අන්තර්ජාලය පවුලක් බිඳලන්න පුළුවන් තරම් නරක දෙයක් ද?

Internet

 

අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි නිතරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න නිසා අපේ සබඳකම්, අධ්‍යාපන කටයුතු, රාජකාරී කටයුතු බිඳ වැටෙන බව. ෆෝන් එක අතට ගත්තාම දවසේ ම Facebook, YouTube වැනි වෙබ් අඩවි වල දවස ගෙවන්න අපි පුරුදු වෙලා ඉන්නවානේ. කාර්යාලයේ වැඩ කරන අතරතුරේ දී වුණත් විටින් විට ෆෝන් එක අතට අරගෙන facebook එක ස්ක්‍රෝල් කරන්නට අපි නිතැතින් ම පෙළඹෙනවා. ඊට පස්සේ කෑම පැයේදී youtube එක open කරගෙන වීඩියෝස් බලනවා. නිවාඩුවකට විනෝද වෙන්න හිතාගෙන එළියට ගියත් ඔෆිස් එකෙන් ආපු email නොබලා ඉන්නට පුළුවන්කමකුත් නැහැ. මේ විධියට දරුවන්ගේ ගෙදර වැඩ වලටවත් උදව් වෙන්න වෙලාවක් නැති නිසා ෆෝන් එකේ එල්ලිලා ඉන්න එක දරුවන්ට වගේම ‘පවුල’ටත් ප්‍රශ්නයක් බව පේන්න තියෙනවා. ඉතින් මේකට තියෙන එකම විසඳුම සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයෙන් ඉවත් වෙලා, වෙබ් අඩවි හෝ සේවාවන් භාවිතා කිරීම නවත්තලා, ෆෝන් එක පැත්තකින් තියලා offline ඉන්න එක ද? ගල් යුගයේ මිනිස්සුත් ඒ විදිහටම හිටියා. ඉතින් ඔවුන්ගේ පවුල් සුන්දරත්වයෙන් පිරී ගිහින් තිබුණු ඒවා ද?

අපි කොච්චර ෆෝන් එක පැත්තකින් තියලා ඉන්න උත්සාහ කළත් එය ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. Notification එකක් ආපු ගමන්ම නැවත දුරකථනය අතට අරගෙන බලන්න හිතෙනවා. ඊයේ දාපු පිංතූරයට comment කොච්චර ඇවිල්ලා තිබෙනවා ද කාර්යාලයෙන් කොච්චර email ඇවිත් තිබෙනවාද, යහළුවෝ අද කරන්නට සැරසෙන්නේ මොනවාද වගේ දේවල් දැන ගන්නට අපිට කුතුහලය නිතැතින්ම ඇති වෙනවා. ඉතින් මේ සමාජීය ජීවිතයත්, office එකේ ජීවිතයත්, පවුල් ජීවිතයත් රැක ගෙන හැම දේම balance කරගන්නට පුළුවන් ක්‍රමයක් තිබෙනවා ද කියලා අපි සොයා බලමු.

 

අන්තර්ජාලය හෙණයක් ද?

Internet

Source – mtlblog.com

“ගමෙන් ලියුමක් ඇවිල්ලා – අක්කගෙන් වාගේ” කියන එක සුන්දර වුණත් ඉස්සර ලියුමක් යවලා පිළිතුරක් එන්න සති ගණන් බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම එය අවශ්‍ය කෙනාට අවශ්‍ය මොහොතේදී ලැබෙනවාද යන්න වත් හරියට දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒත් කුරුල්ලෙක්ගේ කකුලේ ගැට ගහලා ලියුමක් යවනවාට වඩා තැපෑලෙන් යවන එක වඩාත් කාර්යක්ෂම වුණා. ඊට සමගාමීව නව රැකියා බොහොමයක් සහ මුද්දර එකතු කරන පිරිසක් මෙන්ම බයික් එකකට ‘තැපැල් නයින්ටිය’ කියා උප සංස්කෘතික නාමයක් ද පටබැඳුණා. ඇයි කවුරුවත් කිව්වේ නැත්තේ දුම් ගහලා පණිවිඩයක් යවන එක, ඊතලයක් යවලා පණිවිඩයක් යවන එක තරම් තැපෑල ආතල් වැඩක් නෙවෙයි කියලා?

