ලොවම කම්පාවට පත් කළ දරුණුතම ත්‍රස්ත ප්‍රහාර

ස්වභාවික ව්‍යසන අපිට කලින් හඳුනාගන්න පුළුවන්. ඒත් වළක්වාගන්න අමාරුයි. ඒත් ත්‍රස්ත ප්‍රහාර කලින් හඳුනාගන්න පුළුවන් නම් අපිට වළක්වාගන්න සෑහෙන හැකියාවක් තියෙනවා. අවාසනාවන්ත විදියට අපි පසුගිය පාස්කු ඉරිදා එවන් දරුණු ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දුන්නා. ඉන්දීය ඔත්තු සේවාවන් විසින් දැනුම් දී තිබුනත් හරියටම හොයාගන්න බැරි වුන හේතුවකට අපිට ඒක වළකාගන්න බැරි වුනා. ඉතින් විදේශිකයින් 45ක් සමග දරුවන් ඇතුළු වටිනා මිනිස් ජීවිත 260ක් ඒ අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වුනා. ඒ විදියට දරුණු ත්‍රස්ත ප්‍රහාර කියන්නේ අපි විතරක් නෙමෙයි, ලෝකේ ගොඩක් රටවල් මුහුණ දෙන අවදානමක්. අපි ඒ වගේ ලෝකේ එදා මෙදාතුර සිදුවුන දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාර ගැන සොයා බලමු.

 

1. 2001 සැප්තැම්බර් 11

Image Source – onthisday.com

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියන්නේ 2001 වෙද්දි ලෝකේ ප්‍රබලතම තැනක්. ඒ වගේ තැනකට ප්‍රහාර එල්ල වීමේ කතා විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම්වල තිබුනා. ඒ මහා විසාල උස ගොඩනැගිලි දෙක කඩාවැටෙන්න ප්‍රහාරයක් එල්ල වේවිය කියලා ඒත් මේ ලෝකේ කවුරුවත් හිතුවේ නැහැ. ඒත් ඒ අවාසනාවන්ත සිදුවීම සිදු වුනා.පැහැර ගත් ගුවන් යානා කිහිපයක් මේ උස ගොඩනැගිලි දෙකේ වැදුනා. ඒ ගුවන් යානා වල හිටි ජනයාත් මේ ගොඩනැගිලි වල හිටිය ජනයාත් 2001 සැප්තැම්බර් 11 වැනිදා උදෑසන 8.30ත් 10.30ත් අතර මරු තුරුළට ගියා. ඒ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 2996ක්. ප්‍රහාරය එල්ල කරන්න ආපු ත්‍රස්තයන් 16 දෙනත් ඒ ප්‍රහාරයෙන්ම මිය පරලොව ගියා. ප්‍රහාරයේ වගකීම ලෝකයේ එවකට ත්‍රස්තවාදයේ ඉහළින්ම සිටි සංවිධානයක් වුනු අල්ක්වයිඩා සංවිධානය බාර ගත්තා. ඉන් පස්සේ ඇෆ්ඝනිස්තානයෙන් මුස්ලිම් ත්‍රස්තවාදය අතුගාල දාන මෙහෙයුම් ඇමරිකාව විසින් ආරම්භ කළා. ඒවායෙන් මියගිය ගණන් හිලව් එක්ක බැලුවාම සිදුවීමක් විදියට මනුෂ්‍ය ඝාතන බොහෝ ගාණකට වග කියන ප්‍රබල සිදුවීමක් බවට 9/11 ප්‍රහාරය පත් වුනා.

