අභ්‍යන්තර ගැටුම් නිසා දුප්පත්කම වැළඳගත් රටවල්

රටවල් දූප්පත් වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස රටවල් වල ගැටුම් සැලකෙනවා. නිතර ගැටුම් තියෙන රටවල රජයන්ට ගැටුම් වළකන්නට මිලිටරි වැඩවලට ජාතික ආදායම යොදවන්න සිද්ධ වෙනවා. ඒ වගේම මහජනයාට පුරුදු පරිදි රස්සාවක් කරගෙන නිදහසේ ඉන්න අවස්ථාවත් ගැටුම් නිසා වැළකී යනවා. විශාල ගැටුම් නිසා රටේ මහජනයා අකාලයේ මරණයට පත් වන අතරම විශාල පිරිසක් අවතැන් වීමද සිදු වෙනවා. රටේ පාලකයින් ගැටුම් පාලනය කරන්නට අපොහොසත් වුනොත් ඒ සිදුවීම් මාලාව අවසාන වෙන්නේ රටම දුප්පත් අඩියකට වැටීමෙන්. අපි ඒ විදියේ නිතර ගැටුම නිසා අවුල් වුනු රටවල් ටිකක් ගැන බලමු.

 

1. සිරියාව

සිරියාව පසුගිය කාලයේ ගැටුම් කිපයකටම මැදි වූ රටකි. පසුගිය වසර අවසාන වනවිට සමස්ථ ගැටුම් වලින් 367,965ක් සිරියානු ජනතාව යුධ ගැටුම් හේතුවෙන් මිය පරලොව ගොස් තිබුණි. තවත් 192,035ක් අතුරුදහන් වී තිබේ. අසාද්ගේ දුර්දාන්ත පාලනය නිසා සිරියාව මේ තත්ත්වයට ඇද වැටුණි. එක් යුද්ධයක් වූයේ සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතරය. පසුව මෙම ගැටුම් වලට අල් ක්වයිඩා සහ අයිසිස් සටන් කාමීන්ද දායක වුණි. සිරියාව තුළ රුසියාව, ඉරානය, එක්සත් ජනපද, ප්‍රංශ, එක්සත් රාජධානි ආදී රටවල් කිහිපයකම හමුදා යුධ කටයුතු වලට දායක වූහ. සිරියාව යන රටම වසර ගණනාවක් තිස්සේ යුද බිමකි. එහි වෙසෙන ජනයාගෙන් කොටසක් අසල්වැසි තුර්කිය, ලෙබනනය ආදී රටවලට පලා ගොසින්ය. අනෙක් කොටස අනාථ කඳවුරු වල ජීවත්වෙති. සත්‍ය වශයෙන්ම කොටස් වලට වෙන් වෙන් වශයෙන් බෙදුනු සිරියාව තුළ දැනට එක් පාලකයෙක් නොමැත. ඇත්තේ බෙදී ගිය කොටස් කිහිපයකි.

 

2. පාකිස්ථානය

පාකිස්ථානය යනු ත්‍රස්තවාදයට ක්ෂේම භූමියක් වැනි දේශයකි. කාලයක පටන් පාකිස්ථානයේ හමුදාවට අමතර ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක්ම සක්‍රියව පවතී. ඇතැම් ඒවා රජයට බලපෑම් කිරීමට තරම්ම ප්‍රබලය. ඇමරිකාව විසින් ඔසාමා බින් ලාඩන් අල්ලාගන්නා ලද්දේද පාකිස්ථානයේ දුෂ්කර ගමක සැඟවී සිටියදීය. මේ තත්ත්වය හේතුවෙන් පාකිස්ථානය දුප්පත් අඩියකට පත් වී තිබේ. අලංකාර හිමාල කඳුවැටියෙන් කොටසක් හිමි වුවද සංචාරකයින් පාකිස්ථානයට එන්නට මැලි වේ. ආයෝජකයින්ද පාකිස්ථානය වැනි නිතර ගැටුම් ඇතිවන රටවලට පැමිණීමට කැමති නැත. එබැවින් ත්‍රස්තවාදී අභ්‍යන්තර ගැටුම් හමාර වනතෙක් ඉම්රාන් ඛාන්ට වුව පාකිස්ථානය ගොඩදැමීම සිහිනයකි.