පයින් යන එක ශරීර සෞඛ්‍යයට හොඳ වුණත් වාහන තියෙන කාලෙක පයින් යන එක ටිකක් විකාර වැඩක්. “බස්තියන් පයින් යන්නේ ඇයි?” කියලා කටවහරේ උපහාසාත්මක කියමනක් තිබෙන්නේත් මේ නිසාමයි. හදිසියකදී ලෙඩෙක් වුණාම අපි පරණ ක්‍රමයට කැමතියි කියලා පයින් ම ලෙඩාව එක්කගෙන යන්න ගියොත් අපේකම රැකගෙන ලෙඩාගේ පණ නහගන්න නම් පුළුවන්. ඉතින් පැරණි ක්‍රමය හැමවිටදී ම හරි ක්‍රමය වෙන්නේ නැහැ. ඉතින් හැමදාම පරණ දේවල් බදාගෙන ඉන්නේ නැතුව තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. “නෝටිෆිකේෂන් එකක් ඇවිල්ලා – අක්කාගෙන් වාගේ” කියලා කියන එක ලැජ්ජාවක් නොවෙයි. ඒක තවත් සබඳකම් වඩාත් වේගයෙන් වර්ධනය කරන්නක්. දැන් අක්කාට මල්ලිගේ මුහුණ දකින්නට, කරන කියන දේවල් දකින්නට දුර කතර ගෙවාගෙන ඔහු ගමේ එනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ෆේස්බුක් එකෙන් හෝ වීඩියෝ කෝල් එකකින් ඒ හැම දෙයක් ම දැකබලා ගන්නට පුළුවන්.

 

අද තත්ත්වය

Internet

Source – codingworkshopsforkids.com.au

අන්තර්ජාලය ලෝකයට, අපේ රටට අලුත් දෙයක් වුණු කාලයේ හැම දෙනෙක් තුළ ම තාක්ෂණය ගැන කුතුහලයක් තිබුණා. ගෙදර පරිගණකයේ සිට ඇමරිකාවේ සර්වරයකට සබඳතාවය ඇතිවෙන්නේ කොහොමද, වෙබ් අඩවියක් ගොඩනැගෙන්නේ කොහොමද වගේ දේවල් සොයා බලන්නට එකල සිටි අය උනන්දු වුණා. මේ නිසා අන්තර්ජාලය සම්බන්ධව දැනුම වර්ධනය වීම, සිංහල භාෂාව ලෝකයට විවෘත වූ භාෂාවක් බවට පත්වීම සහ ලෝකයේ සිදුවන නිෂ්පාදන සඳහා සිංහල භාෂාවට ද සහාය දැක්වීමට නැඹුරුතාවයක් ගොඩනඟා ගන්නටත් ඔවුන්ගේ දායකත්වය මහත් පිටිවහලක් වුණා. ඒත් අද සිටින අයට තිබෙන්නේ තාක්ෂණික කුතුහලයක් නෙවෙයි. තමාට භෞතිකව කරගන්න බැරි දේවල් අන්තර්ජාලය හරහා දකිමින් කුතුහලය නැතිකරගන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. බොහෝ දෙනෙක් තමන්ගේ පවුලෙන් වෙන් වී අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කෙසේ වෙතත් එය අවභාවිත කරමින් සිටින බව අපිට පුවත් හරහා දැනගන්නට ලැබෙනවා.

 

ප්‍රශ්නය තිබෙන්නේ භාවිතා කරන ආකාරය අනුවයි

Internet

Source – ytimg.com

කුඩා දරුවන්ගේ අතට දෙන පැන්සලකින් අකුරු ලියනවා වෙනුවට තවත් කෙනෙක්ට ඇන තුවාල සිදු කරන්නට පුළුවන්. අපි ඉගෙන ගන්නා විද්‍යාව වුණත් න්‍යෂ්ටික අවි නිපදවන්නට මෙන්ම තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරන්නට ඖෂධයක් නිපදවන්නටත් භාවිතා කරන්නට පුළුවන්. අන්තර්ජාලයත් ඒ වගේ. අපි දැනගන්න ඕනේ එය හරි ආකාරයට පාවිච්චි කරන්නට. කුඩා දරුවන්ට මෙය තේරෙන්නේ නැති නිසා වැඩිහිටියන්ගේ වගකීමක් වෙනවා ඒ ගැන සෙවිල්ලෙන් ඉඳලා ඔවුන්ට ඒ ගැන කරුණු කාරණා පහදලා දෙන්නට. ප්‍රශ්නය තිබෙන්නේ අන්තර්ජාලය අවභාවිත කරන්නට වැඩිහිටියන්ට යොමු වී සිටීමයි. ඉතින් දරුවන්ට කියාදෙන්න තබා ඔවුන්ටවත් බුද්ධියෙන් විමසා මෙය ගැන හරි තීන්දුවක් ගන්නට නොහැකි බවක් දකින්නට ලැබෙනවා.

මහා විනාශයන් සිදු කරන්නට පුළුවන් කියා විද්‍යාව හැදෑරීම නැවැත්වීමවත්, තුවාල සිදුවෙනවා කියලා පැන්සලෙන් ලිවීම නැවැත්වීමවත්, සමාජය නොමඟ යනවා කියා අන්තර්ජාලය කපාහැරීම වත් නොවෙයි අප කරන්නට ඕනේ. මේ සඳහා පාසලෙන් හෝ වගකිවයුතු ආයතනයන් විසින් ජනතාව දැනුවත් කිරීම සිදු කිරීම අවශ්‍ය වෙනවා. මෙය දවසකින් දෙකකින් කරන්නට පුළුවන් කර්තව්‍යයක් නොවේ. ඒත් ඔබ ඔබේ නිවසේ දරුවා ගෙන් ආරම්භ කරනවා නම් එය සමාජයේ මහත් මෙහෙවරක් වෙනුවෙන් තබන මහා පියවරක් බවට පත්වෙනවා.

 

අන්තර්ජාලය ඔබ එනතුරු බලා හිඳීවි

Internet

Source – amazonaws.com

ඔබට මේ වෙලාවේ කරන්නට තිබෙන කටයුත්ත දරුවන්ගේ ගෙදර වැඩ සඳහා උදව් කිරීම නම්, එහෙමත් නැත්නම් කාර්යාලය කටයුතු කරමින් සිටින අවස්ථාවක් නම්; මේ ෆේස්බුක් යන්නට වෙලාව නොවෙයි. දවසම මහන්සිවෙලා වෙහෙසිලා ගෙදර ආවත් විඩාව සංසිඳුවා ගන්න ඔබ අතට ගන්නේ දරුවා වෙනුවට ෆෝන් එක නම්; ඔවුන් සහ ඔබ අතර දුරස්ථ භාවයක් ඇති වෙන එක අමුතුවෙන් කිවයුතු නැහැ. ෆෝන් එකේ නෝටිෆිකේෂන්ස් නොබලා හිටියා කියලා, අලුතෙන් වැටුණු කමෙන්ට්ස් වලට ලයික් නොකළා කියලා, ට්වීට් එකක් නොදැම්මා කියලා ලෝක විනාශය සිදු වන්නේ නැහැ. ඒත් ඔබ ඔබේ දරුවන්ගෙන් හෝ මව්පියන්ගෙන් ඈත් වෙලා ඒ දේවල් වල යෙදී සිටිනවා නම් ඔබ සමඟ බොහෝ දුර ගමනක් යන්නට තිබෙන බැඳීම් සැණින් බිඳවැටෙනවා.

කාර්යාලයේ හදිසි වැඩ කටයුත්තක් නිසා email බලන්නට ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒත් හැමදාම ඒ දේම සිදු වෙනවානම් ඔබ වෙනත් ජොබ් එකක් හොයාගන්න එක වඩාත් උචිතයි. මොකද, කොයි තරම් රාජකාරි කටයුතු තිබුණත් ලබැඳියන්ට ඔවුන් වෙනුවෙන් වැය කළයුතු කාලය ලැබෙන්නේ නැතිනම් කොතරම් මුදල් අතට ලැබුණත් ඔබ වටා සාර්ථක පවුල් ජීවිතයක් නම් ගොඩ නැගෙන්නේ නැහැ. අනෙක දිගින් දිගටම කාර්ය බහුල බව සමග රැඳී සිටියොත් පවුලේ හැම කෙනෙක්ටම මානසික අසහනයක්, පීඩනයක් මිස ඉන් ඇති වන කිසිම හොඳක් නැහැ.

 

සැලසුම් කරන්න

Internet

Source – redorbit.com

කරන්නට තිබෙන දේ අවශ්‍ය වෙලාවේදී කිරීමෙන් සහ ඔබට යමක් අමතක වෙනවා නම් ඒ බව සටහනක් තබා ලියා ගැනීමෙන් කාලය වැයකළ යුතු අය වෙනුවෙන් එය මිඩංගු කරන්නට ඔබට පුළුවන් නම් වෙනදා නොතිබුණු විශාල කාල පරාසයක් මෙන්ම සිතට මහත් සතුටක් සැනසීමක් ඔබට ලැබෙන ආකාරය දිනෙන් දින දකින්නට ලැබේවි. තාත්තා කෙනෙක් ගෙන්, අම්මා කෙනෙක්ගෙන් ලැබිය යුතු ආදරය ඔවුන්ගෙන් නොලැබෙනවා නම් දරුවන් නොමඟ යෑම සහ ඉන් නැවත ඔබට ම මානසික පීඩාවන් ඇතිවීම මිස ඔබ දුරකථනය තුලින් සොයන තාවකාලික නිදහස හෝ සතුට ඔබට සිදුකරන කිසිදු යහපතක් නැහැ.

ඉතින් ෆෝන් එක පැත්තකින් තියන්න; අවශ්‍ය අවස්ථාවලදී පමණක්. ලබැඳියන් ළඟ ඉන්නාවිට, ඔබ ආදරයෙන් ෆෝන් එක අත් දෙකෙන් අල්ලාගෙන ස්ක්‍රෝල් කරනවා වගේ ඔවුන්ගේ හුරුබුහිට් මුහුණෙන් අල්ලාගෙන දෑස දිහා බලාගෙන ඇඟිලි වලින් පිරිමැද්දොත් ඔවුන්ට ඒ දැනෙන සෙනෙහස සහ ඔබට ලැබෙන සන්තුෂ්ඨිය විශාල කාර්යභාරයක් ඉටු කරාවි.

 

පොඩ්ඩක් ඉන්න ඊමේල් එකක් ඇවිත්. මම ඒක බලලා ඇවිත් ලිපියේ ඉතිරිය ලියන්නම්.

ආ හරි.

මොකද්ද මම කිය කියා හිටියේ? ආ ඔව්, ඔය ෆෝන් එකේ ම එල්ලිලා ඉන්නවා වෙනුවට කාලය නිසි පරිදි කළමණාකරය කර ගත්තොත්, හැමදේම බැලන්ස් එකේ ගෙනියාගන්න පුළුවන් වේවි. අන්තර්ජාලය තුළින් ලැබෙන තාවකාලික තෘප්තියට වඩා පවුලේ අයගෙන් ලැබෙන බැඳීම මහා ශක්තිමත් එකක්. මොකද, ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ යාළුවෝ දහස් ගණනක් සිටියත්, ඔවුන් පණ දෙන්න හැදුවත්; ඔබ මැරුණා ම වළ දාන්නවත් ඉන්නේ ඔය ගෙදර ඉන්න අය විතර යි. බුකියේ යාළුවෝ ‘සුදු කොඩි’ ප්‍රොෆයිල් පික්චර් එකට දැම්මාට ඔබේ පෙට්ටියට කර තියන්නවත් කවුරුවත් නැත්නම් ඒ යාළුවෝ ගැන දෙවරක් හිතා බලන්නට සිදු වෙනවා.

 

තඹරු විජේසේකර

Cover Image Source – www.urdumania.net

zvr
Your Reaction

Comments