 

2. 2014 ජුනි 12 ඉරාකයේ ස්පෙසර් කඳවුර

Image Source – edition.cnn.com

ඉරාක ඒකාධිපති සදාම් හුසේන් උපන් ගම ටික්රිට්. ටික්රිට් වලට නුදුරින් ඉරාක හමුදාවට අලුතින් බඳවා ගත් අය පුරුදු පුහුණු කරන කඳවුරක් තිබුනා. ස්පෙසර් කියලා තමයි ඒක හැඳින්වුනේ. ජුනි 12 මේ කඳවුර සම්පූර්ණයෙන්ම ISIS අය අල්ලාගත්තා. එතන හිටිය සුන්නි නොවන සියලුම මුස්ලිම් ජාතික තරුණ වයසේ කොල්ලෝ ටික ඔක්කොම ටයිග්‍රිස් නදිය ළඟට ගෙනගිහින් ISIS කාරයෝ විසින් මරලා දැම්මා. මේකෙදි ISIS කාරයෝ ඉරාක හමුදා පුහුණුවේ හිටපු බොහොම තරුණ වයසේ කොලු ගැටවු 1500කට ආසන්න ප්‍රමාණයක් අමු අමුවේම මැරුවා.

“අපිට තේරුණා අපි අහුවෙන්න යන බව. අපි එතකොට සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරසිලා පැනල යන්න හැදුවා. ඒත් එතකොට අපි ප්‍රමාද වැඩියි. ඉන් පස්සේ ISIS කාරයෝ අපිව ෂියා මුස්ලිම් අය විදියට තේරුවා. තෝරලා පාරේ එක්දාස් පන්සීයම පෝලිම් කරලා ගෙනිච්චා. ඉන් පස්සේ ලොකු ට්‍රක් වල පටවගෙන අරන් ගියා. අරන් යද්දි කවුරුත් දැනන් උන්නේ නැහැ මරන්න ගෙනියන බවක්. අවසානේ මම වෙඩි වැදුන කෙනෙකුගේ අස්සේ හැංගුනා. මම සෙට්වෙලා තිබුනේ බිම තියලා වෙඩි තියලා දාන ගොඩට. තව කාණ්ඩයක් පෝලිමේ තල්ලු කරන් ගිහින් වෙඩිතියලා ටයිග්‍රිස් ගඟට ඇදලා දැම්මා. ඉන් පස්සේ මම බොහොම අමාරුවෙන් රෑ බෝවෙලා ටයිග්‍රිස් ගඟ ලඟට ආවා. එතනින් එතෙර වෙලා සති තුනක් සෑහෙන ලොකු ව්‍යායාමයකින් පස්සේ ගෙදර ආවා. ”මේ ඉහත කඳවුරු ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ෂියා මුස්ලිම් අයෙකුගේ කතාවක්. මැරුවේ ඉරාක හමුදාවේ පුහුණු වුන අය. එහෙත් අවියක් හරියට පාවිච්චි කරන්නවත් නොදන්න ලාබාල ළමයි ටිකක් පෝලිම් කරලා අමානුෂික විදියට මරලා දැම්මේ ISIS සංවිධානයේ තියෙන අමනුස්සකම ලෝකෙටම පෙන්නමින්.

 

3. 2017 අගෝස්තු 14 මොසුල් නුවර බෝම්බ ප්‍රහාරය

Image Source – bbc.com

මේ බෝම්බ ප්‍රහාරයෙන් මිනිස්සු 796ක් මැරුණා. තව එක්දාස් පන්සීයකට එහා තුවාල වුනා. කාර් තුනකුයි ලොකු බව්සරයකුයි මේ ප්‍රහාරය සඳහා ඉරාකයේ අල් ක්වයිඩා ත්‍රස්තවාදීන් පාවිච්චි කළා. මේ ප්‍රහාර සඳහා පාවිච්චි කරපු මුලු බෝම්බ ප්‍රමාණය බෝම්බ ටොන් දෙකකට වැඩියි කියලා තමයි ආරක්ෂක අංශ කියන්නේ. මේ ප්‍රහාරයට ඉලක්ක වුනේ ඉරාකයේ සුළුතර ආගමික කොට්ඨාසයක් වුනු යසිදි කියන ජනතාව.

 

4. 1990 ජුනි 11 මඩකලපුව තිරුක්කෝවිල්

Image Source – groundviews.org

ලංකාවේ එල් ටී ටී ඊ සංවිධානය කළ ඝාතන අතර ඉතාම අමානුෂික විදියේ ඝාතනයක් තමයි තිරුක්කෝවිල් වලදි පොලිස් නිලධාරින් ඝාතනය. නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන කිහිපයක් කොටි ත්‍රස්තවාදින් විසින් යටත් කරගත්තා. සමහර ආරංචි මාර්ග කියන විදියට කොටි ත්‍රස්තයන්ට යටත් වන ලෙස පොලිසියට උපදෙස් ලැබී තිබුනා. මේ පොලිස් නිලධාරින් පසුව නිදහස් කරයි කියලා තමයි ගොඩක් අය හිතලා තිබුනේ. ඒත් සිත් පිත් නැති ත්‍රස්තයින්ට ජීවිතයක් කියන්නේ තවත් එක නර බිල්ලක් පමණයි. ඒ මඩකලපු පළාතේ සිරබාරයට ගත් පොලිස් නිලධාරින් ආයෙත් සේවයට ආවේ නැහැ. කොටි ත්‍රස්තයන් විසින් ඔවුන් 600ක් එකම ස්ථානයක ඝාතනය කොට තිබුනා. මෙය එවකට ඇමරිකාව සහ යුරෝපය පවා හෙලාදැක්ක සිද්ධියක් වුනා.

1990 ඉඳන් 2005 වෙනකල් තව අවුරදු 15ක් අප පාලකයෝ කොටි විවිධ ආකාරයෙන් නැලෙව්වා. ඒත් 2005 ඉඳන් කොටින්ගේ පසුබෑම ආරම්භ වුනා. 2009දී කොටි ත්‍රස්තයින්ගේ අන්තිම හුස්ම පොදත් මුලතිව් වෙරළ තීරයේදී ගුවනට එකතු කරන්නට අපේ හමුදාව සමත් වුනා. අපකීර්තිමත් ඝාතනයක් වූ මේ තිරුක්කෝවිල් ඝාතනය ලොව ත්‍රස්තවාදීන් සිදුකළ විශාලතම මනුෂ්‍ය ඝාතන ලැයිස්තුවේ ඉහළ තැනක් ගන්නා සිදුවීමක් බවට අදත් පත්වෙලා තියෙනවා.

 

5. 2014 ජුනි 10 බදුෂ් සිරකඳවුරේ ඝාතනය

Image Source – rt.com

ISIS ත්‍රස්තවාදීන් කියන්නේ විටෙක ඈත අප්‍රිකානු ගෝත්‍රිකයන්ටත් වඩා තිරිසන් වැඩ කරපු ත්‍රස්ත කල්ලියක්. ඔවුන් මෙතනදි බදුෂ් සිර කඳවුර අත්පත් කරගන්නවා. ඉන් පස්සේ සුපුරුදු විදියට ඔවුන් ෂියා මුස්ලිම්වරුන් වෙන් කරගන්නවා. එතැනදී ෂියා මුස්ලිම් අය 600ක් කිසිම හිතක් පපුවක් නැතුව මේ ISIS කාරයො විසින් මරා දානවා. ඒ පළාතේ වැඩබිම්වල වැඩකරපු ඉන්දියන් කම්කරුවන් 39 දෙනෙකුත් ඒ එක්කම ISIS ත්‍රස්තවාදින් විසින් මරාදානවා. ඉස්ලාමීය අන්තවාදීන් අනෙක් ආගම් අදහන අය ලෝකයේ ජීවත්විය යුතු නැතැයි දැඩිව විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් අන්‍යාගමිකයින්ට මරණය ලබාදෙන්න හැකි සෑමවිටම උත්සාහ ගන්නවා.

 

6. 2008 නත්තල් දින කොංගෝවේ ඝාතන මාලාව

Image Source – latimes.com

එල් ආර් ඒ කියන කොංගෝවේ තිබුන ත්‍රස්ත කණ්ඩායම ක්‍රිස්තියානි අන්තවාදීන් කණ්ඩායමක්. ඔවුන්ට දෙසැම්බර් 14 සිට වෙනත් රටවලින්ද හමුදා ඇවිත් ප්‍රහාර එල්ල කරන්නට වුනා. ඒවාට බියසුලුව පලාගිය ත්‍රස්තවාදින් ඒ පලිය ගත්තේ නත්තල් සමරන්න හිටිය අහිංසක ක්‍රිස්තියානි සාමාන්‍ය වැසියන්ගෙන්. කඩු කිනිසි, දඬු මුගුරු, පොරෝ ගත් මේ එල් ආර් ඒ අන්තවාදීන් අහිංසක සිවිල් වැසියන්ට සිත් පිත් නැති විදියට පහර දුන්නා. මේ සිදුවීමෙන් පවුල් දහස් ගාණක් අවතැන් වුනා. ඒ සම්බන්ධ වාර්තා කියන විදියට මේ ප්‍රහාර මාලාව නිසා මිනිස්සු 620ක් පමණ මිය ගිහින් තිබුනා.

 

7. ලංකාවේ පාස්කු ඉරිදා ඝාතන

Image Source – usatoday.com

මෙම ප්‍රහාරය ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුන ආකාරයට 2001 ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයට පසුව වාර්තා වුනු දරුණුතම ප්‍රහාරය වෙනවා. මේ සිදුවීමෙන් මිය ගිය අහිංසක සිවිල් වැසියන් ගණන 260ක්. ඒ අතර ගැහැණුන් සහ ළමයින්ද සිටිනවා. කිසිසේත්ම යුදමය වටපිටාවක් ඒ වෙලාවේ ලංකාවේ තිබුනේ නැහැ. ISIS කණ්ඩායම ඔවුන්ගේ නිජබිමෙන් පිට ඉතාම සුලු ISIS බලපෑමකින් කරපු ලොකු ප්‍රහාරයක් තමයි ලංකාවෙ සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරය. එම ප්‍රහාරය ගැන කලින් අනතුරු ඇඟවීම් කරලා තිබුනත් කිසිම වගකිව යුත්තෙකු ඒවා ගණන් අරගෙන තිබුනේ නැහැ. ප්‍රහාරයෙන් සති තුන හතරක් ගෙවුනත් තාමත් ලංකාවේම ජනයා ඉන්නේ දැඩි කම්පනයකින්.

 

ත්‍රස්ත ප්‍රහාර කියන්නේ ලෝකයම මුහුණ දෙන ගැටළුවක්. අබු බකර් අල් බග්දාදි, ඔසාමා බින් ලාඩ්න් ආදි ආගමික අන්තවාදීන් අපිට මේ ත්‍රස්ත ප්‍රහාර වල මුලින් පේන්න ඉන්නවා. ඒත් ත්‍රස්ත කටයුතුවලට ඉඩ විවර වෙන දේශපාලන පසුබිම් තියෙනවා. ත්‍රස්තයින්ට මුදල් සහ බලය ලැබෙන විවිධ ආකාර තියෙනවා. ලෝකයේ ප්‍රබල රටවල් ඇතැම් ඒවා විවිධ හේතුවලට ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙනවා. කොහොම වුනත් මහා සමීකරණ ගොඩක් මතින් ගොඩනැගෙන ත්‍රස්තවාදය අවසානයේ කිසිම වරදක් නොකළ ජීවිත ගොඩක් බිලිගන්නවා. ලෝකයේ කොයි කවුරුත් මේ ත්‍රස්තවාදය කියන ව්‍යාධිය නිසා පීඩා විඳිනවා. කොයි වෙලාවේ කොතනක බෝම්බ පිපිරෙයි ද කියලා කවුරුවත් දන්නේ නැහැ. පටු වාසි අමතක කරලා ත්‍රස්තවාදය කියන මේ කෲර ප්‍රචණ්ඩ පිළිකාව අයින් කරලා දාන්න අපි හැමෝම මැදිහත් වෙන්න කාලය දැන් ඇවිල්ලා තියෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *