අන්තර්ජාලය තුළ කාන්තාවකට නිදහසක් තිබෙනවාද?

do women have freedom on internet

අන්තර්ජාලය කියන්නේ විවිධ වයස් මට්ටම්වල, විවිධ තරාතිරම්වල අය ලිංග භේදයකින් තොරව සම්බන්ධ වන තැනක්. මෙතැනට එන අයට විවිධ අරමුණු තිබෙනවා. සමහරු එන්නේ මොනවා හරි ඉගෙන ගන්න, දැනුම බෙදාගන්න වගේම තවත් අය කෑමක් හදන්න වීඩියෝ එකක් බලන්න, පූසන්ගේ ලස්සන පින්තූර බලන්න, ගෑණු ළමයට දෙන්න කාඩ් එකක් හදන හැටි බලාගන්න සහ එයාව පුදුම කරන්න අදහස් හොයාගන්න වෙන්න පුළුවන්.

හැබැයි මේ අතරේ නිරුවත බලලා සතුටු වන අය වගේම ඒවා අත්හදා බලන්න කාවහරි ඩැහැගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඔය අතරේ අතලොස්සක් අවංකව බඳින්න ම බලාගෙන හොයන අයත් ඉන්න පුළුවන්. කොහොම නමුත්, ගැටළුව ඇති වෙන්නේ අන්තර්ජාලයට එන කාරණය නොගැලපෙන අය හමුවීමෙනුයි. ඒ කිව්වේ, ඉගෙන ගන්න එන කෙනෙක්ට කාමාතුරයෙක් හමුවුණොත් නිදහසට බාධා සිදුවීමත්; එවැන්නෙක්ට අහුවුණොත්, ඉගෙනීමත් විනාස වෙලා ආත්ම ගරුත්වයත් නැති වෙන එකයි අවාසන ඉරණම වෙන්නේ.

 

අන්තර්ජාලය මහමඟ අතර වෙනස

do women have freedom on internet

සමාජයේ මිනිස්සු ඉන්නවා. ඒ අයම අන්තර්ජාලයේත් ඉන්නවා. හැබැයි පාරේ තිබෙන වටපිටාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි අන්තර්ජාලය තුළ තිබෙන්නේ. මොකද, ඔබ බස් හෝ කෝච්චියේ එකේ යනවා නම් කෙනෙක් ඇවිත් එකවරම කතා කරන්න පෙළඹෙන්නේ නැහැ. වටේ මිනිස්සු ඉන්න නිසා කට්ටයගෙන්ම අම්බානෙක කන්න වෙයි කියලා බයේ යාළුවෙන්න එන කෙනෙක් වුණත් හත්-අට පාරක් හිතනවා. මේ අතරේ ඇඟේ අනවශ්‍ය විධියට ගෑවෙන්න හදන අයත් නැතුවම නෙවෙයි. එහෙම බැලුවාම නම් අන්තර්ජාලය එක අතකින් හොඳයි. හැබැයි එහෙම කළත් ඔබේ හැමදේම ඔවුන්ට හුදෙක් පාරෙදි දැක්ක පලියට ම දැනගන්න ක්‍රමයක් නැහැ.

අපි හැමෝම ෆේස්බුක් එකේ ඉන්ස්ටග්‍රෑම් එකේ අපේ විස්තර, ඡායාරූප, ආස දේවල් ආදී හැම දෙයක්ම පළ කරනවා. ඒවා දාන්නේ අපිට මතක සටහන් විධියට වගේම යාළුවන්ටත් බලන්නයි. හැබැයි මේවා ප්‍රසිද්ධියේ දැම්මාම ජීවිතේට දැකලාවත්, දන්නේවත් නැති ලෝකෙ එහා කෙළවරේ ඉන්න නන්නාඳුනන කෙනෙක්ට මේවා අධ්‍යයනය කරලා ඔබ යන එන තැන්, ඔබ දැනට රැකියාව කරන ස්ථානය, වැඩිපුර කැමති සහ අකමැති දේවල්, දැනට ප්‍රේම සම්බන්ධතාවයේ තත්ත්වය වගේ ඔබට බලපෑමක් කළ හැකි බොහෝ දත්ත ප්‍රමාණයක් කාමරයක වාඩිවෙලා ඉඳගෙන කිසිම මහන්සියක් නැතිව පැය බාගයකටත් අඩු කාලයකින් දැනගන්න පුළුවන්. මේ ටිකම සත්‍ය සමාජයේ කරනවා නම් මාස ගාණක් යනවා සහ ලොකු වෙහෙසක් දරන්නට වෙනවා.

කථා කිරීමේදීත් අන්තර්ජාලයේදී උපරිම නිදහසක් ලැබෙනවා. මැසේජ් එකක් දැම්මාම ඒක වෙනත් කිසිවෙකුට නොපෙනෙන නිසා සත්‍ය ලෝකය අනුව බැලුවොත් හුදකලාවේ කාමරයකට ඇදලා දාගත්තා වගේයි. ඉතින් කතාවට ගිහින් අනවශ්‍ය පින්තූර යවලා, පෞද්ගලික විස්තර කියලා වැඩ වරද්ද ගත්තොත් ඒකට උදව් කරන්න කාටවත් හැකියාවක් නැති වෙන්න පුළුවන්. අන්තිමට ඒකට ජීවිතයෙන් වන්දි ගෙවන්න තමයි සිද්ධ වෙන්නේ.

 

නිදහසේ ප්‍රමාණය

do women have freedom on internet

පන්තියේ යාළුවෝ ටික ඉස්කෝලෙන් අවුට් වුණාමත් ළඟින් තියාගන්න හිතාගෙන කෙනෙක් ෆේස්බුක් අකවුන්ට් එකක් හැදුවත් ඒකට ප්‍රොෆයිල් පික්චර් එකක් දාන්න, කවර් ෆොටෝ එකක් දාන්න එයාලා මැලි වෙනවා. සමහරවිට මුලින් දාවි. ඊට පස්සේ එන “Hi nangi” මැසේජ් කන්දරාව දැක්කාට පස්සේ ඒ සේරම අයින් කරලා දානවා. එහෙමත් නැත්නම් තදට privacy settings හදනවා. ඇ.එ.ජ. දත්ත සහ සමාජයීය පර්යේෂණායතනය ඉදිරිපත් කරන වාර්තා අනුව 27%ක් දෙනා තමන්ගේ තොරතුරු තමා විසින්ම අන්තර්ජාලයේ සඟවනු ලබන්නේ හිරිහැර කිරීම්වලට බිය වීමෙනුයි. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ නිල් මැණිකක් අතේ තියාගෙන දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට කාන්තාවකට කරදරයක් නැතිව ගමන් කරන්න පුළුවන් කියන සදාචාරය පිළිබඳව වූ උපමාව ගැන කවර කථා ද?

ඇමරිකාවේ Pew පර්යේෂණාගාරය විසින් 2017 වර්ෂය සඳහා පළ කළ අන්තර්ජාල හිරිහැර කිරීම් පිළිබඳ වාර්තාවේ සඳහන් වන පරිදි:

දල වශයෙන් සියයට 53%ක් පමණ අවුරුදු 18 සිට 29 හැවිරිදි යුවතියන්ට ඔවුන් ඉල්ලා නොසිටි ආකාරයේ ඡායාරූප ඔවුන්ට විවිධ පුද්ගලයන් එවූ බව වාර්තාවී තිබෙනවා. ඒ වගේම, එම වයස් කාණ්ඩයේම 21%ක් දෙනා අන්තර්ජාලය තුළ ලිංගික හිරිහැරයන්ට ලක්ව තිබෙන අතර එය එම වයසේම පිරිමි ළමයින්ට සාපේක්ෂව දෙගුණයක් (9%) පමණ අගයක් වෙනවා.

අපි මුලින් කිව්වා වගේ සමාජ ජාල මාධ්‍යයන්හි කරදර වැඩියි කියමුකෝ. හැබැයි මේ වන විට වෘත්තීමය පසුබිමක් තිබෙන LinkedIn වලටත් මේ වැඩේ බෝ වෙලා. ලින්ක්ඩ්ඉන් සේවාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ නිතර යාවත්කාලීන වන ඩිජිටල් CV එකක් වශයෙන් අපට එය භාවිත කරන්නට හැකි වීමයි. ඔබ රැකියාවන් කළ විවිධ ස්ථාන, අත්දැකීම්, සුදුසුකම් ආදී සියළු දේ එහි අඩංගු කරන්නටත් ඔබේ වෘත්තීය දිවියට අදාල සියළු දේ එකම ස්ථානයකින් ලොවට විදහා දක්වන්නටත් එය හොඳ තෝතැන්නක්. නමුත් කෙන් ඒසෝ නමැති ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ වෙසෙන යුවතිය තිර-ඡායාරූප සමඟ කියා සිටින්නේ තමන්ට අනවශ්‍ය ආකාරයේ යෝජනා ලින්ක්ඩ්ඉන් හරහා ලැබුණු බවයි. රස්සාවක් හොයාගන්න ගියාම පරස්තාවකුත් බලෙන් සෙට් වෙන සීන් එකක් තමයි දැන් තියෙන්නේ.

 

ලංකාවේ අයගෙන් විමසූ අදහස්

do women have freedom on internet

ලිපිය ලියන්නට ප්‍රථමයෙන් මම ට්විටර් එකේ අයගෙන් ඇහුවා මේ ගැන එයාලාට තිබෙන අත්දැකීම් කොහොමද කියලා. බොහෝ දෙනෙක් ඒකට ප්‍රතිචාර දැක්වුවා. වැඩි දෙනෙක්ම කිව්වේ ඒ ගැනවත් ට්වීට් එකට රිප්ලයි එකක් විධියට අදහසක් කියන්න තරම්වත් නිදහසක් නැති නිසා පෞද්ගලික මැසේජ් එකක් දාන්න සිදුවුණු බවත් කරුණාකර ඒවා නිර්නාමික ලෙස පළකරන ලෙසයි. මේ ඔවුන් සඳහන් කළ අදහස් වලින් කිහිපයක්:

“නන්නාඳුනන කෙනෙක් ලස්සනයි කිව්වොත් මං ඒක වර්ණනාවක් විධියට පිළිගන්නවා. පැණි ටෝක් දැම්මොත් නම් මම ඒවාට අකමැතියි කියලා කෙලින්ම කියනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ‘එපා’ කියන වචනේ තේරුම එයාලාට තේරෙන්නේ නැති එකයි.”

“ඉන්ටර්නෙට් එකේ කෙනෙක් එක්ක චැට් කරන එක ටිකක් අමුතුයි. අපි දන්නැහැනෙ කොහොම කෙනෙක්ද කියලා. එහෙම එක්කෙනෙක් අපේ සේරම හොයාගෙන කතා කරාට අපි එයා ගැන මොන මළ දානයක්වත් දන්නැති හින්දා විකාරයි වගේ. කොහොමටත් මමනං අනවශ්‍ය විධියට ආවොත් බ්ලොක් කරලා දානවා”

“අනේමන්දා ඉතිං ෆේක් ප්‍රොෆයිල් කාරයො තමා අල්ලන්නැත්තේ. උන් එන්නේ එක මූණකින්. ඒ වුණාට ඉල්ලන්නේ වෙන වෙන් දේවල්. දෙන්න අහන්නේ පණ. ටික දවසකින් හොයන්නත් නෑ.”

 

පරිස්සම ඔබේ අතේ

do women have freedom on internet

තත්ත්වය මෙසේ පවතිද්දී කිසිම දිනක මේ දේවල් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේ නිසා නන්නාඳුනන පුද්ගලයන් විශ්වාස කිරීමේදී සහ ඔබේ පෞද්ගලික දත්ත ඔවුන්ට ලබාදීමේදී වඩාත් පරිස්සම් වීමට වග බලාගත යුතු වෙනවා. සැකෙවින් කිව්වොත්, ඔබේ අන්තර්ජාල නිදහස තිබෙන්නේ ඔබ සතුවයි. කෙනෙක් අනවශ්‍ය විධියට එනවා නම් එයට ඉඩදී බලාගෙන ඉන්නවා වෙනුවට ඔවුන් බ්ලොක් කිරීම, වැඩිහිටියන් දැන්වීම සහ වෙනත් අය කරදරයේ වැටීම වළක්වන්නට ඔවුන්ව ද දැනුවත් කිරීම කළ යුතුයි. බයේ කට වහගෙන හිටියොත් එය ඔවුන්ට දෙන අනුබලයක් වෙනවා. ඔබ වෙනුවෙන්, සමස්ත කාන්තාවන් වෙනුවෙන් සහ ඔබටත් දවසක දරුවෙක් ඉද්දී ඔවුන්ටත් එහෙම වුණොත් කියලා කල්පනා කරලා නොබියව හඬ නගන්න. එසේ නොකළහොත් ඔබත් සමඟම, ඇතැම්විට ඔබේ ජීවිතයත් බිලිගෙන ඒ සිද්ධීන් වැළලී යාවි.

 

zvr
Your Reaction

Comments