක් ගහන්න හිතුවොත් දරුවා එනවා. තාත්තෙ මොනවද ඔය බෝතල්? ඇයි අම්මා බනින්නෙ? ඇයි අමාරුවෙන් වගේ බොන්නෙ? තිත්තයිද? මේ බෙහෙත්ද? මොකද්ද ලෙඩේ? මටත් බොන්න ඕන. ඔන්න ඉතිං බොන ආතල් ඉවරයි. ඒ විදියට තාත්තා කෙනෙක් තමුන්ගෙ සතුටට කරපු හැම දෙයක් දරුවා ටිකෙන් ටික ලොකු වෙද්දි හොරෙන් කරන්න සිද්ධ වෙනවා. ඇයි නැත්තං මුං පුංචි කාලෙම ඕව කළොත් කෙලින්ම සමාජෙ දෝෂාරෝපනේ එන්නෙ තාත්තටනේ.
4. බේබි සිටින්/ඉඳින්
බේබි සිටින් කියන්නෙ තාත්තා කෙනෙකුට කරන්න අමාරුම දේ. ඔන්න මුළු සතියම නැහිලා නැහිලා වැඩ කරලා, තාත්තා ගෙදර ඉන්න දවසට අම්මාට ඕන වෙනවා ගමන් යන්න. අම්මා යනවා යාළුවො එක්ක සාප්පු සවාරි/ සැලෝන් වගේ තැන්වලට. තාත්තා ඉතිං ගෙදර දරුවාව බලාගන්න ඕන. කොල්ලාට කෑම කවන්න ගේ වටේ ඇවිදපු දුර කොටුවෙ ඉඳන් ගාලු පාරෙ ඇවිද්ද නං කළුතරට විතර ගිහින්. ඒ තරං ඇවිදින්න වෙනවා. මේ නිදාගත්ත ගමං මේ ඇහැරිලා වද දෙනවා. ඉතිං මහත්තයො දුක තමයි.
5. හොර
පොඩි එකා ඉන්න තැන හොර කරනව බොරු. තාත්ති අදත් අර අම්මි එපා කියන ඒවා බිවුවා නේද? ඇයි තාත්ති ඒක කාමරේ තියාගෙන හොරෙන් බිවුවේ? අප්පච්චි අර කතා කර කර හිටපු ආන්ටි කවුද? මොන්ටිසෝරි එක ගාව? ඇයි වෙනද වගේ මාව වඩාගෙන ඉම්බෙ නැත්තෙ? එයා එපා කිවුවද? ඔන්න ඔය විදිහෙ ප්‍රශ්නයක් වයිෆ් ඉස්සරහ ඇහුවාම ඉතිං වේල් හතක් ඔරෝ ඔරෝ ඉන්න ඒකම ඇති.
6. ගෙදරින් යද්දි සහ එද්දි
තාත්තා කෙනෙකුට දරුවා ලොකු වෙද්දි ගෙදරින් යන්න සහ එන්න වෙන්නෙ හොරෙක් වගේ තමයි. සාර්ථකම ක්‍රමේ තමයි උදේට දරුව ඇහැරෙන්න කලින් ගෙදරින් ගිහින් හවසට දරුව නිදාගත්තට පස්සෙ ගෙදර එන එක. උදේට යද්දි වඩාගනිං කියල අඬනව. දාලා යන්නත් දුකයි. වඩාගත්තු ගමන් ඇඳුමෙ චූ දානව. හවසටත් එහෙමයි. දාඩිය පෙරාගෙන ඇවිල්ල ළමයව වඩාගන්න බැරි නිසා මඟ ඇරලා ගියොත් පැය දෙකක් විතර යනකං තරහයි. ඉතිං හැම තිස්සෙම හොරා වගේ ගිහින් හොරා වගේ ඇවිල්ලා බාත්රූම් එකට රිංග ගන්න ඕන.
7. මටත් අරකක්
තාත්තෙක් දරුවකුට නොදෙන දෙයක් නෑ, එහෙමයි කියල දෙන්න පුළුවන් සහ බැරි දේවල් තියෙනව. අතේ සල්ලි නැති අවස්ථා, තියෙන සල්ලි වෙනිං වැදගත් වැඩකට ඕන වෙලාවල් සහ දෙන්න බැරි දේවල් ඉල්ලන වෙලාවල් තියෙනවා. තාත්තෙ මටත් ඕන ලොකු කාර් එකක්. තාත්තගෙ එක බෑ. මටම එකක් ඕන. ඔය අතරෙ ඉන්නවා මට ලයිට් කණුවක් ඕනෙ කියල අඬන බුවාලා.
Leave a Reply