හොටෙල් එකක් ඔන්ලයින් බුක් කරනකොට දැනගෙන සිටිය යුතු කාරණා!

අපිටය කියලා දවස් දෙක තුනක නිවාඩුවක් ලැබෙන්නේ ඉතින් හාවා හඳ දකින්නා වගේනේ. හැබැයි ඉතින් එහෙම නිවාඩුවක් සෙට් වුණු වෙලාවකත් ගෙදරට වෙලා ඉන්න එක අපරාදයක්. ලෝන්ග් වීක්එන්ඩ් එකක වගේ කරන්න පුළුවන් එක දෙයක් තමයි ආදරේ කරන කෙනත් එක්ක හරි පවුලේ අය එක්ක හරි කොහේ හරි ට්‍රිප් එකක් ගිහින් එන එක. දවස් තුනයි, රෑ දෙකයි ට්‍රිප් එකක් පාඩු නෑනේ! හැබැයි ඉස්සර අතීත කාලේ වගේ ට්‍රිප් එක ගිහිල්ලා ඒ අවටින් නවතින්න තැනක් හොයනවා කියන කතන්දරේ අද කාලේ හරියන්නෙ නෑ. හොටෙල්ස් වල ඉඩ තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම සීසන් එකට යනවා කියන්නේ ඉතින් ඉඩ තියෙන හොටෙල් එකක් හොයන එක හාවා හඳ දකිනවා වගේ. අන්න ඒකට ලේසිම ක්‍රමය තමයි ඔන්ලයින් බුකින් එකක් දාලා යන එක. එහෙම ඔන්ලයින් බුකින්ග් එකක් දානකොට දැනගෙන සිටිය යුතු කරුණු කාරණා ගැන තමයි මේ කියන්නේ!

 

1. කොහෙන්ද බුක් කරන්නේ?

Image Source – shopback.my/.easyfundraising.org.uk/ asiamiles .com

අපි නවතින්න යන හොටෙල් එක මොකද්ද කියලා කලින්ම තීරණය කරලා නම් තියෙන්නේ, අපිට පුළුවන් කෙලින්ම හොටෙල් එකේ වෙබ්සයිට් එකට යන්න. සාමාන්‍යයෙන් ලොකු හොටෙල්ස් වල වෙබ්සයිට් එකෙන්ම බුකින්ග් එකක් දාන්න පුළුවන්. හැබැයි අපි රෙකමන්ඩ් කරන්නේ ඊට වඩා වෙනස් වැඩක්.

යන්න booking.com හරි agoda.com හරි hotel.com හරි වගේ වෙබ්සයිට් එකකට. හොටෙල් එකේ වෙබ්සයිට් එකෙන් බුකින් එක දානවට වඩා උඩ කිව්ව වගේ වෙබ්සයිට් එකක බුකින් එක දාන එකෙන් යම් කිසි ගාණක් අඩු වෙන්න පුළුවන්. මොකද ලාස්ට් මිනිට් ඩිස්කවුන්ට් ඔය හැම බුකින් වෙබ්සයිට් එකේම ලැබෙනවා. ඒ වගේම බුකින් සයිට් එකක වඩාත් සරල විදියට මොන රූම් එක මොන ගාණටද දෙන්නේ වගේ දේවල් පෙන්නලා තියෙනවා.

 

2. ෆුල් බෝඩ්ද හාෆ් බෝඩ්ද?

හොටෙල් බුකින් එකක් දානකොට සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වචන තියෙනවා. ඒ වල තේරුම් දැනගෙන ඉන්න ඕන. Full board කිව්වහම (FB) ඒකේ තේරුම හොටෙල් එකේ රූම් එකත් දීලා, හොටෙල් එකේ රෙස්ටුරන්ට් එකෙන් තුන් වේලටම කන්නත් දෙනවාය කියන එක. හොටෙල් එකටම වෙලා විවේක සුවයෙන් ඉන්නවා නම් ෆුල් බෝඩ් වටිනවා. Half board කිව්වහම (HB) රූම් එක ලැබෙනවා, උදේට කන්න ලැබෙනවා, රෑට කන්නත් හොටෙල් එකෙන්ම ලැබෙනවා. ඇවිදින්න ට්‍රිප් එකක් යනවා නම් මේක තමයි හොඳම ඔප්ෂන් එක. B&B කියන්නේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් කියන එක. ඒ කියන්නේ රූම් එක දෙනවා, උදේ කෑම හොටෙල් එකෙන්ම ගන්න පුළුවන්. Room only කියන්නේ හොටෙල් රූම් එක විතරයි කියන එක, කන්න වෙන්නේ එලියෙන්.

 

3. හරිම හරි ගාණ

Image Source – baligardenbeachresort.com

දැන් හොටෙල් එකේ වෙබ්සයිට් එකෙන් රූම් එකක් බුක් කළොත් එහෙම ගොඩක් අය වැටෙන අමාරුවක් තියෙනවා. ඒ තමයි හරි ගණන් හොයාගන්න බැරි වීම. ඒ කියන්නේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ලැබෙනවාය, ෆුල් බෝඩ් රුපියල් 10,000 කියලා ඔන්න බැනර් එකක් තියෙනවා වෙබ්සයිට් එකේ. අපිත් උඩ පැනල ඩිස්කවුන්ට් එකට ෆුල් බෝඩ් ඉන්න කියලා බුකින් එකක් දාන්න යනවා. හැබැයි බුකින් එක දාන අවසාන පියවරට වගේ ගිහිල්ලා ටෝටල් එක පෙන්නනකොට තමයි තේරෙන්නේ අර බදු, මේ බදු එකතු වෙලා ෆුල් බෝඩ් ගාණ රුපියල් 18,000 ක් වෙලා කියලා. ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්.

අනික් අතට බුකින් සයිට් එකෙන් බුකින් එක දානකොට, හැම වෙලාවකම බලන්න මොනවද වෙන ගාස්තු තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට සියේට දහයක් විතර වෙනකල් බදු එකතු වෙනවා කියලා ගහලා තියෙනවා. තව අනං මනං ගාස්තු එකතුවෙනවා නම් බුකින් සයිට් වල ගොඩක් වෙලාවට රූම් එක ගැන ඩිස්කවුන්ට් තියෙන තැනම පොඩියට අදාළ බදු ගැන දාලා තියෙනවා.

ගොඩක් වෙලාවට ඔන්ලයින් සිද්ධ වෙන්නේ බුකින් එක දාන එක විතරයි. සමහර වෙලාවට ඔන්ලයින්ම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්නත් පුළුවන්. හැබැයි ඔය ක්‍රම දෙකේදීම බුකින් එක අන්තිම ස්ටෙප් එකට ආවහම අපිට ගෙවන්න වෙන සම්පූර්ණ ගාණ පෙන්නන්න ඕන. බුකින් එකේ එක ගාණක් පෙන්නලා, හොටෙල් එකට ගියහම තව ගාණක් කියන්න බෑ!

 

4. ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස්

දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් තියෙන හාදයෝ දන්නවා කාලෙන් කාලෙට ක්‍රෙඩිට් කාඩ් එකට දෙනවා පිස්සු කොර හොටෙල් ඔෆර්ස්. ඒ කියන්නේ සමහර වෙලාවට සියේට පණහක් වගේ ඩිස්කවුන්ට් එකක් ක්‍රෙඩිට් කාඩ් එකට ලැබෙන අවස්ථා තියෙනවා. ආන්න ඒ වගේ වෙලාවක ඔය බුකින් සයිට් එකක් හරහා ගිහිල්ලා ඒ ඩිස්කවුන්ට් එක ගන්න බෑ. මෙහෙම වෙලාවට කෙලින්ම කථා කරන්න හොටෙල් එකට. කථාකරලා අහන්න ක්‍රෙඩිට් කාඩ් ඩිස්කවුන්ට් එක දෙන්නේ හොටෙල් එකෙන්ම සල්ලි ගෙවපු වෙලාවටද, ඔන්ලයින් පේමන්ට් එකකදීත් ඒ ඩිස්කවුන්ට් එක ලැබෙනවද කියලා. ඒ වගේම මොන රූම්ස් වලටද, ඕනම බේසිස් එකකට (FB, HB, B&B, Room only) ඩිස්කවුන්ට් එක ලැබෙනවද කියලත් අහගන්න. දැන් ඔය තොරතුරු ටික ගත්තට පස්සේ රූම් එක බුක් කරන්න.

ඒ විතරක් නෙවෙයි, සමහර තැන්වල ෆෝසස් වලට, පොලිසියට එහෙම ඩිස්කවුන්ට් ලැබෙනවා. තවත් තැන්වල එක එක කම්පැණීස් වලට ඩිස්කවුන්ට් ලැබෙනවා. හොඳම දේ කෝල් කළහම ලැජ්ජා පැත්තකින් තියලා දෙන හැම ඔෆර් එකක් ගැනම අහගන්න එක.

 

5. කොයි වෙලාවටද යන්නේ, කොයි වෙලාවටද එන්නේ?

Image Source – cintas.com

මෙන්න මේක හොටෙල් බුකින් එකක් දානකොට තියෙන දැවෙන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් හොටෙල් බුකින් එකක් දැම්මට පස්සේ අපිට හිතෙන වෙලාවට යන්න බෑ. Check-in වෙලාවක් සහ Check-out වෙලාවක් තියෙනවා. ගොඩක් වෙලාවට දවල් 11 න් පස්සේ චෙක්-ඉන් තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. අන්න එහෙම වෙලාවක අපි හොටෙල් එකට යන වෙලාව ඒ ගාණට ඇජස්ට් කරගන්න ඕන. හොටෙල් එකේ චෙක්-ඉන් වෙලාවට කලින් අපිට රූම් එක ඕන නම්, මතක ඇතුව බුකින් එක ෆයිනලයිස් කරන්න කලින් හොටෙල් එකට කෝල් එකක් දීලා අහලා බලන්න ඕන ඒ වෙලාව ඕකේද කියලා. එහෙම ඕකේ නම් බුකින් එකේම ස්පෙෂල් කමෙන්ට් එකක් දාන්න තියෙන තීරුවේ දාලා තියන්න තමන්ට ඕන චෙක්-ඉන් වෙලාව.

එතකොට චෙක්-අවුට් වෙනකොටත් හොටෙල් එකෙන් කියලා තියෙන වෙලාව බලපානවා. තමන්ට හිතෙන තරම් වෙලා ඉඳලා යන්න බෑ. හොඳම දේ තමයි හොටෙල් එකේ චෙක්-අවුට් කියලා තියෙන වෙලාවට කලින් රූම් එකෙන් බඩුමුට්ටු අරගෙන පිටවෙන එක. මේකත් ඕන නම් හොටෙල් එකත් එක්ක කථාබහ කරලා එහෙ මෙහෙ කරගන්න පුළුවන්. හැබැයි කලින් කියන්න වෙනවා.

 

6. කොහොමද පහසුකම්?

මෙන්න මේකත් වැදගත් කාරණාවක්. දැන් බුකින් සයිට් එකකින් හොටෙල් බුකින් එකක් දානකොට අපිට පෙන්නනවා අපිට ගන්න පුළුවන් රූම් විකල්පයන්. ඒ එක්කම පෙන්නනවා ඒ ඒ රූම්ස් වලට තියෙන පහසුකම් මොනවද කියලා. මේන්න මේ පහසුකම් ලිස්ට් එක කම්මැලි නොවී කියවන්න. පස්සේ හොටෙල් එකට ගිහින් අරක ඕන මේක ඕන කියලා රණ්ඩු කරනවට වඩා ඒක පහසුයි. ඒ වගේම සමහර දේවල් තියෙනවා අපිට අනිවාර්‍ය්‍යයෙන්ම දැනගෙන යන්න ඕන වෙන. උදාහරණයක් විදියට අපේ කවුරුහරි රෝද පුටුවකින් යනවා නම් කරුණාකරලා බලන්න “wheelchair access” කියලා ගහල තියෙනවද කියලා. එතකොට අපි ලැප්ටොප් එකත් උස්සගෙන ඔෆිස් වැඩක් වයි-ෆයි එකෙන් කරගන්න හිතාගෙන යනවා නම්, කරුණාකරලා බලන්න වයි-ෆයි පහසුකම් තියෙනවද කියලා. මෙන්න මේ විදියට තමන්ට ඕන කරන පහසුකම් තියෙනවද කියන එක බලලා යන එක දෙගොල්ලන්ටම පහසුයි!

 

7. විකල්ප තියෙනවා!

Image Source – lamarquise.gr

සාමාන්‍යයෙන් අපි හොටෙල් එකක් හිතාගෙනම එතන නවතින්න කියලා හිතාගෙන යන එක එකක්. එහෙම නැතුව අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ට්‍රිප් එක නම්, නවතින එක අවශ්‍ය පහසුකම් තියෙනවා නම් ඕනම තැනක් කියලා හිතනවා නම්, අනිවාර්‍යයෙන්ම බුකින් සයිට් එකකින් බලලා තැනක් හොයන එක තමයි හොඳම ක්‍රමය. එහෙම කියන්නේ මේකයි. දැන් booking.com වගේ සයිට් එකකට ගිහින් අපිට සර්ච් කරන්න තියෙන්නේ අපි යන පැත්ත කොහෙද කියලා විතරයි. ඒක සර්ච් කරනකොට අපි යන පැත්තේ තියෙන හොටෙල්ස් හැම එකක්ම ලිස්ට් එකට එනවා. දැන් පුළුවන් අපේ බජට් එකේ ප්‍රමාණය ඇතුළේ තියෙන හොටෙල්ස් ටික විතරක් බලන්න. ඕන නම් තරු කීයේ හොටෙල් එකක්ද, පහසුකම් මොනවද කියන කාරණා ඇතුළත් කරලාත් තව ඔය ලිස්ට් එක සෑහෙන දුරට ෆිල්ටර් කරගන්න පුළුවන්.

මෙහෙම ගිහින් අන්තිමට අපිට ගෙවන ගාණට හොඳටම හොඳයි කියලා හිතෙන හොටෙල් එක සෙට් කරගන්න පුළුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *