ඔබේ ජීවන සහකරු දාම මිනීමරුවෙක් වීමට නොහැකිද?

සීරියල් කිලර්ලා කියන්නේ මොක්කුන්ද? ඔය Dexter, Hannibal, Mindhunter, Mentalist වගේ ටෙලි නාටකයක් බලපු ඈයෙක් නං පටස් ගාලා දන්නවා සීරියල් කිලර්ස්ලා ගැන. සීරියල් කිලර්ස්ලා කියන්නේ මිනිස්සුන්ව මර මර යන ඩයල් වලට. හැබැයි නිකම්ම අහුවෙන අහුවෙන එකාව මරන්නෙ නෑ. සීරියල් කිලර් කෙනෙක් එක්කෝ මරන්නේ පොලිස් කාරයොන්ව වෙන්න පුළුවන්, එක්කෝ ස්ත්‍රී දූෂකයන්ව වෙන්න පුළුවන්, එක්කෝ ලිංගික ශ්‍රමිකයින්ව වෙන්න පුළුවන්, එක්කෝ නාකි මිනිස්සුන්ව වෙන්න පුළුවන්. ඔය වගේ එක පැටර්න් එකක් තියෙනවා සීරියල් කිලර්ස්ලට ගොඩක් වෙලාවට. දැන් ඔය හෙනම සීරියස් විදියට මිනිස්සු මරන සීරියල් කිලර්ස්ලා ඉන්නෙ කොහෙද? වෙන කොහෙවත් නෙවෙයි, අපි අතරෙම තමයි. හැබැයි ඉතින් නීතියට අහුවෙනකල් ඔය සීරියල් කිලර් කෙනෙක් අඳුරගන්න ලේසි නෑ. ඉතින් එතකොට නිකමට වගේ හිතෙන්නෙ නැද්ද අපේ ගෙදර උන්දැත් සීරියල් කිලර් කෙනෙක් වෙන්න බැයිද කියලා?

සමහර වෙලාවට මේ විදියේ ලක්ෂණ තියේ නං, ඔයාගෙ ගෙදර උන්දැත් සීරියල් කිලර් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා!

 

1. ඩිකිය ලොක්!

සාමාන්‍යයෙන් වාහනේ ඩිකිය ලොක් කරලා තිබ්බට, ඕන වෙලාවක් ඇරගන්න පුලුවන්නේ යතුර තියේ නං. හැබැයි වයිෆ්ගේ හරි හස්බන්ඩ්ගේ හරි කාර් එකේ ඩිකිය කොයි වෙලේත් ලොක් කරලා නං, මොකක් හරි වුවමනාවකට වුනත් ඩිකිය අරින්න යතුර දෙන්නෙත් නැති නම් ආන්න පොඩි සැකයක් එනවා. ඩිකියේ ඩෙඩ් බොඩි එකක්වත් හංගලාද? කියන්න බැහැනේ! සමහර වෙලාවට බොඩි එකක් නැතත් ඔය සීරියල් කිලින් වගේ සීරියස් වැඩවලට පාවිච්චි කරන අවිආවුද එහෙම ඩිකියේ තියෙනවා වෙන්නත් බැරි නෑ!!

 

2. ගෙදර කාමරයක් කොයි වෙලේත් ලොක්!

Image Source –lifehack.media

ගෙදරක් ගත්තොත් සාමාන්‍යයෙන් ලොක් කරලා තියෙන කාමරයක් දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදර මනුස්සයෙක් කවදාවත් ඇතුළ දැකලා නැති, සදාකල් ලොක් කරලා තියෙන කාමරයක එහෙම ගෙදර තියෙනවා නම් ආන්න පොඩි සැකයක් මතු වෙනවා. ඒක සදාකල් ලොක් කරලා තියෙන්නේ ඇයි කියන කාරණාවට ගෙදර උන්දෑ මොකක් හරි නිදහසට කාරණාවකුත් දෙයි. එක්කෝ කියයි ගෙදර එයාගෙ දෑහැට පේන්න බැරි බඩු ගබඩා කරල තියෙන්නේ ඔය කාමරේ කියල. දෑහැට පේන්න බැරි නිසාම කාමරේ ඇතුළට ඒ බඩු ටික දාලා, ලොක් කරලා යතුර ඇළට විසි කළා කියලත් කියයි. හැබැයි ඇත්තටම ගෙදර උන්දෑ සීරියල් කිලර් කෙනෙක් නං, අපි නැති අතරේ ඔය රූම් එකේ වෙන්න බැරිද ඔය සීරියල් කිලින් වැඩ කරන්නේ? ඕක ඇතුලේ මිනිස්සුන්ව මරලා, එම්බාම් කරලා, ඉටි වල ගිල්ලලා ඉටි ප්‍රතිමා හදලා තියෙනවා වෙන්න බැරිද?

 

3. අමුතු අමුතු සිහිවටන

Image Source – reddit.com

සමහර සීරියල් කිලර්ස්ලගේ ලක්ෂණයක් තමයි, තමන්ගෙ අතින් මැරුම්කන අවාසනාවන්තයන්ගේ සිහිවටන එකතු කරන එක. ඒ කියන්නේ ඔය මුද්දක්, පෙන්ඩන්ට් එකක් වගේ ජුවලරි බඩු කෑල්ලක් වෙන්න පුළුවන්. පර්ස් එකක් වෙන්න පුළුවන්. හෙයා බෑන්ඩ් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතිනම් දතක් වෙන්නත් පුළුවන්, කොණ්ඩෙන් ටිකක් වෙන්නත් පුළුවන්! දැන් ගෙදර ජුවලරි පෙට්ටියක දාලා එකිනෙකට ගැලපෙන්නේ නැති ජුවලරි බඩු කෑලි බෑලි පුරෝලා තියෙනවා නම්, එහෙම නැතිනම් අල්මාරිය උඩ පරණ සපත්තු පෙට්ටියක පුරෝලා පරණ පර්ස් තොගයක් එහෙම තියෙනවා නම් සෑහෙන්න සැක කටයුතුයි. ඊට හපන් අල්මාරියේ රහස් ලාච්චුවේ තිබිලා පරණ දත් පුරෝපු බෝතලයක් එහෙම හම්බුණොත්. එහෙම නැතිනම් කොණ්ඩ කැරලි තොගයක් දාපු පෙට්ටියක් හම්බුණොත් ඒත් එහෙමයි. ඔය මරපු හාදයින්ගේ හාදියන්ගේ සිහිවටන වෙන්න පුළුවන්!

 

4. අමුතු ෆොටෝ ඇල්බම්!

Image Source – reddit.com

සමහරු විනෝදාංශයක් විදියට මුද්දර එකතු කරලා ඇල්බම් එකක අලවනවා. සමහරු කාසි එකතු කරලා ඇල්බම් එකක අලවනවා. සමහරු පෝස්ට්කාඩ් එකතු කරලා ඇල්බම් එකක අලවනවා. තවත් සමහරු මිනිස්සුන්ව මරලා, මරපු මිනිස්සුන්ගේ ෆොටෝස් ඇල්බම් එකක අලවනවා! ඉතින් ඔන්න ගෙදර කොහේ හරි තිබිලා පරණ ඇල්බම් එකක් හම්බුණොත්, ඒකේ තියෙන්නේ එකිනෙකට වෙනස් මිනිස්සුන්ගේ ෆොටෝස් නං, ඒ එක ෆොටෝ එකක ඉන්න කෙනෙක් ආයෙමත් තවත් ෆොටෝ එකක දකින්නත් නැතිනම්, ගොඩක් වෙලාවට මේ හැම ෆොටෝ එකක්ම තනි තනි මිනිස්සු ඉන්න ෆොටෝස් නං, ආන්න පොඩ්ඩක් සැකසහිතයි. මැරුණු මිනිස්සුන්ගේ මෘත ශරීර වල ෆොටෝස් ඇල්බම් එකක් හම්බුණොත් නං ෂුවර් ඇන්ඩ් ෂොට් ගෙදර උන්දෑ සීරියල් කිලර් කෙනෙක්ම තමයි!

 

5. රහස් ශීතකරණයක්!

Image Source – aminoapps.com

ඔන්න ගෙදර පැත්තක දාලා තියෙනවා පරණ රිෆිජරේටර් එකක්. ඒක ලොක් කරලා තියෙන්නේ. හැබැයි කරන්ට් එකටත් ගහලා, ෆ්‍රිජ් එක වැඩ. ඇහුවොත් කියයි, පරණ වුනත් නිකම්ම තිබ්බොත් අපරාදෙ නිසා පවර් සප්ලයි දීලා තියෙනවා කියලා. හැබැයි ඕක ඇතුලේ තියෙන්නෙ මරපු මිනිස්සුන්ගෙන් ගලවා ගත්තු සිහිවටන වෙන්න බැරිද? ඇයි ඔය සමහර සීරියල් කිලර් ෆිල්ම් වල තියෙන්නේ තමන් මරපු හාදයින්ගේ හදවත්, මොළ වගේ ශරීර අවයව ගලවගෙන, ඒවා කල් තියාගන්න පුළුවන් විදියට ෆෝමලීන් පුරෝපු බෝතල් වල දාලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඉන්න පිස්සු මිනීමරුවෝ ගැන? ඒ නිසා එහෙම සැකයක් තිබ්බොත් පරණ ෆ්‍රිජ් එක ඇරලා බලන එක නුවණට හුරුයි. බැරිවෙලාවත් ගෙදර උන්දෑ සීරියල් කිලර් කෙනෙක් නං!!

 

6. ආයුධ ගබඩාවක්!

Image Source – albawaba.com

සාමාන්‍යයෙන් ඕනම ගෙදරක විවිධ ආවුද මෙවලම් එහෙම තියෙනවා. ඒ කියන්නේ මල්ගස් කප්පාදු කරන කතුරක ඉඳලා අඬු, මිටි දක්වා දේවල්, එතකොට පීරි, කියත් වල ඉඳලා මුල්ලු, නාරස්සන වගේ දේවල් දක්වා නොයෙකුත් ගෙදර දොරේ වැඩකට වුවමනා දේ ගෙදරක තියෙන එක අමුත්තක් නෙවෙයි. සමහරු ඉන්නවා මේවා වෙනම ගබඩා කාමරේ හරි, ගරාජ් එකේ හරි, වැඩ මේසෙක හරි පිළිවෙලකට අසුරලා තියෙන. ඒකත් අමුත්තක් නෙවෙයි. හැබැයි ඔය ආයුධ ගබඩාවේ ලේසියෙන් අවශ්‍ය නොවෙන ආවුද මෙවලම් එහෙම තියෙනවා නම් අන්න ඒක පොඩ්ඩක් කුතුහලාත්මක දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩ මේසේ ලාච්චුවක එක එක විදියේ පිහි සහ කිණිසි අහුරලා තියෙන්න වුවමනාවක් නැහැනේ. එතකොට ඔය ශල්‍යකර්ම පිහි වගේ දේවල් කොහෙත්ම තියෙන්න අවශ්‍යතාවයක් නෑ. අර ගැරට් කියලා කියන බෙල්ල හිර කරලා මරන කම්බි එහෙමත් අහුවුණොත් ඉතාම සැකසහිතවයි. ගිනිඅවියක් එහෙම තිබ්බොත් ෂුවර් එකටම අවුලක් තියෙනවා. මෙහෙම වෙලාවක අපිට හිතන්න තියෙන්නේ දේවල් දෙකයි. එක්කෝ ගෙදර උන්දෑ අර ඉන්ටර්නැෂනල් රහස් ඔත්තුකාරයෙක්! එහෙමත් නැතිනම් සුපිරි ලෙවල් එකේ සීරියල් කිලර් කෙනෙක්!!

 

7. කපන කොටන සීන් නතින්!

Image Source – wallpaperup.com

සාමාන්‍යයෙන් ඔය ඇක්ෂන් ෆිල්ම් එකක් ගත්තත්, හොරර් ෆිල්ම් එකක් ගත්තත් මිනිස්සුන්ව කපන කොටන සීන් තියෙනවනේ. සමහර ෆිල්ම් වල ඒ වගේ කෑලි කෙලින්ම පෙන්නන්නෙ නෑ. හැබැයි සමහර ෆිල්ම් තියෙනවා, ඇත්ත වගේම කපන කොටන සීන් පෙන්නනවා. ඒ වගේ ඒවා ගොඩක් වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක්ට බලන්නත් අමාරු තරම්. හැබැයි අපි හිතමු ගෙදර උන්දෑට ඒවා බලන එක ගේමක්ම නෑ කියලා. එහෙම නැතිනම් එහෙම ෆිල්ම් බලන්න, විශේෂයෙන්ම ෆිල්ම් එකක තියෙන ඒ වගේ සීන් බලන්න ඉතාම ආසයි කියලා. ආන්න ඒ වගේ ලක්ෂණයක් එක්ක උඩ කියපු විදියේ සීන් වලින් එකක් දෙකක් එහෙමත් තියෙනවා නම්, එතකොට පොඩ්ඩක් සිහිකල්පනාවෙන් ඉන්න වෙනවා. ගෙදර උන්දෑ සීරියල් කිලර් කෙනෙක් වෙන්න පුළුවන්!

 

ඇත්තටම ගෙදර උන්දෑ සීරියල් කිලර් කෙනෙක්ද? දන්නෙ නෑ. අපි මේක ජොලියට ලිව්වේ. හැබැයි ඉතින් මේක ගෙදර උන්දැට පෙන්නුවොත් නං, සීරියල් කෙසේ වෙතත් ගෙදර උන්දෑ කිලර් කෙනෙක් නං වෙයි!! තමුන්ගේ මරණේ ඉක්මන් වෙයි!!!

 

 

zvr
Your Reaction

Comments