මේ භික්ෂූන්වහන්සේලා අපවත් වුණාද? අපවත් කළාද?

අද අපි කතා කරන්නේ කරන්න යන්නේ ටිකක් සංවේදී මාතෘකාවක් ගැන. ඒ තමයි අභිරහස් ලෙස අපවත් වූ භික්ෂූන්වහන්සේලා පිළිබඳව. මේ පොසොන් මාස​යේ මේ මාතෘකාව ගැන කතා කරන එක එක අතකින් තවත් වැදගත්. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීමත් එක්ක සිංහල ජාතියේ මුර දේවතාවුන් බවට පත් වුණේ භික්ෂූන්වහන්සේලා නිසා. උන් වහන්සේලා රට ජාතිය සහ බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. විවිධ තර්ජන උන් වහන්සේලාට එල්ල වුණා. ඉන්දීය ආක්‍රමණිකයන්ගේ ඉඳලා ඉංග්‍රීසීන් දක්වා සියලුම ආක්‍රමණිකයන් භික්ෂූන් වහන්සේලාගේ වැදගත්කම අපිටත් වඩා හොඳට වටහා ගෙන තිබ්බා. ඒ නිසා ඔවුන් භික්ෂූන් වහන්සේලාගේ බලය නැති කිරීමට විවිධ උපක්‍රම භාවිතා කළා. ඔවුන්ගේ උපක්‍රම සාර්ථක නොවුණු අවස්ථා වලදී භික්ෂූන් වහන්සේලාව මරා දමන්නත් ඔවුන් දෙපාරක් හිතුවෙ නෑ. නිදහසින් පස්සේ විදෙස් බලපෑමක් නැති වුණත් විවිධ අන්තවාදීන් ලංකාවේ ප්‍රකට භික්ෂූන් වහන්සේලා දඩයම් කිරීමට ගත් උත්සාහයන් පිළිබඳ සැක සංකා අපේ සමාජය තුළ පවතිනවා. සමහර අය මේ අපවත් වීම ස්වාභාවික සිද්ධි විදිහට සැලකුවත් බෞද්ධ සමාජයේ බහුතරයකගේ මතය වෙන්නේ මේවා අපවත් කිරීම් කියලා.

 

1. මිගෙට්ටුවත්තේ ජනානන්ද හිමි

Image Source – si.wikipedia.org

මිගෙට්ටුවත්තේ ජනානන්ද කියන නම අද බෞද්ධයන්ට නම් එච්චර හුරු පුරුදු භික්ෂු නාමයක් නම් නෙමෙයි. නමුත් උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන්ගේ නම බෞද්ධයෝ ඉතාමත් භක්තියෙන් යුතුව සිහිපත් කරනවා. උන්වහන්සේ තමයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ. මිගෙට්‍ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ ඥාතීත්වයත් තිබ්බ දරුවෙක් මිගෙට්ටුවත්තේ ජනානන්ද කියන නමින් උන්වහන්සේ පැවිදි කර ගන්නවා. මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ කාර්යභාරය ඉදිරියට ගෙනියන්නේ ජනානන්ද හාමුදුරුවෝ. 1899 වර්ෂයේදී ඇතිවූ ඔරුගොඩවත්ත වාදය මෙහෙයවන්නේ මිගෙට්ටුවත්තේ ජනානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ ඉතා අඩු වයසකින් අපවත් වෙනවා. මේ ගැන මත දෙකක් තියනවා. එකක් තමයි උන් වහන්සේව වසක් කැවීමෙන් අපවත් කළා කියන එක. අනිත් මතය උන් වහන්සේ රික්ෂෝ අනතුරක් මගින් අ​පවත් කළා කියන එක. ඒ කාලය තුළ හදිසි මරණ පරීක්ෂණ පිළිබඳ කටයුතු එතරම් විද්‍යානුකූලව සිදු නොවුණු නිසා උන්වහන්සේගේ මරණයට හේතුව අනාවරණය කරගන්න බෞද්ධයන්ට හැකියාවක් ලැබුනේ නෑ.

 

2. පානදුරේ අරියධම්ම හිමි

Image Source – youtube.com

රට පුරා බෝධි පූජා හාමුදුරුවෝ විදිහට ජනප්‍රියත්වයට පත් වෙච්ච පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ අපවත් වෙන්නෙත් අභිරහස් අන්දමට. 1986 වර්ෂයේ මැයි 26 වැනිදා බෝධි පූජා පිංකමක​ට පේරාදෙණියට වැඩම කරන උන්වහන්සේ හදිසි අසනීපයක් නිසා පේරාදෙණිය රෝහලට ඇතු​ළත් කරනවා. ඉන් පැය දෙකක් යන්නත් කලින් උන් වහන්සේ අපවත් වෙනවා. උන්වහන්සේ ගේ මෘත ශරීරය ඉදිමීම සහ නිල් පැහැ ගැන්වීම මත පදනම් වෙලා බොහෝ දෙනෙක් කිව්වේ මේකත් වස දීමක් නිසා සිදුවුණු අපවත්වීමත් කියලා. මේ වෙනකොට අරියධම්ම හාමුදුරුවෝ කොළඹ සම්බෝධි විහාරයේ විහාරාධිපතීන්වහන්සේ විදිහ​ට කටයුතු කළා. උන්වහන්සේගෙන් පස්සේ ඒ විහාරයේ අධිපති භාවයට පත්වුණු  දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ අපවත්වීම මිනී මැරුමක් කියලා.  

 

3. කොටගම වාචිස්සර හිමි

Image Source – youtube.com

1956 පෙරළියට මුල් වෙච්ච හාමුදුරුවෝ නමක් වුනේ කොටගම වාචිස්සර හාමුදුරුවෝ. බණ්ඩාරනායක රජය තමන්ට ලැබුණු ජනවරමට පිටුපාලා කටයුතු කරද්දී ඒ වෙනුවෙන් ජනතාව සහ සංඝයා වහන්සේ සංවිධානය කරන්න මූලිකත්වය ගත්තෙත් කොටගම වාචිස්සර හාමුදුරුවෝමයි. මේ විදිහට ජාතික හා ආගමික කටයුතු වලට නායකත්වය දුන් උන්වහන්සේ 1969 අගෝස්තු 15 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කරන්නේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්. එහිදී උන්වහන්සේ​ට  ලැබුණු එන්නතේ යම් සංකූලතාවයක් නිසා උන්වහන්සේ අපවත් වෙනවා. එන්නත ලබා දුන්නේ අන්‍යාගමික සහ අන්‍ය ජාතික වෛද්‍යවරියක් වීම නිසා මේ පිළිබඳව සැක සංකා වැඩි වෙනවා.

 

4. ලබුදූවේ සිරිධම්ම හිමි

ජේ ආර් ජයවර්ධන සමය තුළ විහාරස්ථානයක් වටා කටුකම්බි ගැසීම  සිද්ධ වුණා. ඒ ගැටඹේ රාජෝපවනාරාමය. මේකට හේතුවුණේ රාජෝපවනාරාමයේ විහාරාධිපති ලබුගම සිරිධම්ම ස්වාමීන් වහන්සේ ජේ.ආර් ජයවර්ධන විවේචනයට ලක්කරමින් කතාවක් පැවැත්වීම. පසුව ජේ ආර් ජයවර්ධන විසින් රාමඤ්ඤ නිකායේ මහා නායක ස්වාමීන්වහන්සේට තමන්ගේ කණගාටුව පළ කරලා තිබ්බා. නමුත් ලබුගම සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඊට වසර කීපයකට පස්සෙ අපවත් වුණා. මේ අපවත්වීම පිළිබඳව තියෙන්නෙ ප්‍රශ්නාර්ථයක්. බොහෝ දෙනා විශ්වාස කරන්නේ උන්වහන්සේවත් වස දීමක් මගින් අපවත් කළා කියන එක.