 

3. මියන්මාරය

මියන්මාරයේ බෞද්ධයින් විසින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් එරට ජාතියක් ලෙස පිළිගත්තේ නැත. දශක ගණනාවක් පුරා මියන්මාරයේ සිටියත් රෝහින්ග්‍යාවරුන්ට ලැබුනේ තාවකාලික රැඳීසිටිමේ බලපත්‍රයක් පමණි. මේ නිසා රෝහින්ග්‍යාවරු අතර කලබල හටගත්තේය. ඇති වූ සුලු සිද්ධිවලට මියන්මාර රජය දැඩිව ක්‍රියාකරන්නට විය. රෝහින්ග්‍යාවරු රේකී නම් මියන්මාර භූමියෙන් එලවා දමන්නට විය. බංග්ලාදේශයට ඇදුන රෝහින්ග්‍යාවරු ප්‍රමාණයෙන් මිලියනයක් ඉක්මවනු ලැබීය. මේ ගැටුම් වසර කිහිපයක් තිස්සේ ඇදී ගියේය. එම නිසා වරක් එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලය පවා මියන්මාරයට එරෙහිව දැඩි නියෝග නිකුත් කරන ලදී. ලෝකයේ දුප්පත්ම රටවල් විස්ස අතරට මියන්මාරයද වසර ගණනක් තිස්සේ ඇතුළත්ව සිටී.

 

4. දකුණු සුඩානය

දකුණු සුඩානය නැමැති රටක් ලෝකයට එකතු වූයේ 2011 වසරේදීය. කලක පටන් තිබූ සුඩාන ගැටුම් වලට විසඳුමක් ලෙස දකුණු සුඩාන රට බිහිවුනත් එහිද තවමත් ගැටුම්කාරී වටපිටාවක් පවතී. දකුණු සුඩානය ඛනිජ තෙල් වලින් පොහොසත් කලාපයකි. එහෙත් නිතර ඇතිවෙන ගැටුම්කාරී වටපිටාවන් නිසා ඒවායෙන් නිසි වාසියක් රටට ලබාගැනීමට නොහැකි වී තිබේ. පාප් තුමාද පසුගිය කාලේ දකුණු සුඩාන කණ්ඩායම් වලින් සාමයට පිවිසෙන්නයි වැඳ වැටී ආයාචනා කළේය. එයවත් සාර්ථක වුවොත් ගැටුම් නැති දකුණු සුඩානයක් බිහිකරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. දකුණු සුඩානයේ 2011 වර්ෂයෙන් පසු ඇතිවූ ගැටුම් වලින් පමණක් හාරලක්ෂයකට අධික ජනතාවක් මියගොස් මිලියන 4කට වැඩි ප්‍රමාණයක් වතැන් වී තිබේ.

 

5. උතුරු කොරියාව

උතුරු කොරියාවේ යුද්ධයක් නැත. එහෙත් නිතර නිතර අත්හදා බැලෙන විනාශකාරී පරමාණුක අවි නිසා උතුරු කොරියාව ලෝකයෙන් කොන් වී තිබේ. මේ අවි වලට එරෙහිව සම්බාධක පැනවෙන අතර උතුරු කොරියාවට වෙනත් රටවලින් බොහෝ බඩු බාහිරාදිය යැවීමට දැඩි ලෙස තහනම් පනවා තිබේ. මේ නිසා ඒ රටේ පාලකයින්ට නම් ඇති බලපෑමක් නැත. එහෙත් ජනතාව අන්ත දුගී දුප්පත් ලෙස දශක කිහිපයක් තිස්සේ මේ කොරියානු රටට සිර වී තිබේ. ගැටුම් නැතත් නිතර ගැටුම් ඇතිවේද බියෙන් කරන පරමාණු අවි අත්හදා බැලීම් කොරියානු ජනතාව තවත් පහත් අඩියකට ඇද දමා තිබේ.

 

6. මධ්‍යම අප්‍රිකානු ජනරජය

මධ්‍යම අප්‍රිකාව සතුව, රත්‍රන්, යුරේනියම්, දියමන්ති ආදී වටිනා ඛනිජ තිබේ. එහෙත් වාසය කරන දුප්පත් අදහස් සහිත මිනිසුන් නිසා ඒවායේ වාසියක් රටට අත්පත් කරගැනීමට නොහැකි වී තිබේ. 1960 නිදහස ලබාගත් තැන් පටන් 2016 වසර දක්වා මේ රජය විවිධ දුර්දාන්ත පාලකයෝ පාලනය කළා. ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනවර්ග අතර වාර්ගික ගැටුම් අවුලවාලීමට ඔවුන් ගත් මග නිසා තවමත් මධ්‍යම අප්‍රිකානු ජනරජය ගැටුම් සහිත රටක් බවට පත් වී තිබේ. 2016දී ගණිතය පිළිබද ආචාර්ය උපාධිධාරියෙක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනපති පුටුවට පත් වුනා. එතැන් සිට ගැටුම් සහිත පාර්ශව සමග යම් එකඟතාවයන්ට පැමිණීමට ඔහු සමත් වී තිබෙනවා. ඔවුන්ගේ පොළව යට මහත් ධන නිධාන තිබුනත් පොළව මත සිදුවන ගැටුම් නිසා මධ්‍යම අප්‍රිකානු ජනරජය ලොව දුප්පත්ම රටවල් අතර මුල් තැනකට ඇවිත් තිබේ.

7. ඇෆ්ඝනිස්ථානය

පසුගිය වසර තිහක කාලය සලකන විට ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරෙන්නේ නැති ප්‍රහාර නැති එකදු වසරක්වත් සොයාගැනීමට අමාරුය. ඇෆ්ඝනිස්ථානයේ අල් ක්වයිඩා, තලේබාන් ත්‍රස්තයින් පාලනය කළා යැයි ඇමරිකාව, බ්‍රිතාන්‍යය කියුවත් තවමත් ඒ ත්‍රස්ත කණ්ඩායම් වල හොල්මන් ඇෆ්ඝනිස්තානය තුළ තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ ගැටුම් වලට මැදිව සිටින ඈත ඇෆ්ඝනිස්ථාන ගමක ජනතාව පැරණි බර අවි කොටස් ගෙවල් තැනීම ආදී කටයුතු වලටද භාවිතා කළ අවස්ථාවක් පසුගිය දා මාධ්‍ය වල පළ විය. කටුක කාන්තාර පරිසරයක වෙසෙන ඇෆ්ඝන් ජනයාට ජීවිතය අපහසුය. ඒ අපහසුතා මධ්‍යයේ ඔවුන්ට සෑම කාලයේම යුද්ධ වලටද ගැටුම් වලටද මුහුණ දෙන්නට සිදුවී තිබේ.

 

ගැටුම් ඇතිකරගන්නට කිසියම් හෝ හේතුවක් සොයාගන්න එක ලොකු අමාරුවක් නෙමෙයි. ජාති, ආගම් ආදී දේ අන්තවාදී මට්ටමට අරන් ගිය අය බොහෝම ඉක්මනින් ගැටුම් ඇතිකරගන්නවා. ඒ බව ලෝකය වටේ ගැටුම් තියෙන රටවල් දිහා බැලුවාම පේනවා. ඒ වගේම දුප්පත් රටවල දුප්පත් දේශපාලකයින් ගැටුම් ඇතිවිට ගැටුම් වල පාර්ශවකරුවන් වෙනවා. ඉන් පසු ඔවුන් ඒවායෙන් දේශපාලන වාසි ගන්නවා. අපේ රටෙත් සාමයට වඩා ගැටුමටම කැමති පිරිස් ඉන්නවා. අපේ දේශපාලකයින් එවන් පිරිස් ළං කරගෙන ඉන්න වෙලාවලුත් තියෙනවා. අපේ අය දිනනවාමය කියා බොහෝවිට ගැටුම් වලට මැදිහත් වෙන පිරිස සිතනවා. ඒත් ඉතිහාසයේ බොහෝ තැන්වල ගැටුම් නිසා රටවල් තවත් පහතට ගොස් ඇතිවාක් මිස ඉදිරියට ගිය අවස්ථාවක් නම් නොමැති තරම් ය.

 

 

zvr
Your Reaction

Comments