 

5. ගංගොඩවිල සෝම හිමි

Image Source – elakiri.com

ලංකාවේ වර්තමාන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයා විදිහට සලකන්න පුළුවන් ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ අපවත් වෙන්නේ රුසියාවේ දී. හදිසි මරණ පරීක්ෂණයේදී එය හෘදයාබාධයක් විදිහට හැඳින්වුවත් උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති කොමිසමේ සාමාජිකයන් තුන්දෙනාගෙන් දෙදෙනෙක්​ගේ මතය වුණේ මෙය ඝාතනයක් කියලා. උන්වහන්සේ රුසියාවට වැඩම කිරීම, උන්වහන්සේ අසනීප වීම, ඒ වගේම උන්වහන්සේට සිදු කරන ලද ප්‍රතිකාර පිළිබඳව විවිධ සැකකටයුතු තැන් පිළිබඳව බෞද්ධයෝ තවමත් කතා වෙනවා.

 

6. මාදුළුවාවේ සෝභිත හිමි

Image Source – groundviews.org

දෙදහස් පහළොවේ දී මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා යහපාලනය ඇතිකිරීමට උන්වහන්සේ මූලිකත්වය ගත්තා. ඒ වගේම යහපාලන අභිලාෂයන්ගෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඉවත් වෙද්දි ඒ පිළිබඳව ප්‍රසිද්ධියේම උන්වහන්සේ තමන්ගේ විරෝධය පළ කළා. මේ කාලය තුළ දී උන්වහන්සේ බයිපාස් සැත්කමකට ලක් වුණා. මේ සැත්කමේ සංකූලතා නිසා උන්වහන්සේ අපවත් වුණා. නමුත් උන්වහන්සේගේ සමීපතම භික්ෂූන් වහන්සේ සහ ඇතැම් දේශපාලනඥයින් නම් කිව්වෙ උන්වහන්සේගේ අපවත් වීම සැක සහිත බවයි.

 

7. සේරුවිල සරණකිත්ති හිමි

Image Source – dinamina.lk

අවුරුදු තිහකට අධික කාලයක් පැවති යුද සමය තුළ සේරුවිල පුදබිම ආරක්ෂා කර ගනිමින් ඒ අවට ජනතාව රැක ගැනීමට කටයුතු කළ සේරුවිල සරණකිත්ති හිමියන් එම ප්‍රදේශවල සැලකෙන්නේ වීර චරිතයක් විදිහට. අක්මාව ආශ්‍රිතව රෝග තත්ත්වයකින් පෙලුනු උන්වහන්සේ 2016 මැයි මාසයේ දිනක ජාතික රෝහලට ඇතුළත් කරනවා. දින කිහිපයකින් පසු නැවතත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරෙනවා. හදිසියේම අසාධ්‍ය තත්ත්වයට පත්වෙන උන්වහන්සේ අපවත් වෙනවා. උන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වුණු කොටපොල අමරකිත්ති හාමුදුරුවෝ මේ පිළිබඳව සැක පළ කරනවා. උන්වහන්සේ පවසන්නේ සේරුවිල රජමහා විහාරයේ අයිතිවාසිකම් වෙනුවෙන් යම් පාර්ශවයක් විසින් සරණකිත්ති හාමුදුරුවන්ට වස ලබා දීමක් සිදු කළ බව තමන් වහන්සේ විශ්වාස කරන බවයි. අවසාන කාලයේදී සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේත් තමන්ට යම් පාර්ශවයක් වස දෙනු ඇතැයි සැක පළ කර බවත් කියවෙනවා.

 

මේ පිළිබඳව ඔබේ අදහස් comment section එකේ පළ කරන්න. ඒ වගේම අන් අයගේ  දැනගැනීම සඳහා මේ ආටිකල් එක share කරන්නත් අමතක කරන්න එපා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *